වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මාලා මංගලිකා මිය යයි

මාලා මංගලිකා මිය යයි

ප්‍රේම තරගය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ පද්මිණී ලෙස චරිත නිරූපණය කළ පැරැණි රංගන ශිල්පිනියක වූ මාලා මංගලිකා අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇයගේ වයස අවුරුදු 81 කි. 1948 වර්ෂයේ ‘වට්ටි අම්මා’ ළමා නාට්‍යයෙන් රංගනයට අත්පොත් තැබූ ඇයගේ සැබෑ නම වූයේ මාලනී මංගලිකා පෙරේරායි. කලා නිර්මාණයන් සඳහා ඇගේ නම දිගු වැඩියැයි පවසා ඇයට මාලා මංගලිකා ලෙස නම වෙනස් කරන ලද්දේ කරුණාරත්න අබේසේකර සූරීන් විසිනි.

මාලා රංගනයට පමණක් නොව ගායනයට ද ඇලුම් කළාය. ආනන්ද සමරකෝන් ගේ සොයුරු බර්ටි සමරකෝන් ගෙන් සංගීතය හදාළ ඇය ගීත සුවඳ මනු ලෝ සුදිලේවා ඇතුළු ගීත කිහිපයක්ම ගැයුවාය. ගුවන් විදුලි නාට්‍යයන් හි කැපීපෙනුන හඬ කැවීම් ශිල්පිනියක ද වූ මාලා ලැඩී රණසිංහගේ මඟ පෙන්වීම යටතේ සිනමාවට යොමු වූවාය.

ප්‍රේම තරගයෙන් අනතුරුව ඇය රඟපෑවේ වසර පනහකට පමණ පසු ‘කාටවත් කියන්න එපා’ චිත්‍රපටයේය. පසු කාලීනව ටෙලි නාට්‍යවලට ද යොමු වූ මාලා කෝපි කඩේ, සත්පුර වැසියෝ වැනි නාට්‍යවලට රංගනයෙන් දායක වූවාය. මාලා අවසන්වරට රඟපෑවේ ඩෙන්සිල් ලියනගේ ගේ අනෝරා වැස්ස සහ පියාසලාවී යන නාට්‍යවලය.