වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




කුලියාපිටියෙන් රංගනයට පිවිසි ගුරුවරිය සුජාතා

කුලියාපිටියෙන් රංගනයට පිවිසි ගුරුවරිය සුජාතා

වෘත්තියෙන් ගුරුවරියක වන සුජාතා අලහකෝන් ටෙලි සිතුවම් ගණනාවක චරිත මැවූ රංගන ශිල්පිනියකි. තම රැකියාව සහ කලාව සමබරව කරගෙන යමින් ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට ඇය අපේක්ෂා කරන්නීය.

මගේ ගම කුලියාපිටිය. එම ප්‍රදේශයෙන් කලාකරුවන් රැසක් බිහි වුණා. රිචඩ් අබේවර්ධන මහත්තයත් එහෙ එක් කෙනෙක්. ඔහු තමයි මාව රංගනයට ගෙනාවේ. බලබිඳුම මගේ පළමුවැනි ටෙලි නාට්‍යයයි. චන්න පෙරේරාගේ අක්කා හැටියටයි මා එහි රඟපෑවේ.

සුජාතා සේවය කරන්නේ කුලියාපිටිය මුස්ලිම් විද්‍යාලයේ. සිංහල සහ චිත්‍ර විෂයන් තමයි ඇයට භාරව තිබෙන්නේ.

මං කවාදාවත් ෂූටිං දාගෙන වෘත්තීමය කටයුතු කඩාකප්පල් කර ගන්නේ නැහැ. පාසලේ වගකිවයුතු අය ඒ ගැන දන්නවා. ඒ හින්දා මට බලපෑම් නොකර නිදහසේ වැඩ කරගෙන යන්න ඉඩ දීලා තියෙනවා. ටිකිරි රත්නායකගේ ස්වර්ණපාලි නාට්‍යයේ මං පුංචිනා. මට ඊට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම සිරීගේ ඉරණම, පිත්තල කොන්ඩෑරුම බණ්ඩාර දෙයියෝ, නිර්සත්වයෝ නාට්‍යවලත් මං සැලකිය යුතු චරිත රඟපෑවා. බල බිඳුමෙන් පටන් ගෙන වසන්ත කුසලාන, සඳගල තැන්න, සුජාත පුත්‍ර, ඉසුරුයෝගය, අහංකාර නගරේ, චෙස් ඇතුළු නාට්‍ය විසි පහක පමණ මේ වන විට රඟපාලා තියෙනවා.

සුජාතාගේ ප්‍රාර්ථනාව පුළුවන් තාක් කල් රංගනයේ යෙදීමයි. එමෙන්ම ඇය වේදිකාවට ද පිවිසෙන්නට ද කැමැත්තෙන් සිටිනවා.

මං ගමේ වේදිකා නාට්‍ය කළා. නමුත් ප්‍රසිද්ධ වේදිකාවට එන්න නොහැකි වුණා. ඉතා ආසාවෙන් ඉන්නවා හොඳ මෙන්ම ගුණාත්මක වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න. ඒ වගේම චිත්‍රපටයකටත් දායක වෙන්න කැමැත්තෙන් පසුවෙනවා. මේ මොහොතේ මට උදව් උපකාර කළ සැම දෙනාටම තුති පුදන්නත් ඕනෑ. ඒ අයගේ තල්ලුවෙන් තමයි අද මං තැනක ඉන්නේ.

0766318357 මේ සුජාතාගේ දුරකථන අංකයයි.