වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




පුංචි තිරේ බෝනික්කි රිය අනතුරකට ලක් වෙලා

පුංචි තිරේ බෝනික්කි රිය අනතුරකට ලක් වෙලා

අපේ වාහනේ හැප්පුණා පුංචි තිරේ මල් බෝනික්කි යන ආදරණීය නාමයෙන් පිදුම් ලද ඔබෙත් මගෙත් ආදරණීය ඕෂධී හේවාමද්දුම නම් වූ මේ තාරකාවිය පසුගියදා හදිසි රිය අනතුරකට මුහුණ දුන්නාය. එහිදී ඇගේ ජීවිතය දෙස දෙවියන් බලා මහා නපුරක් සිදු නොකළ ද, එදා පටන් ඇගේ සුව දුක් අසා සරසවියට එන ඇගේ රසික ප්‍රජාවේ දුරකථන ඇමතුම් ප්‍රමාණය අප ද පුදුම කර ඇත. මේ නිසාම අප ඕෂධීව සම්බන්ධ කර ගත්තේ මේ හදිසි රිය අනතුරේ මුල මැද අග ඇගෙන්ම දැනගන්නට අවැසි නිසාය.

* ඕෂධී මොකද මේ එකපාරටම සිදු වුණු කරදරය?

කරදර එන්නේ කලින් කියලා නෙමේ කියන දේ යළිත් මට පසක් කළා. දෙවෙනි වතාවටත් මම රිය අනතුරකට මුහුණ දුන්නා. මේ ඇක්සිඩන්ට් එක වුණේ පසුගිය පස් වැනිදා. කොළඹ රීගල් එකේ තිබුණු Film Festivel එකට සහභාගි වෙලා යන අතරතුර. අපේ වාහනේ මමත් ප්‍රදීප් හා තව හිතවතෙකුත් සිටියා. මම වාඩි වෙලා හිටියේ පිටුපස සීට් එකේ. බත්තරමුල්ලේදී රෝන් සයිඩ් කාර් එකක් ඇවිත් අපේ වාහනේ හැප්පුණා. මාව එහාට මෙහාට කැරකිලා ගියා. ඔළුව, කකුල්, අතපය වාහනේ ඇතුළේම වැදුණා. මට නැගිට ගන්න බැරි තරම් අමාරුවක් දැනුණා.

ඇය මොහොතක් නිහඬ වෙයි. ඒ බිහිසුණු රිය අනතුර ඇගේ දෑස් ඉදිරිපිට මැවෙනවා ඇත.

* ඔබව රෝහල් ගත කළා?

ඔව්. වේදනාවෙන් ඇඟපත රිදුම් දෙන්න ගත්තා. දෙවියෝ බලලා බාහිර තුවාල නැති වුණත් ඇඟ ඇතුළෙන් තැලිලා වාගේ. වෛද්‍යවරු මම වෙනුවෙන් හුඟක් මහන්සි වුණා. ඉල ඇටවල ප්‍රශ්නයක් තමා දැන් තිබෙන්නේ. පරීක්ෂණ කරගෙන යනවා.

* මේ අනතුර සිදු කළ පුද්ගලයා වාහනය පදවලා තිබෙන්නේ බීලා කියලා ආරංචියි?

ඒකනේ . . . බීපු රියදුරෙක් මේ අනතුර සිදු කළේ. ඔහුත් තුවාල ලබා සිටියේ. සැකකරු කොස්වත්ත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගොස් තිබුණා. පසුව අත් අඩංගුවට අරගෙන. හැබැයි ඔහු ඇප ලබලා එළියේ ඉන්නවා. මම කියන්නේ එකම දෙයයි. ඒ නීතියෙන් සාධාරණයක් ඉටු කරන්න. බීලා රිය පදවලා අනිත් අයගේ ජීවිත ගැන සිතන්නේ නැති මෙවැනි රියදුරන්ට ලොකු දඬුවමක් දිය යුතුයි.

* මේ හදිසි අනතුර නිසා ඔබේ වැඩ කටයුතුත් අතරමඟ නවතින්න ඇති නේද?

ඔව්. රූගත කරමින් තිබුණු නාට්‍ය දින නියමයක් නැතිව කල් දමන්න සිදු වුණා. බලන්න එය මට විතරක්ම නෙමේ මුළු නාට්‍ය කණ්ඩායමම අපහසුතාවයකට පත් කිරීමක්නේ. ස්වර්ණවාහිනියේ මම කරන නිවේදන කටයුතුත් නතර වුණා. කාලය – මූල්‍ය මේ හැම දෙයක්ම පාඩුවීමක් ඉන් සිදු වුණේ. මම මුදල් ගැන ලොකුවට හිතන්නේ නැහැ. ඒත් ඉතිං මම යළි යථා තත්ත්වයට එනතුරු කරගෙන ආ වැඩ කටයුතු අතරමඟ නතර වීම අපරධයක්. තත්ත්පරය හරි ගෙවන කාලය ආපසු අරගන්න බැහැනේ.

* ඔබ රෝහල් ගත වී ඉන්න අතරේ පුතා ඔබ නැතුව ගෙදර ඉන්නවාද?

තාම පැටියාට අවුරුදු දෙකයි. එයාට දැන් මම ළඟ ඉන්නම ඕනේ. ෂූටිං ගියත් රෑ වෙන්න කලින් මම ගෙදර එනවා. මට දුක ඒකමයි. ගෙදර අය හොස්පිටල් එකට පුතා අරන් එනවා. එයා එක්ක දඟලන්න මට අමාරුයි.

* ඔබේ සැමියා සුමිත් මේ වෙලාවේ ඔබ ළඟම ඇති නේද?

ඔව්. සියලුම වැඩ පැත්තකට දාලා එයා මම ළඟින්ම ඉන්නවා. බලන්න මේ නිසා අපි හැමෝගේම වැඩ කටයුතු අතරමඟනේ. බිරියකට තම සැමියා ගැන ඇති ආදරය තව තව වැඩි වෙනවා මෙවැනි කරදර සිදු වුණහම. සුමිත් කියන්නේ මගේ පෙර වාසනාවකට බේරුණේ කියලා.

* ඕෂධී මේ වෙලාවේ කලා ලොවේ අය ඔබව බලන්න ආවාද?

අනේ ඔව්. මට නම් කියන්න බැරි එක් කෙනෙක් හරි මඟ හැරෙයි කියලා. හැමෝම වාගේ ආවා. අදටත් දුරකථනය ඔස්සේ සුව දුක් විමසනවා හැමෝම. කලා ලොවේ මට ඉන්නේම මිතුරු මිතුරියන්. මොකද මම හැමෝම එක්ක සුහදයි.

* ඔබේ රසික රසිකාවියනුත් මේ අතර ඉන්නවා නේද?

අප්පේ . . . නැතුව රසික ආදරයට විශේෂයෙන්ම මම ස්තුති කරනවා. හැමදාම ඔවුන් මම ගැන සොයා බලනවා. මේ වෙලාවේ මා අනතුරට පත් වූ මොහොතේ පටන් මා ගැන සොයා බලන මගේ පවුල් අයට, ඥාතීන්ට, මාධ්‍යවේදීන් සැමට, වෛද්‍යවරුන් හා හෙද - හෙදියන්ට ස්තුතියි කියලා කියනවා. දුකේදී බලපු අය තමා ඇත්තටම ජීවිතේ වටින්නේ.

* ඕෂධීට අවසාන වශයෙන් කියන්න දෙයක් තිබෙනවාද?

ඔව්. මේ රිය අනතුර නිසා දුක් විඳින්න සිදු වුණේ පාඩුවේ සිටි අපට. ඒ නිසා මම නීතියෙන් සාධාරණයක් පතනවා. විශේෂයෙන් දෙයක් කිව යුතුමයි. ඒ කලාකරුවන් වෙනුවෙන් පොදු රක්ෂණයක් තිබිය යුතුයි. මොකද නිතරම කලාකරුවන් මෙවැනි කරදරවලට මුහුණපානවා.

එහෙම නම් අපි ඉක්මනින්ම ඔබට නිරෝගී සුව පතනවා. සනීප වෙලා යළිත් තිරයට ඉක්මනින් එන්න ඕෂධී. සියළු දෙවියන් ඔබ රකිත්වා! ඔබට තුණුරුවන් සරණයි.