වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මකරාගේ නැවත පැමිණීමට ඔබාමාත් දායක වෙලා

මකරාගේ නැවත පැමිණීමට ඔබාමාත් දායක වෙලා

ජනාධිපති ඔබාමා සජීව රංගනයක අංග චලන රූගත කළ අවස්ථාව

හිකප් සම්ප්‍රදායෙන් බැහැරව නව අදහස් සිතුම් පැතුම් වලින් යුතු වූ දරුවෙක්. ඔහු වයිකින්වරුන්ගේ ළාබාලතම පරම්පරාවේ සාමාජිකයෙක්. තම වර්ගයා බිහිසුණු මකරුන් සමඟින් සටනට එළැඹෙන විටදී හිකප් එම මකරුන් සමඟ සමගියෙන් සමාදානවීමට උත්සාහ දරයි. සැම විටම ඔහුට අවශ්‍ය වන්නේ මකරුන් මිනිසුන්ගේ මිතුරන් කිරීමටය. එම අභියෝගය ජය ගනිමින් ඔහු මිතුරු කර ගන්නා ටුත්ලස් නම් මකරා සමඟින් දරුණු මකරුන් වෙසෙනා ප්‍රදේශයක් සොයා ගනී. එහි වෙසෙමින් අනෙකුත් මකරුන් ගෙන් දරුණු ආකාරයෙන් වැඩ ගන්නා මකරා විනාශ කරමින් මිනිසුන් හා මකරුන් අතර සමගියක් ඇති කිරිමට කුඩා හිකප් හට හැකියාව ලැබෙන්නේ ටූත්ලස් නම් මකරා හා හිකප්ගේ මිතුරු මිතුරියන්ගෙන් ලද විශාල සහයෝගය ද සමඟිනි. ඒ මීට වසර පහක පමණ කාලයකට පෙරදීය.

දැන් හිකප් සහ ඔහුගේ මිතුරු මිතුරියන් ගත කරන්නේ යෞවනයයි. මිතුරු මකරා වූ ටූත්ලස් සමඟින් ගවේෂණයේ යෙදීම ඔහුගේ විමෝදාංශයයි. නව ප්‍රදේශ සොයා හිකප් යන ගමන වරෙක බිහිසුණුය. තවත් වරක සුන්දරය. එහිදී හමුවන විවිධ පුද්ගලයන් අතරේ සුවිශේෂී අයෙක් හිකප් හට මුණ ගැසෙයි. යළිත් බිහිසුණු යුද්ධයකට මැදි වන ඔහුගේ අනාගතය ගැන කියන්නේ ‘How to Train Your Dragon -2’ චිත්‍රපටයයි.

මේ දිනවල ලොව පුරා අති සාර්ථක අයුරින් තිරගත කෙරෙන ‘How to Train Your Dragon -2’ චිත්‍රපටය How to Train Your Dragon චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටය ලෙස එළිදක්වා තිබේ. මෙම චිත්‍රපටය තිරගත වෙන්නේ පළමු චිත්‍රපටයෙන් වසර පහකට පසුවය. පසුගිය ජූනි 13 වැනිදා සිට තිරගත වීම ආරම්භ කළ එය මේ වන විට උපයා ඇති ආදායම ඩොලර් මිලියන 171 කි.

How to Train Your Dragon -2 අධ්‍යක්ෂණය සහ තිර රචනය ඩීන් ඩිබ්ලොයිස් විසිනි. එයට පාදක කරගෙන තිබෙන්නේ ක්‍රොසිකා කොවෙල් විසින් රචිත How to Train Your Dragon කෘතියයි. ජේ. බර්චෙල්, ජෙරාඩ් බට්ලර්, ක්‍රෙග් ෆර්ගියුසන්, අමෙරිකා ෆෙරේරා, ජොනා හිල්, ක්‍රිස්ටින් විග්, කිට් හැරින්ග්ටන් ඇතුළු පිරිසක් මෙහි හඬ දායකත්වය ලබා දෙති. මිනිත්තු 102 ක කාලයක් පුරා දිවෙන මෙම චිත්‍රපටය සඳහා ඩොලර් මිලියන 145 ක පිරිවැයක් දරා ඇත.

ඩ්‍රීම් ඇනිමේෂන් විසින් මෙම චිත්‍රපටය විචිත්‍රවත් අයුරින් නිමවා තිබේ. මෙම චිත්‍රපටය රූ ගැන්වෙන විටදී අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා 2013 වසරේ ඩ්‍රීම් වර්ක් ඇනිමේෂන් හි කළ සංචාරයකදී කාටුන් චරිතයක් වෙනුවෙන් සජීව රංගනයක අංග චලනය ලබා ගැනීමේ අවස්ථාවක් අත්හදා බලන්නට එක් වී තිබේ.