|
රිදී තිරයේ සුජීවා මෙදා පුංචි තිරයේ වරාමලීවිජය-කාන්ති පෙම්වතුන් හැබැයි හැමදාම රණ්ඩු
කාන්ති ලංකා ගැන අලුත් තොරතුරු
කාලයාගේ ඇවෑමෙන් නිහඬ ජීවිතයක් ගත කළ ඔබ යළිත් රංගනයට එක් වුණේ ඇයි? අවුරුදු පහළොවක් විතර මම මොනමදේකවත් රඟපෑවේ නැහැ. සිනමාවෙන් මා ඈත් වුණෙත් රඟපෑමට තියෙන අකැමැත්ත නිසා නොවෙයි. මගේ පවුල් ජීවිතයට මූලිකත්වය දෙන්න ඕනෑ නිසා. අද වෙන කොට මගේ දරුවන්ගේ වගකීම්වලිනුත් මට විවේකයක් ලැබිලා තියෙනවා. මගේ බාල දුවත් ළඟදීම වෛද්‍යවරියක් ලෙස පත්වීම් ලැබුවා. කලෙකින් ලැබුණු විවේකයත් සමඟ ශාන්ත සොයිසා මහත්තයා කළ ආරාධනයකට මම වරාමලී රඟපෑවා. කලක් රංගනයෙන් ඈත්ව සිටි ඔබට යළිත් රඟපෑම නුහුරු වුණේ නැද්ද? පොඩි නුහුරු බවක් මුලින් දැනුණා. ඒත් එකෙන් දෙකෙන් මඟ හැරිලා ගියා. දැන් ටෙලි නාට්‍යවල විතරමද මින් ඉදිරියට රඟපාන්නේ? මගේ මුල්ම ටෙලි නාට්‍යය සමන්ති. ඊට පස්සේ ජොසපිනාගේ පින, ඔය අතරේදී ජීවිතය සුන්දරයි, සෙනසුරු මාරුව ටෙලි නාට්‍යවලත් රඟපාන්න ලැබුණා. දීර්ඝ කාලයක් නිහඬව ඉඳලා රගපෑවේ වරාමලී. රඟපානවා කියලා හැම දේකම මම රඟපාන්නේ නැහැ. කොළඹ අවට හැරුණු කොට එයින් පිට පළාත්වල රූගත කරන කිසිම නිර්මාණයක් මම භාර ගන්නෙත් නැහැ. චිත්‍රපටවල රඟපාන්න ආරාධනා ලැබුණොත්? චිත්‍රපට, ටෙලි නාට්‍ය කියලා විශේෂයක් නැහැ. කොයි දේ භාරගන්නත් කලින් මට පිටපත ඕනෑ. මම පිටපත කියවලා තමයි වචනයක් දෙන්නේ. ඔබ ආවා ගියා නිළියක් බවයි මට හැඟෙන්නේ? ඒක ඇත්ත. එදා ඉඳලා අද වෙනකන් මම රඟපාලා තියෙන්නේ චිත්‍රපට විසි පහක විතර. ටෙලි නාට්‍ය වුණත් පහක් විතර. ඔය ප්‍රමාණය මම එක දිගට රඟපාලත් නැහැ. අවුරුදු දහය පහළොව නිහඬව ඉඳලා තමයි රඟපාලා තියෙන්නේ.
පවුල් ජීවිතයට මුල් තැන දීම. ඔබ ජනප්‍රිය අවධියේ කලාවෙන් දුරස්වීම ගැන කනගාටුවක් නැද්ද? ඒකට මම කාටවත් දොස් කියන්නේ නැහැ. මට විශාල වශයෙන් නිර්මාණ ලැබෙන අවධියක සිනමාවෙන් ඈත් වෙන්න ලැබුණ එක ගැන හිතේ දුකක් තිබුණත් මම අනෙක් පැත්තෙන් පවුල් ජීවිතය තුළින් ලබා ගත්ත දේවල් එක්ක ලොකු සතුටක් ලබනවා. ඔබ අදටත් සිනමාවට කැමැතිද? අදටත් මම සිනමාවට තමයි කැමැති. ඒකට හේතුව සිනමාව සදාකාලිකයි. රසිකයන් තුළ මතකයේ රැඳෙන්න නම් අනිවාර්යයෙන්ම සිනමාවට යන්න ඕනෑ. මම සුජීවා චිත්‍රපටයේ රඟපාලා දැන් අවුරුදු හතළිහක් විතර වෙනවා. ඒත් අදටත් මිනිස්සුන්ට මාව හොඳට මතකයි. වරාමලී ටෙලි නාට්‍යයේ රංගනයට කොයි වගේ ප්‍රතිචාරයක් ද ඔබට ලැබුණේ? මගේ පරණ රසිකයෝ මට නිතර කතා කළා. කාලෙකින් ආයෙත් දකින්න ලැබුණ එක ගැන ප්‍රශංසා කළා. මග තොටේ වුණත් ඒ ප්‍රතිචාරවල කිසි අඩුවක් තිබුණේ නැහැ. කවුරුත් කිව්වේ නිහඬව සිටි කාලයේ කරන්න බැරි වුණ දේ දැන්වත් ආයෙත් කරන්න කියලා. ඔබේ මුල්ම රංගනය ගැන සිහිපත් කළොත්? රෝමියෝ ජුලියට් කතාවක් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ඩග්ලස් රණසිංහ සමඟ මෝනා මංගලිකා. එහි විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ වගේ පළපුරුදු නළු නිළියන් රැසක් රඟපෑවා. එදා ආධුනික නිළියක ලෙස මට මුලින්ම රඟපාන්න ලැබුණේ ජෝ අබේවික්‍රම සමග. කැමරාව ඉස්සරහ මම එදා මුල්වරට මුහුණ දුන්නත් එක පාරින්ම සීන් එක ගත්තා. එදා කවුරුත් මට එහිදී සුබපැතුවා. එහිදී ජෝ අබේවික්රමයන් මට පැවසුවා ගොඩක් හොඳයි, ඔය ළමයට ගොඩක් දුර යන්න පුළුවන් කියා. ඔබේ දෙවැනි චිත්‍රපටය වූ ප්‍රියංගා සැබෑ ලෙසින්ම ඔබව නිළියක් කළා නේද? චිත්‍රපටයේ අධ්යක්ෂ අමරනාත් ජයතිලක මාව හොයාගෙන ගෙදර ආවා. ඒ ඇවිත් කිව්වා මගේ ප්‍රියංගා හමු වුණා කියලා. ඒ චිත්‍රපටය රූපගත කරන්නත් කලින්. පත්තරවලින් ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා. ප්‍රියංගා කාන්ති ලංකා කියලා ඒ දවස්වල මේ ප්‍රසිද්ධිය මහා ආන්දෝලනයක් ඇති කළා. ප්‍රියංගා කතාව ලිව්වේ හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න මහතා. දවසක් රූපගත කිරීම් බලන්න ඇවිත් ඔබ කාන්ති ලංකා නොවෙයි, ඔබ මගේ ප්‍රියංගා කියලා එතුමා වචනයෙන් හොඳ සහතිකයකුත් දුන්නා. විජය කුමාරතුංග මුල්වරට ප්‍රධාන චරිතයක් රඟපෑවේ ඔබත් සමඟද?
එදා සරසවිය පත්තරයත් ඔබට අසීමිත ප්‍රසිද්ධියක් රැගෙන ආවා නේද? සහතික ඇත්ත. සරසවිය පටන් ගත්තා පාසල් යන අපේ නිළියෝ කියලා විශේෂාංගයක්. ඒ විශේෂාංගයේ මුල්ම ලිපිය සැරසුණේ මගෙන්. ඒ කාලේ විජය කුමාරතුංග ෂූටින්වලදී මට කරන විහිලු නිසා මම අතට අහුවෙන දෙයින් එයාට දමලා ගහනවා. මගේ තනියට යන අම්මත් විජය කරන විහිලු හොඳට දන්නවා. ඒ නිසා අම්මත් සද්ද නැතුව ඉන්නවා. මම කරන්නේ විජයට බනින එකයි. කරන දේවල්වලට අතට අහුවෙන දෙයින් දමල ගහන එකයි. ඔය සිද්ධි ඒ දවස්වල සරසවියේ පල වුණා. විජය කාන්ති පෙම්වතුන්. ඒත් දෙන්නා හැමදාමත් රණ්ඩු කියලා. රඟපෑ මතකයේ රැඳුණු චිත්‍රපට මොනවාද? ප්‍රියංගා, සුජීවා, සිතිජය, දයාබර නිලූ, නින්ජා ශ්‍රී ලංකා, බඹසර බිසව්, ඇයි ඔබ තනි වෙලා, හලෝ ශ්‍යාමා, ආදර හසුන, හිත හොඳ නම් වරදින් නැහැ. සුජීවා චිත්‍රපටයත් ඔබට සදාඅනුස්මරණීයයි නේද? මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මමත් රෝයි ද සිල්වාත්. එදා අපි දෙන්නා චන්දන ඇල්ලෙන් නාලා ගීතය ගායනා කරමින් රඟපෑ ගීතය නිසාම එදා ප්‍රේක්ෂකයෝ අපිට දැක් වූයේ පුදුම ආදරයක්. ඔබ දායක වූ අඩක් නිම කළ චිත්‍රපට කීපයක්ම පසුව වෙනත් අය යොදා කරන්න සිද්ධ වුණා නේද?
ඔව්. තුෂාරා, සූකිරි කෙල්ල, ඔබයි මමයි, අහස් ගව්ව වගේ චිත්‍රපට කීපයක්ම තිබුණා. ඒවා
මට කරන්න නොලැබීම දුකක්. මට පවුල් ජීවිතයට මුල් තැන දෙන්න වීම නිසාම මේ නිර්මාණ
කීපයේ ඉතිරි ටික සම්පූර්ණ කරන්න මට දායක වෙන්න බැරි වුණා. ඒ ගැන අදටත් ඒ චිත්‍රපට
බලන කොට මට දුකක් ඇති වෙනවා.
එදා රගපෑ චිත්‍රපට අද බලන කොට මොනවද හිතෙන්නේ? එදා අපි රඟපෑවේ හදවතින්ම. ඒ කරපු දේවල් අද දකින කොට ඇත්තෙන්ම හරිම සතුටුයි. ඒ චරිතවලට අපි සාධාරණයක් කරලා තිබුණනේ කියලා ඇඟට දැනෙනවා. මගේ හොඳම කාලයේ චිත්‍රපට බොහොමයකට දායක වෙන්න මම අවාසනාවන්ත වීම ගැන අදටත් මගේ හිතේ පසුතැවීමක් තියෙනවා. පවුලේ තොරතුරු කොහොමද? මහත්තයා වෛද්‍ය රොහාන් පෙරේරා. දැන් කළුබෝවිල රෝහලේ රාජකාරි කරනවා. ලොකු දුව ප්‍රමිශ්කා ගණකාධීකාරිවරියක්. වෛද්‍යවරයෙක් සමග විවාහ වෙලා ඉන්නවා. දෙවැනි දුව ගෂිනි ඉංජිනේරුවරියක්. ඇය විවාහ වෙලා අමෙරිකාවේ පදිංචි වෙලා ඉන්නවා. බාල දුව වීණාවි වෛද්‍යවරියක් ලෙස සේවය කරනවා. එදා වගේම අදත් මම කලාවට ආදරෙයි. මගේ මහත්තයාත් කලාවට ගොඩක් කැමැතියි. ඔහුත් හොඳ ගායකයෙක්. මගෙන් කලාවට වෙන්න ඕනෑ දේ මට නිසි ලෙස ඉෂ්ට කරන්න බැරි වුණත් අදත් මම සතුටින් ඉන්නේ නැව ගිලුණත් බෑන්චූන් කෙනෙක් විධියට. 14/5ඒ, පළවෙනි පටුමග, පිළිකා රෝහල පාර, මහරගම කාන්ති ලංකාගේ ලිපිනයයි.
|