වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපටය කරන කාලේ රතුපස්වල සිද්ධියක් තිබුණේ නැහැ

චිත්‍රපටය කරන කාලේ රතුපස්වල සිද්ධියක් තිබුණේ නැහැ

චන්දන දයාසිරිවර්ධන සුනිල් ටී සමඟ උණුසුම් කතාබහක්

වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිපදවා ගිනස් වාර්තා පොතට ගිය නිෂ්පාදක ඉන්දියාවේ ඩී. රාමනායිදු තැනූ චිත්‍රපට සංඛ්‍යාව 130 කි. වසරකට චිත්‍රපට දාහකට ආසන්න සංඛ්‍යාවක් තැනෙන ඉන්දියාවේ දෙමළ, හින්දි හා තෙළිඟු බසින් එලෙස චිත්‍රපට නිපදවා වාර්තාවක් තැබීම අරුමයක් නොවේ. එහෙත් සුනිල් ටී. ප්‍රනාන්දු චිත්‍රපට 55 ක් නිපදවීම අපේ රටේ මට්ටමින් බලන විට ගිිනස් වාර්තාව සමාන කරන්නකි. මේ ඔහුගේ නවතම නිෂ්පාදනය රන්ජා ගැන කළ කතාබහකි.

මේ දවස්වල බොහොම සතුටින් වගේ?

සතුටින් නැතුව පුළුවන්යැ චිත්‍රපට දෙකක්ම අති සාර්ථකව දුවනවානේ.

දෙකක් කිව්වේ?

මම නිෂ්පාදනය කළ රන්ජා. ඒ වගේම මම සම නිෂ්පාදනය කළ කොස්තාපල් පුඤ්ඤ්්සෝම .

දෙකම දුවන එක අභියෝගයක් වුණේ නැද්ද?

මේ සුනිල් ටී ට මොන අභියෝගද? මගේ ලේවල දුවන්නෙත් සිනමාව.

අනේ ඇත්තටම අද රටේ තියෙන ආර්ථික රටාව එක්ක මිිනිස්සුන්ට චිත්‍රපටයක් බලන එකත් නරකට හිටලනේ?

මට නම් ඒ බවක් පේන්න නැහැ. ඔය රන්ජා බලන්නේ එක පාර නෙමේ, දෙපාර තුන්පාර. කොස්තාපල් පුඤ්ඤසෝම බලන්නේ පවුල් පිටින් ඇවිත්.

චිත්‍රපට දෙකක්ම මාකට් කරන එකත් අමාරු වෙන්න ඇති?

මම සම නිෂ්පාදනය කළ කොස්තාපල් පුඤ්ඤසෝම මාකට් කරන හැටි උදයකාන්ත නියමෙට කරනවා. ඒකට මම අත තියන්න ගියේ නෑ. මම නිෂ්පාදනය කළ රන්ජා මාකට් කරන හැටි මම නියමෙට කරගෙන යනවා. මම ගැන විශ්වාසය මට තියෙනවා. අද වෙන කොට වර්තාගත ආදායම් ලබමින් රන්ජා තිරගත වෙනවා. උදයකාන්ත පුඤ්ඤසෝම අරන් එයාගේ ගමන යනවා. මම රන්ජව අරන් මගේ ගමන යනවා.

රන්ජා ඔබේ කීවෙනි නිෂ්පාදනයද?

පනස් පස්වෙනි නිර්මාණය.

දැන් චිත්‍රපට නිෂ්පාදනය ඇතියි කියලා හිතෙන්නේ නැද්ද?

මොන ඇතිවීමක්ද? මම මැරෙනකම් චිත්‍රපට නිෂ්පාදනය කරනවා, ලංකාවේ සිනමාවක් තිබුණොත්.

ලංකාවේ සිනමාවක් තිබුණොත් කිව්වේ?

ඇයි අනේ දැන් මේ යන විදියට ගියොත් අපේ සිංහල සිනමාවක් තියෙයිද කියලවත් හිතාගන්න බෑ.

ඔබ නිෂ්පාදනය කළ තව චිත්‍රපට කීයක් තිරගත වෙන්න තියෙනවාද?

සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ සිනාව අතරින්, සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ අජාසත්ත, වී. සිවදාසන් අධ්‍යක්ෂණය කළ සිංහයා, සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ චූලෝදර මහෝදර.

සම නිෂ්පාදන සිනමා නිර්මාණත් තියෙනවාද?

සනත් අබේසේකරගේ අනගාරික ධර්මපාල, නිලේන්ද්‍ර දේශප්‍රියගේ තන්හා රතී රඟා, අශෝක අතාවුදහෙට්ටිගේ තුන්පත් රෑන, සුමිත්‍රා පීරිස්ගේ වෛශ්නාවි ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.

ඔබේ ඉදිරියේ තිරගත වෙන්නට ඇති චිත්‍රපට නිර්මාණ අධික පිරිවැයක් දරා කරපුව නේද?

ඔව්. සමහර නිර්මාණ ලක්ෂ හත්සීය ඉක්මවලා තියෙනවා.

බයක් නැද්ද මේවා ප්‍රේක්ෂකයෝ ප්‍රතික්ෂේප කරයි කියලා?

මොන බයක් ද සුනිල් ටී ට, මේ හැම චිත්‍රපටයක්ම සුපර් හිට් වෙනවා.

ඔච්චරටම විශ්වාසද?

එහෙම නැත්නම් මම මෙහෙම කියයිද? මේ වෙන කොට චිත්‍රපට පනස් පහක් මම නිෂ්පාදනය කරලා පේ‍්‍රක්ෂකයන්ට දීලා ඉවරයි. කොයි නිෂ්පාදකයාද බලන්න තනියෙන් මම වගේ චිත්‍රපට මෙච්චර ප්‍රමාණයක් කළේ. මම චිත්‍රපට කරලා පාඩු ලැබුව නම් අද චිත්‍රපට පනස් පහක් ප්‍රේක්ෂකයන්ට බලන්න ගේනවද?

ඇත්තටම සුනිල් ටී ඔබ චිත්‍රපට විජ්ජාකාරයෙක්ද?

ඇයි මම ඒ වගේ පේනවද?

නෑ මම ඇහුවේ ඔබ චිත්‍රපට මෙච්චර ප්‍රේක්ෂකයන්ට පෙන්වන්නේ කොහොමද කියලා?

මේකයි, කොච්චර හොඳ චිත්‍රපටයක් කළත් වැඩක් නැහැ ඒක මාකට් කරන්නේ නැතුව. අද ප්‍රේක්ෂකයා හෝල් එකට එන්නේ චිත්‍රපට මාකට් වීම අනුව. මෙන්න මේ මාකට් කරන තියරිය හරියට දැනගත්තොත් චිත්‍රපටය පෙන්වන එක මහ විජ්ජාවක් නොවෙයි.

ඒකද සැබෑම රහස?

දැන් බලන්න කොච්චර ලස්සන හොඳ චිත්‍රපට මාකටින් නැතුව ෆේල් වෙනවද කියලා.

ඇගේ වෛරය, රාගයේ උණුසුම වගේ කාම රැලි චිත්‍රපට රැල්ලක් රැගෙන ආපු ඔබ අද බුදු දහම පාදක කොට ගත් චිත්‍රපට නිෂ්පාදනයටත් පෙළඹිලා කියලා සමහරු චෝදනා කරනවා නේද?

බුදු දහම අළලා චිත්‍රපට කරන්න හොඳ නැහැ කියලා කොහෙවත් තහනමක් නෑනේ.

ඔබ කතෝලික බැතිමතෙක්?

ඔව්. උපතින්ම කතෝලික බැතිමතෙක්.

එතකොට බෞද්ධ කතා තේමා චිත්‍රපට කරන්නේ?

මේ අහන්නකෝ, මම මේ රටේ කතෝලික වූ පියෙකුටත් මවකටත් දාව උපන්න නිසානේ මම කතෝලික වුණේ. මම බෞද්ධ අම්මෙකුට තාත්තෙකුට දාව ඉපදුනා නම් මම බෞද්ධ වෙන්න තිබුණා. නැතුව මම බිහි වෙන්න කලින් කතෝලික වෙලා තිබුණෙ නෑනේ. සංසාරේ මම පතාගෙන ආවේ නෑනේ මම කතෝලික වෙන්න කියලා. මම කතෝලික බැතිමතෙක් වුණාට මගේ හිත තුළ බෞද්ධ දහම පිළිබඳ පැහැදීමක් හැඟීමක් තියෙනවා. මම අන්‍යාගමික පුද්ගලයෙක් වුණත් බෞද්ධ කෘතියක් කරන්න ලැබීම ගැන මම හදවතින් සතුටු වෙනවා.

කිතුනු බැතිමතකු බෞද්ධ චිත්‍රපටයක් කිරීම ගැන ඔබ දරන්නේ මොන වගේ මතයක්ද?

මම නම් ඒකේ වැරැද්දක් දකින්නේ නැහැ. නිර්මාණයකට ආගම, කුලය, ජන්මය, ජාතියක් අවශ්‍යය නැහැ. කෙනෙක් උපදින්නේ ආගම, ජාතිය, කුලය අරන් නෙමේනේ. ඒ ඔක්කොම අපි හදාගත්තු දේවල්නේ. අපි කවුරු කැපුවත් ලේ රතුයි. කොහේවත් නිල්, කොල, කහ ලේ තියෙන අය ඉන්නවද? ඕව ඔක්කොම මනස්ගාත. පොඩි කාලේ මොන ආශාවක්වත් නැහැ. දෙන දෙයක් කාලා අගේට ඉන්නවා. ඔන්න අවුරුදු දහය දොළහ පනින කොටනේ ආත්මාර්ථකාමී වෙන්න පටන් ගන්නේ. අපි ආශාවන් හොයාගෙන යන්න පටන් ගන්නේ. දැන් බලන්න අපි නිදා ගත්තාම මොනවද වෙන්නේ කියලා අපිවත් දන්නේ නෑ. බෙල්ල ගියත් දන්නේ නැහැ. අද වෙනකන් මැරිච්ච කෙනෙක් ඇවිත් කියල තියෙනවද අපාය අර විදියයි, දිව්‍ය ලෝකේ මේ විදියයි, ස්වර්ගය මෙන්න මෙහෙමයි කියලා. නෑ. මම කියන්නේ මේ හැම දෙයක්ම තියෙන්නේ මේ අපි ජීවත්වන ලෝකේ. මම දකින නරකම දේ මේ ලෝකෙට බිහිවීම කියලයි මම විශ්වාස කරන්නේ.

ඔබේ සිනමා පුනරාගමනයේ ඇරැඹුණ දා පටන් මෙතරම් දුරක් පැමිණෙයි කියලා විශ්වාසයක් තිබුණාද?

83’ මගේ මුල්ම චිත්‍රපට නිෂ්පාදනය වූ චන්ඩි පැටව් ඉඳල අද වෙන විට තිරගත වන රන්ජා දක්වා පැමිණි ගමන් මඟේ චිත්‍රපට පනස් පහක් දක්වා මට ප්‍රේක්ෂකයා වෙත එන්න ලැබුණේ මගේ ස්ව උත්සාහයෙන් මිසක් මට පරම්පරාවෙන් ලැබුණ දෙයක් නිසා නෙවෙයි. එදා ජනප්‍රිය සිනමාවක් රට තුළ තිබුණා. සිනමා නළු නිළියන් දේවත්වයෙන් සලකපු යුගයක් තිබුණා. චණ්ඩියා, හිත හොඳ මිනිහෙක් වගේ ජනප්‍රිය රැල්ලේ චිත්‍රපට එදා මගේ සිත ඇද ගත්තා. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග වගේ නළුවන්ට ආදරය කරන වෙනම රසික පිරිසක් සමාජයේ බිහි වෙන්න පටන් ගත්තා. ඒ වගේ රසිකයෙක් වෙච්ච මම මගේම උත්සාහයෙන් චිත්‍රපට නිෂ්පාදකයෙක් වුණා.

නිෂ්පාදකයෙක් නිර්මාණයක් කර එයින් ලාබයක් ලැබුවොත් පමණයි තවත් නිර්මාණයකට යොමු වෙන්නේ. ඒත් ඔබේ නිර්මාණ පැටවු ගහනවා?

එක පැටියෙක් හදනවද පැටවු ගොඩ ක් හදනවද කියලා තීරණය කරන්නේ තමන්ගේ හැකියාවයි. ආදායමයි මත මම චිත්‍රපට කළේ. එකක් ඉවර වෙන කොට එකක්. වානිජ සිනමාව තුළ තමයි මම රැඳිලා හිටියේ. එකක ආදායමෙන් අනික කරන්න ඕනෑ කියලා ගණන් හද හදා මම චිත්‍රපට කළේ නැහැ. මම චිත්‍රපට පනහක් කරලා කියලා දැනගත්තෙත් මම නිපද වූ දකින දකින මල් චිත්‍රපටය තිරගත වුණාට පස්සේ. දවසක් මගේ මැනේජර් කිව්වා සර් දකින දකින මල් සර්ට මල්. මේක සර්ගේ පනස් වෙනි චිත්‍රපටය කියලා.

ඔබ කියන්නේ එක පැටියෙක් හොඳ හින්ද තව පැටවු හැදුවෙ කියලා?

ඔව්. අර කතාවක් තියෙනවානේ මීයක් කඩන්නේ අත ලෙව කන්නද කියලා. මගේ ව්‍යාපාර ලෝකයේ එක අම්ම කෙනෙක් සිනමාව. ඒ අම්ම බිහි කරපු දරුවන්ට මේ රටේ ප්‍රේක්ෂකයා ආදරය කළා. ඒ ආදරය අදටත් දශක තුනක් පුරාවට සිනමාවේ මාව ජීවත් කරනවා.

මිස්ට ටී ඔබ සිනමා නිර්මාණයකදී බජට් එක ගැන සැලකිලිමත් වෙනවාද?

මේ ටී ට නිර්මාණය හොඳ නම් බජට් එක ගැන ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා මාකට් කරන්න පුළුවන් දේ මොකක්ද, බැරි දේ මොකක් ද කියලා. අද සිනමාවෙන් මිනිස්සු අයින් වෙන්නේ අපි මිනිස්සු ඉල්ලන දේ ඒ අයට දුන්නේ නැතිකමින්. අපි ළඟට එන මිනිහෙක් අපෙන් රුපියල් තුන්සීයක් ගෙවලා ටිකට් එකක් ගත්තොත් අපි ඒ අයට පෙරලා රුපියල් හයසීයක වින්දනයක් ලබා දිය යුතුයි. එතකොට තමයි ඒ ප්‍රේක්ෂකයා තව රුපියල් තුන්සියක් අරගෙන අපි ළඟට ආයෙත් එන්නේ තවත් වින්දනයක් ඉල්ලාගෙන.

මේක හරියට අතුරෙ යනවා වගේ වැඩක්.

යොදන බජට් එක ඔබ නැවත අය කරන්නේ කොහොමද?

මම දන්නවා ලංකාවේ තියෙන හෝල් ගණන. ඒවායෙන් හෝල් හැත්තෑ පහක පමණ විතරයි චිත්‍රපටයක් හරියට දුවන්න පුළුවන්. ඒවායෙනුත් මම දන්නවා චිත්‍රපටයේ හැටියට කොයි සිනමා ශාලාවලින් ද අපිට වැඩිපුර ලාබ ලබන්න පුළුවන් කියලා. මම ඉගෙන ගෙන තියෙන ආර්ථික විද්‍යාව අනුව මගේ බස් එකේ ඕවර්ලෝඩ් කරල හරි, සීට් ගණනට හරි, ඇඟට පතට අමාරුවක් නැතුව සැහැල්ලුවෙන් හිටගෙන ඉඳගෙන යන හැටි, ඕනෑම විදියකට පාරේ දුවන්නත් මම හොඳට දන්නවා. දුවන න්‍යාය දන්න සුනිල් ටී ට කරන්න තියන්නේ අවශ්‍ය වෙලාවට තෙල් ටික ගහන එක විතරයි.

රන්ජා වගේ ක්‍රියාදාම චිත්‍රපටයක් නිර්මාණය කරන්න ඔබ පෙළඹුණේ?

මම ජනප්‍රිය සිනමාව හොඳට අත්දුටු කෙනෙක්. අපේ ප්‍රේක්ෂකයෝ වීරයෝ තමන්ට ලං කර ගත් අපේම සිනමාවක් අපිට තිබුණා. මටත් හිතුණා මේ සිනමාවේ නැවත වීර චරිත ප්‍රේක්ෂකයාට ගෝචර කරන්න. අද අපේ සිනමාවේ මේ වගේ වීර චරිතයක් කරන්න ඉන්න නළුවන්ගෙන් හොඳ පෙනුමක් තියෙන්නේ රන්ජන් රාමනායකට. මම අදහස් කළා ඔහුව යොදලා මේ චිත්‍රපටය කරන්න. මගේ අදහස ඔහුට දැම්මා. හැබැයි කොන්දේසි කීපයක් උඩ. චරිතයට කොණ්ඩෙ බූ ගාන්න ඕනෑ. ඇඟේ පච්ච කොටන්න ඕනෑ. ෆිල්ම් එකේ නම විය යුත්තේ රන්ජා. එහෙම නොවුණොත් මේ පිච්චර් එක කෙරෙන්නේ නැහැ කියලා. අද රන්ජන් රාමනායක දේශපාලන ක්ෂේත්‍රයේ නියැලි පුද්ගලයෙක් නිසා මගේ කොන්දේසිවලට නළුවෙක් විදියට මුලින් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒත් ටික කාලයකට පස්සේ මගේ අදහසට රන්ජන් රාමනායක එකඟ වෙලා චිත්‍රපටයේ රඟපෑමට පැමිණියා.

රට තුළ ආන්දෝලනයක් ඇති කළ රතුපස්වල සිද්ධිය මේ චිත්‍රපටයට ඈඳුණේ කොහොමද?

අපි චිත්‍රපටය කරන කාලේ රතුපස්වල ඔය වගේ දෙයක් තිබුණේ නැහැ. චිත්‍රපටය කරලා පෙන්වන්න කිට්ටු වෙන කොට තමයි රතුපස්වල ඔය වගේ සිද්ධියක් ඇති වුණේ. අපේ වෙලාව කියන්නේ අපි ඔය චිත්‍රපටය රූගත කළේ රතුපස්වල. ඒ වගේම ඔය සිද්ධිය වුණ කර්මාන්ත ශාලාව කිට්ටුව. එතනත් සැබෑවටම වුණේ වතුර ප්‍රශ්නයක්. අපේ චිත්‍රපටයෙත් තියෙන්නේ වතුර ප්‍රශ්නයක්. ඉතිං ඔය ප්‍රශ්නය ඈඳාගෙන තමයි මගේ චිත්‍රපටයට තහනම් නියෝග පණවන්න කවුරුත් කුටු කුටු ගාන්න පටන් ගත්තේ.

රන්ජා තිරගත වන විටම ඔබ පුවත්පත් දැන්වීම්වලින් ප්‍රකාශ කළා රන්ජා තහනම් කරන්න යනවා, ප්‍රේක්ෂකයන්ට ඉක්මනින් බලන්න කියලා. ඇත්තටම ඔබ ඒ කළේ චිත්‍රපටය පිළිබඳ මිනිස්සු තුළ කතා බහක් ඇති කරන්නද?

මෙහෙමයි. මම බොරැල්ලේ ගහපු කටවුට්වල පවා චිත්‍රපටය තහනම් කරයි කියලා රතුපස්වල රන්ජා කියන තැන් වහලා දැම්මා. මට දුරකතන ඇමතුම් පවා ආවා චිත්‍රපටය තහනම් කරනවා කියලා. ඒ ආ දුරකථන ඇමතුම් කාගෙන්ද කියලා මම දන්නේ නැහැ. මගෙත් පොඩි චකිතයක් තිබුණා මේ චිත්‍රපටයේ කතාව තුළ අපේ රටේ දේශපාලන වටපිටාව ගැන කතාබහකුත් සිදුවන නිසා මේක ප්‍රදර්ශනය අත්හිටුවයි කියලා. ඒත් මම ඒ බියගැන්වීම් පසෙකලා තිරගත කරගෙන යනවා. හැබැයි ටික දවසක් යන කොට ඔය කෝල් කිරිල්ලත් නැවතුණා.

රන්ජා නරඹන පිරිස මොන වගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ?

මේ චිත්‍රපටය පුරා ත්‍රාසය, විනෝදය, සටන් හැම දෙයක්ම තියෙනවා. මෙතනදි චිත්‍රපටය බලන්නේ එකම කොටසක් කියලා මතයකට එන්න බෑ. රන්ජා චිත්‍රපටය දෙමළ ජනතාවත් ආශාවෙන් බලනවා. දෙමටගොඩ සමන්තා හෝල් එකේ මේ චිත්‍රපටය දුවනවා. සාමාන්‍යයෙන් එහි වැඩපුර දිව්වේ දෙමළ චිත්‍රපට. අද දමිල ප්‍රේක්ෂකයෝ වැල නොකැඩී රන්ජා බලන්න එනවා. මම අදහස් කරලා තියෙනවා යාපනය, මඩකලපුව වගේ ප්‍රදේශවලත් රන්ජා තිරගත කරන්න.

ඔබ චිත්‍රපට නිෂ්පාදකයකු ලෙස චිත්‍රපට අධ්‍යක්ෂවරයාට අභියෝග කරමින් තම අභිමතය අවසානයේ තිරයට ගේන්න උත්සාහ කරන පුද්ගලයෙක්?

චිත්‍රපටයක අධ්‍යක්ෂවරයා තමයි අම්මා. මේ අම්මා දවස් ගණන් මාස ගණන් නිදිමරා වෙහෙසිලා බිහි කරන දරුවා තමයි තමන් කළ නිර්මාණය. එහෙම කරලා බිහි කරන්න හදන දරුවව මට ඕනෑ විදියට බිහි කර ගන්න මම කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. අධ්‍යක්ෂවරයා ළඟ බිහි වෙන්න බලා ඉන්න ළමයට අවශ්‍ය පෝෂණය මම නිෂ්පාදක හැටියට දෙනව. අධ්‍යක්ෂ ළඟ ළමයා වැඩෙනවා. අධ්‍යක්ෂ මට ළමයා බිහි කරලා දෙනවා. මම ඊට පස්සේ ළමයා හදා ගන්නවා.

ඔබ ඔහොම කිව්වට රන්ජා අධ්‍යක්ෂණයේදී එහි අධ්‍යක්ෂකගේ අදහසට ඉඩ දුන්නේ නෑනේද?

රන්ජා චිත්‍රපටය හදන්න පෙර ඉඳලම මගේ විෂන් එකක් තිබුණා මෙන්න මෙහෙම ආවොත් විතරයි මෙම චිත්‍රපටය දුවන්න පුළුවන් කියලා. එත් මම සුදේශ් වසන්ත පීරිස්ට එයා කැමැති නළු නිළියෝ යොදාගෙන චිත්‍රපටය කරන්න පූර්ණ නිදහස දුන්නා. දර්ශන තලවලටත් අසීමිතව වියදම් කළා. විශාල මුදල් සම්භාරයක් රන්ජා වෙනුවෙන් වෙන් කළා. චිත්‍රපටය රූගත කිරීම ඇරැඹිලා දවස් දහනවයකට පස්සේ මම ගියා චිත්‍රපටයේ ඉදිරි වැඩ කටයුතු බලන්න. මට වැටහුණා ඒ වෙන කොට චිත්‍රපටයට අරන් තිබුණ ජීවිතය ලස්සනයි චිත්‍රපටයේ නළු නිළියෝ තුන් දෙනා රන්ජාට ගැළපෙන්නේ නෑ කියලා. මගේ හිත තුළ තිබුණ විෂන් එක ඒ අයගෙන් එන්නේ නැහැ කියලා. මම කළේ දවස් දහනමයක් රූපගත කර තිබූ සියලු දේ අහකට කර අලුත් නිළියො තුන් දෙනෙක් අරගෙන සුදේශ් එක්ක රන්ජා බිහි කළා. මට ලොකු පාඩුවක් වුණත් හොඳ චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ට මට දෙන්න පුළුවන් වුණා.

අද වෙනකොට ඔබ ජාත්‍යන්තර සිනමාවේ ඇගයීම් ලබන, ලැබුව සිනමා නිර්මාණ සඳහාත් නිෂ්පාදනයෙන් දායක වෙලා?

මම චිත්‍රපටයකට සල්ලි දානකොට ඒක සම්මාන ලබයිද ජාත්‍යන්තරව කතා කරයිද කියා බලන්නේ නැහැ. මම නිෂ්පාදනයෙන් දායක වුණු තන්හා රතී රඟා චිත්‍රපටය එහෙම ඇගයීමකට ලක් වූ චිත්‍රපටයක්. මමත් මේ චිත්‍රපටය් අධ්‍යක්ෂ නිලේන්ද්‍ර දේශප්‍රිය අවුරුදු දහයේ ඉඳලා යාළුවෝ. නිලේන්ද්‍ර මගේ යාළුවෙක් කියලා සීනි බෝල චිත්‍රපට කළේ නැහැ. නිලේන්ද්‍ර පොත පත කියවලා සිනමාව හදාරලා දීර්ඝ කාලයක් සිනමාව තුළ ඉඳලා ඒ පිළිබඳ පරිනත බවක් ලබලා තමයි මේ චිත්‍රපටය කළේ. ඔහු කවදාවත් සීනිබෝල සිනමාව කරන කෙනෙක් නෙමේ. මට ඔහු ගැන විශ්වාසයක් තිබුණා. ආවට ගියාට සිනමාව කරන කෙනෙක් නොවන නිසා මම නිලේන්ද්‍රට අත දුන්නා. මම දකින්නේ නිලේන්ද්‍ර සිනමාවේ හොඳ අම්මා කෙනෙක්.

සිනමා ශාලා හිමියකු චිත්‍රපට නිෂ්පාදකයකු ලෙස ඔබ සිනමාව ඩිජිටල්කරණය වීම දකින්නේ කොහොමද?

ඩිජිටල්කරණය මම දකින්නේ ප්‍රේක්ෂකයාට සුපර්, නිෂ්පාදකයාට ලාබදායි, ප්‍රදර්ශකයාට ආරම්භය දුකක් විදියට.

ඔබ කියන ඔය ප්‍රදර්ශකයාගේ දුක මොකක්ද?

ඩිජිටල් සිනමාවකට යන කොට ප්‍රදර්ශකයා ඊට අවශ්‍යය යන්ත්‍ර ගන්න ඕනෑ. ඒ සඳහා ලක්ෂ අනූවක් විතර වැය කරන්න ඕනෑ. හැම ප්‍රදර්ශකයකුටම ඒක අපේ රටේ කරන්න අමාරුයි. ප්‍රදර්ශකයෝ හැම කෙනාම එකම මට්ටමේ දානපතියෝ නෙමෙයිනේ?

කාට හරි කියන්න පුළුවන් සුනිල් ටී ට ප්‍රශ්නයක් නෑ. හෝලුත් තියෙනවා, සල්ලිත් තියෙනවා කියලා?

එහෙම කවුරු හරි කියනවා නම් ඒක වැරැදියි. මට මේ හෝල් කීපයත් සල්ලිත් ලැබුණේ අම්මා තාත්තාගෙන් නෙමෙයි. එහෙමත් නැත්නම් හොරකම් කරලා ගත්ත දේකුත් නෙවෙයි. මේ සිනමාවෙන්ම හම්බ කරපු දේවල්. සිනමා කර්මාන්තය ගැන මට උණක් තියෙනවා. ඒ උණ නැතුව සිනමාව තුළ ලාබ ලබන්න බෑ. සිනමා ශාලාවක් නවීකරණය වීම කෙටිකාලීනව වියදම් සහිත වුණත් දීර්ඝකාලීනව ලාබදායී ව්‍යාපාරයක්. මම සිනමාවෙන් හම්බ කළ දේ මගේ කර්මාන්තයේ උන්නතියට මම යොදා ගත්තා. මට සිනමා උණ හැදුණා. ඒ උණට ඕනෑ බේත් මොනවද කියලා මමම හොයා ගත්තා. මගේ උණ සනීප කරන්න කිසිම දොස්තර කෙනෙකුට බැරි වුණා. මගේ ලෙඩේට දොස්තරත් මම. ලෙඩත් මම. දැන් මට ලෙඩෙත් හොඳයි. ඒ ලෙඩෙන් ලාබෙකුත් එනවා.

සිනමා කර්මාන්තය පිළිබඳ ඔබේ ඉදිරි දැක්ම කොයි වගේද?

මගේ සැලසුමක් තියනෙවා ප්‍රධාන පෙලේ නගරවල ආසන සියයකින් යුත් ඩිජිටල් සිනමා ශාලා පනහක් හැදීමට. සිනමා ශාලා එකම විදියේ ආකෘතියකට සෑදීමත් ඒ සඳහා එකම ආකාරයේ වර්ණ ආල්ප කිරීමත්, සියලු සැප පහසුකම් එකම ආකාරයෙන් තැබීමටත් පේ‍්‍රක්ෂකයාට ඩිජිටල්කරණයේ නැවුම් අත්දැකීම් විඳ ගැනීමට සැලැස්වීමත් මගේ මේ සැලැස්මේ අරමුණක්.

කවදද ඔය සිනමා ශාලා ඉදි කරන්න බලාපොරොත්තු වන්නේ?

ඒ සඳහා අවශ්‍යය සියලු දේ ලෑස්ති කර මම රජයෙන් මේ සඳහා අනුමැතිය ඉල්ලා තියෙනවා ඒ සඳහා අවශ්‍ය උපකරණ ගෙන්වන්න. ඒත් ඒකට අවසර තවම නැහැ.

මොනවද ඔබ රජයෙන් බලාපොරොත්තු වන දේ?

ඩිජිටල් කරන්න අවශ්‍යය මැෂින් ගෙන්න ගන්න අවසරය.

ඇයි ඒ සඳහා අවසර නොදෙන්නේ?

මම සිනමා ශාලා ඩිජිටල් කරන්න ලක්ෂ තිස් පහක් වන මැෂින් තමයි ගේන්න අවසර ඉල්ලන්නේ. ඒත් ඒවට රජයෙන් අවසර නැහැ. එයාලා කියන්නේ ලක්ෂ අසූවේ මැෂින් ගේනව නම් අවසර දෙන්නම් කියලා.

ඇයි දෙමළ චිත්‍රපට පෙන්වන්න මේ ලක්ෂ තිස් පහේ මැෂින් ගේන්න රජය අවසර දුන්නා නේද?

ඔව්. මේ සති කීපයකට උඩදී ඒ අයට අවසර ලැබුණා. මොකද දෙමළ චිත්‍රපට පෙන්වන්න බැරි තත්ත්වයක් ආවා. හැම චිත්‍රපටයක්ම වගේ ආවේ ඩිජිටල් ක්‍රමයට. ඉතිං මේ ප්‍රශ්නයට පිළියමක් විදියට රජය ඒ අවසරය දුන්නා.

රජය ඇත්තටම කියන්නේ

මොකක්ද මේ මැෂින්වලට එයාල කියන්නේ 2ම් වලින් එහාට ගිය 4ම් මැෂින් ගේන්න කියලා.

එයට හේතුව?

ඒ අනාගතය ගැන හිතලලු.

කවුද කියන්නේ?

මෙහෙම කියන්නේ චිත්‍රපට ගැන අත්දැකීමක් නැති ඩිජිටල් කරන්න කියලා රජය මඟික් පත් කර ගත්තු කමිටුවක පිරිසක්.