වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




මේ සතුට කියන්නට හෝඩියේ අකුරු මදි

මේ සතුට කියන්නට හෝඩියේ අකුරු මදි

සඳුන් – උදයංගනී කැදැල්ලට යමු

සිඟිති දරුවෙක්ගේ කෑ ගැසුම ඈතෙන් ඇසේ. ඔහුව නළවා ගැනීමට වෙර දරන මවකගේ නැළවිලි ස්වරය මුළු පරිසරයේම විහිද යන්නේ තාලයකට ය. ඒ තාලයට සෙලවෙන ගහ කොළවලින් නැඟෙන්නේද නැළවිලි ස්වරයකැයි මට සිතුණේ ඉබේමය. උදයංගනීගේ නිවෙස අසලටම පිවිසුණු අපි වසා ඇති දොරට තට්ටුවක් දැමූයේ ළයාන්විතව ඇසෙන නැළවිලි ගීයට බාධා කරමිනි. ඈ දොරෙන් එබී බැලූයේ කුඩා සිඟිත්තාද අත ඇතිවය.

“මෙයා තනියම ඉන්න කැමැතිම නෑ”

සුපුරුදු සිනහව මුවඟ විහිඳුවමින් ඈ දසන් දක්වා සිනහසුනාය. කාලයකට ඉහත “ඉතිං ඊට පස්සේ” ටෙලි සිත්තමේ “බෙනීට” ආදරය කළ රංජනී ප්‍රේක්ෂක හදවත පැහැර ගත්තේ ඉබේමය. ඈ දැන් සැබවින්ම බිරියකි. ඒ බෙනී මහත්තයාගේ නොව සඳුන් රාජකරුණා නම් මේ දිනවල කා අතරත් ජනප්‍රිය ‘ආදර දෑසක්’, ‘උතුම් පැතුම්’, ‘දේදුනු’ කියන ටෙලි නාට්‍යවල අධ්‍යක්ෂවරයාගේ ය.

“විවාහ වෙලා කාලයකට පස්සෙයි මව් පදවි ලැබුණේ”

“ඔව්. මමයි සඳුනුයි විවාහ වුණේ 2008 වසරේදී. කාලයක් අපි තුන්වැන්නෙක් ගැන හිතන්නේ නැතිව ජීවිතය රස වින්ඳා. ඒ කාලය ඇතුළේ වෘත්තිය ජීවිතයේ බොහෝදුර එන්න අපි දෙන්නටම හැකියාව ලැබුණා. යම් ස්ථාවරත්වයකට ආවට පස්සේ තුන්වැන්නෙක් ගැන හිතන්න මේ හොඳම කාලය බව සිතුණා. ඒ අනුවයි අපේ කැදැල්ලට අපේ දිලිත් තාරක චූටි පුතා පැමිණෙන්නේ. යුවතියක් ලෙස කටයුතු කළ කාලයේ තිබුණු අත්දැකීම්වලට වඩා වෙනස්ම අත්දැකීම් රැසක් බිරියක් වුණාට පස්සේ දැනුණා. ඊටත් වඩා හාත්පසෙන්ම වෙනස් හැඟීමක් තමයි මව් පදවිය හිමිවීමෙන් ලැබෙන්නේ. කාන්තාවකට ලබන්න පුළුවන් උතුම්ම පදවිය වන මවක වීමට ලැබීම ජීවිතයේ තවත් එක් පරිච්ඡේදයක්. ඒ මගේ මවගේ අගය කොයිතරම් ද කියලා මට වැටහුණා.”

සිය තුරුළේ උණුසුමට ගුලි වී සිටින දිලිත් පුතුගේ උවන සිඹිමින් උදයංගනී පවසන්නීය.

“ ඒ ලැබුණු අත්දැකීම පිළිබඳ මොකද සිතුණේ”

“සාමාන්‍ය අකාරයෙන් පුතාව ලැබෙන්න ඕන කියලා මා සූදානම් වුණත් අන්තිමේදී සීසර් කරන්න වුණා. ඊට සහයෝගය දුන්න ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරු ඇතුළු හෙදියන්ව මම ආදරයෙන් සිහිපත් කරනවා. හෙට වනවිට පුතා ඉපදිලා මාස තුනක්. පුතා ඉපදුනේ ජූනි 19 වැනිදා සවසයි. ඒ වෙලාවේ නම් මට ඇතිවුණු වේදනාව වචනවලට නඟන්න බැහැ. ඒත් මා ඒ වේදනාව බොහොම මැදහත් සිතෙන් ඉවසුවා. පුතාව මගේ අතට දුන්නට පස්සේ තිබුණු වේදනාව කොහෙන් ගියාද කියලා නැහැ. දැන් මම අම්මා කෙනෙක් නේද කියන හැඟීමත් සමඟ ඇතිවුණු සතුට වචනවලට කියන්නට හෝඩියේ අකුරු තියෙනවද කියලත් හිතෙනවා”

“සඳුන්ටත් එහෙමමද ඒ හැඟීම දැනෙන්නේ?”

ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අතරවාරයේ තමන්ගේ කැදැල්ලට දුවලා යන්නට පැමිණි සඳුන් රාජකරුණාගෙන් අපි විමසුවෙමු”

“තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ තවත් වගකීම් රාශියක් මගේ උරමත පැටවෙනවා කියන අදහසයි. මගේ ජීවිතයට වගකීම් පැවරෙන එකට මා කැමැතියි. ආදරය කරන කාලයේදී වගේ නෙවෙයි තාත්තා කෙනෙක් වෙනවා කියන හැඟීම දැනෙන්නේ වෙනස්ම විදියටයි. අම්මා කෙනෙක් වගේම තාත්තා කෙනෙකුත් ඒ වේදනාව ශාරීරිකව නොවින්දත් සිතෙන් ඕනෑ තරම් දුක්විඳිනවා කියලා මම සිතනවා. මමත් උදයංගනී රෝහලේ සූතිකාගාරයේ ඉන්න ඒ කාලයේ හිටියේ තිගැස්මෙන්. ඔන්න පුතේ කිසිම කරදරයක් නැතිව පුතෙක් ලැබුණා කියලා අම්මා කිව්වාට පස්සෙයි හිතට සැනසීමක් ලැබුණේ.”

සඳුන්ගේ අත්දැකීම සෑම තාත්තා කෙනෙක්ටම පොදු අත්දැකීමක් වනු නියතය. ඔවුන් තම දූ - දරුවන්ගේ ඇතුළු නිවසෙහි ආර්ථිකය සරු කරන්නේ තම හදවත පතුළේ නැගෙන පිය සෙනෙහස හදවතෙහිම සිරකර ගනිමිනි.

“ටෙලි නාට්‍ය වැඩකටයුතු අතර පුතාව බලන්න කොහොමද කාලය වෙන්කර ගන්නේ?”

“වෙනදා වගේ නෙවෙයි. පුතාගේ සිනහව, හුරතලය මතක් වෙනකොට මට ගෙදර එන්නමයි හිතෙන්නේ. ඒක නිසා මම නිතරම වේලාසන වැඩටික අවසාන කරන්න මහන්සි ගන්නවා. ඒ ඇවිත් ගෙදරට වෙලා පුතා වඩාගෙන හුරතල් කරන විට අර මහන්සිය කොහෙන් ගියාද දන්නේ නෑ. පුතාව ඒ තරම්ම වඩාගන්න හුරුනැති වුණත් හාන්සි පුටුවට වෙලා ඇඟට හේත්තු කර ගත්තාම බොහොම අපූරුවට ඔහු මගේ උණුසුමේ ඉන්නේ හා පැටියෙක් වගේ. එතකොට නම් මට පුතා ගැන දැනෙන්නේ ලෝබකමක්”

දිලිත් පුතා අතට අර ගනිමින් ඔහු උදයංගනීට පුංචි නිවාඩුවක් දුන්නේය.

“පුතාත් සමඟ කොහොමද වැඩකටයුතු සමබර කර ගන්නේ?”

“සඳුන් වැඩට යන්නට පෙර මම උදේ හතර හමාරට විතර නැඟිටලා දවල්ටත් එක්ක උයනවා. රෙදි ටික සෝද ගන්නවා. ගෙදර අස්පස් කරනවා. පසුගිය කාලයේ නම් අපේ අම්මා ඇවිත් හිටියා. ඒත් ඉතිං ඒ අයට හැමදාමත් අපිත් එක්ක ඉන්න බැහැනේ. ටික ටික මේ කටයුතුවලට හුරුවිය යුතුයි. ඒකට සඳුන්ගෙන් ලැබෙන සහයෝගයත් අප්‍රමාණයි. ඒ වගේම සඳුන්ගේ අම්මා, තාත්තගෙන් වුණත් ලැබුණු උදව් මිල කළ නොහැකියි. අපේ ගේ අසලම ඉන්න ලලිත් අයියා ඇතුළු ඒ පවුලෙන්ම මගේ වැඩකටයුතුවලට ලැබෙන සහයෝගයත් සිහිපත් කළ යුතුයි.”

මාතලෙන් හා ගම්පොළ ප්‍රදේශවලින් කොළොම්පුරවරයට පැමිණ ජීවිතය ගොඩනඟා ගන්න මහන්සි වන මේ යුවළගේ අනාගත බලාපොරොත්තු බොහොමයකි. ඒ බලාපොරොත්තුවල ලොකුම පැතුම ඉටු වී තිබේ. ”

“උදයංගනී රඟපෑම අමතක කරයිද?”

“පුතා ටිකක් ලොකු වෙනතුරු රඟපෑම් කටයුතුවලට සහභාගි වීම ගැන අමතක කරලයි මා ඉන්නේ. ඊට පස්සේ රඟපානවා. මොකද රංගනය නිසයි මට මේ හැම දේම ලැබුණේ. අනාගතයේදී අපේම කියලා කැදැල්ලක් ගොඩනඟා ගෙන, පුතාටත් හොදට උගන්වන්නයි අපට උවමනා කරන්නේ.”

“පුතා කවදාහරි රංගන ක්ෂේත්‍රය තෝරා ගත්තොත් මොකද කියන්නේ”

“ඒ එයා කැමැති දෙය නිසා අපි මුකුත්ම කියන්නේ නැහැ. නමුත් ඊට පෙර ඔහු ඉගෙන ගෙන ඒ දේවල්වලට යොමු වුණොත් හොඳ බවයි අප සිතන්නේ.”

උදයංගනී සඳුන්ගේ මුහුණ බැලුවාය. ඒ ‘එහෙම නේද’ යැයි විමසන්නාක් මෙනි. ඔහුගේ මුවඟේද වූයේ සිනහවකි. ඒ ඈ කියන දේ අනුමත කරන්නා සේය. මේ අතර චූටි දිලිත් පුතා අඬන්නට පටන් ගත්තේ බඩගිනි වී ඇති නිසාවෙනි.

“දැන් නම් එයාට බඩගිනි වෙලා. ඒ වගේම එයා නිදිය ගන්න වෙලාව තමයි මේ.”

උදයංගනී සිය පුතු තම තුරුළේ හොවා ගනිමින් පැවසූවාය. මේ අතර ඔවුන්ගේ සොඳුරු එකමුතුවේ දසුන් කිහිපයක් අමිත් අයියාගේ කැමරා කාචයෙහි සටහන් වූයේ සැනෙනි.