|
ඇසට හඬන්නට කඳුළැල් දුන් ඔබ ළතැවුල් දරනා දිරිය ලබාදුනි
ගීත රචක චන්න ජයනාත්
මෙවර ‘මතක ගී පොත’ විශේෂාංගය මගින් සිය අතීතය සොයා යන්නේ චන්න ජයනාත්ය. ගීත සාහිත්‍යයට විවිධ වූ ගීත තිළිණ කර ඇති ඔහු මෑත පද බඳින ලද ගීතවලින් නිරෝෂා විරාජිනී ගයන ‘ඉගිලෙන්න තහනම් නම් දුරක්’ ගීතය අසන්නන් අතර වඩාත් ජනප්‍රිය විය. ‘මගෙ දුප්පත් ඇස්දෙක’, ‘මෙවලම් මොකටද’, ‘සමාවෙන්න රත්තරනේ වරද’, වැනි ගීත රැසක් පඳ බැඳූ චන්න ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට ගීත ද රචකයෙකි. මහරගම ගොඩිගමුව මහ ගෙදර ගෙවූ මගේ ළමා කාලය බෙහෙවින් සුන්දරය. ගොඩිගමුව අවට ගම්වාසීන් අප සිටි නිවෙස හැඳින්වූයේ “වෙද ගෙදර” යන නාමයෙනි. ඒ අත්තා හා ආත්තම්මා යන දෙදෙනාම වෛද්‍ය ශාස්ත්‍රඥයන් වූ බැවිනි. මා ඉපදුනේ පියාගේ මහගෙදර වුවද හැදුණේ වැඩුණේ මවගේ නිවෙස වූ වෙද ගෙදරය. ඖෂධ කපා කොටා බෙහෙත් හිඳින අයුරු එකල එහි විසූ අපට සුපුරුදු දර්ශනයකි. ඉන් නැගෙන පුසුඹ අද ද මගේ නැහැයට දැනෙන්නේ යැයි මට හැඟෙයි. ඖෂධ කපන්නටත්, තෙල් හිඳින්නටත් එක් රොක් වූ කළ සැලකිය යුතු පිරිසක් නිවසෙහි සිටි වග මට මතකය. නිවෙසියන්ගේ ආදරය, කරුණාවට අමතරව ඔවුන්ගේ සෙනෙහස ද ලබමින් හැඳුණු වැඩුණු අප කෙරෙහි අම්මාගේ සිතෙහි වූ සෙනෙහස කොපමණද යන්න මම අද ද සිහිපත් කරමි. ලංගම අංගන පරිපාලකවරයෙක් ලෙස සේවය කළ තාත්තාද සිහිපත් නොකළහොත් අඩුවකි. ඔහු නිවසෙහි ආර්ථිකය කරට ගෙන සිටි නිසා අප ළඟම ගැවසුණේ අම්මාය. ජීවිතය නෙක රටා සහිත වූ කලාලයක වියමනක් මෙන් යැයි අපට ඉගැන්වූයේ ඇයයි. කුඩා අපගේ හදවත මනා අයුරෙන් වටහාගෙන සිටි ඕ අපට නිදහසේ වැඩෙන්නට හැරියාය. නිවෙස පෙනෙන මානයේ විහිද ගිය වෙල්යාය කුඩා අප බෙහෙවින් ප්‍රිය කළ ස්ථානයකි. වරෙක නිලට නිලේ දිලෙන වෙල්යායේ නියර දිගේ දුවන මට ගොයම් අත වනනවා සේ යැයි හැඟිනි. තවත් වරෙක හිරු කිරණ වැඳී රන්වන් පාටෙන් දිලෙන වී කරල් පොළවට ආචාර කරන අයුරු බලා සිටින්නට මම ප්‍රිය කළෙමි. එය නරඹන්නට වෙල්යායට ගිය පසුව වී කරල් අතර සැංඟී හැංඟිමුත්තන් කෙළින වී කුරුල්ලන් ඉගිල යන දසුන මනරම්ය. අක්කර කිහිපයක් විහිද ගිය ඉඩම කොණක ඉදිවුණු සණස සමිතියට ප්‍රධානියා වූයේ අත්තාය. ඔවුන් එතැන කුමක් කරන්නේදැයි යන්න පිළිබඳ කුඩා අපට වූයේ කුතුහලයකි. එතැනට යන අපි ඔවුන් කතාබහ කරන දෙය නොතේරුණත් අසා සිටින්නටත්, එහි සිටින මිනිසුන් සංඛ්‍යාව ගණන් කරන්නටත් පුරුදු වී සිටිමු. මද වේලාවකින් එතැනෙන් ඉවත් වන අප නැවතත් නිවෙසට දුවන්නේ එහි ගිය වේගයටත් වඩා වේගයෙනි. ගමේ පන්සලත්, අපේ නිවෙසත් අතර වූයේ මනා සබැඳියාවකි. මේ නිසා ලලිත් අයියාත්, මනෝලි නංගීත්, නීල් මල්ලීත්, මමත් යන අප සිව්දෙනාගේම ජීවිතයට ඉන් ලැබුණු ආලෝකය අප්‍රමාණය. එදා කුඩා ළමුන් විදියට ආගමෙන් දහමෙන් ලැබූ ශික්ෂණය වැඩිහිටියන් බවට පත් වූ පසුව වුවද අපගෙන් ඈත් නොවූයේ අම්මා හා අප අතර වූ බැඳීම මූලික කර ගනිමිනි. අප විවාහ වී දරුවන් ලැබූව ද අම්මා හා තාත්තාත් සමඟ අප අතර වූ බැඳීම එදා මෙන්ම අද ද කිසිදු වෙනසක් නොමැතිව ගලා යන බව මා පවසන්නේ ඉමහත් සතුටෙනි. මහගෙදරට පිවිසෙන බොහෝවිට මම කුඩාකල සිහිපත් කරන්නට පෙලඹී සිටිමි. එදින වත්තෙහි කොණක කුඩාවට පිහිටි සණස ශාලාව අද බොහෝ දියුණුව වැජඹෙන අයුරු දකින මට සිහිපත් වන්නේ අත්තාය. අම්මාය. අම්මාගේ සෙනෙහසය. විවාහ වනතුරුම ඇගේ සෙනෙහසට මැදි වී දිවි ගෙවූ මා විවාහ වන දිනයේ වූ අපූරු සිදුවීමක් මගේ මතකයට නැඟේ. චිත්‍රාණිව විවාහ කරගෙන කැන්දන් එන්නට නියමිතව තිබුණේ මා සෑදූ අලුත් නිවෙසටය. ඈ කැන්දන් එන්නට නියමිතව තිබූ දිනය උදාවූයේ ඉක්මනෙනි. එදින උදෑසන මංගල සාදය පැවැත්වෙන ස්ථානයට යෑමට මා අම්මාගේ දෙපා වැන්ඳේ ඇගෙන් ඊට අවසර ගැනීමේ බලාපොරොත්තුවෙනි. මගේ දෙවුරෙන් අල්ලා මා නැඟිට්ට වූ ඇගේ දෑසෙන් හැළුණේ කඳුළු වැල් කිහිපයකි. වසර තිහකට පසුව නැවතත් මා ඔවුන් වෙත පැමිණෙන්නේ අලුත් මිනිසකු වී වග ඇය දැන උන්නාය. ඔවුන්ගේ කැඳැල්ලෙන් තරමක් හෝ මා ඈත්වන වග ඇය දැන උන්නාය. ඒ සිහිවීම නිසාත් ඇගේ සෙනෙහසෙහි අරුමයත් මගේ නෙතට කඳුළු නැංවීය. ලොකු අයියාත්, නංගීත්, මල්ලීත් කඳුළු පිරි නෙත්වලින් මා දෙස බලා සිටියහ. මේ ගීතයට බෙහෙවින් කැමැත්තක් දක්වන්නේ අම්මාගේ සෙනෙහසත් ඒ අතීතයත් සිහිපත් වන බැවිනි.
ලොවම උවම් කළ ලොවට පිදුම් ලද ලොවේ උතුම් ළඳ
අම්මා....... අම්මා ......... අම්මා ..........
දෙසවන් සනහා මා නැළවූ ඔබ මියුරු මියැසියේ අරුත කියාදුනි ඒ මියැසිය අද මා ගයනා විට මා සනසන්නට ඔබ මා ළඟ නැත
අම්මා ....... අම්මා ........ අම්මා........
ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ ළතැවුල් දරනා දිරිය ලබාදුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා දින මා සනසන්නට ඔබ මා ළඟ නැත
අම්මා ...... අම්මා ....... අම්මා........
ගේය පද - සුනිල් ආරියරත්න සංගීතය - රෝහණ වීරසිංහ ගායනය - සුනිල් එදිරිසිංහ
සුනිල් ආරියරත්නයන් සුරතෙන් මේ ගීතය පද බැඳුණේ ඔහුගේ අම්මා පිළිබඳ වන්නට ඇත. එහෙත් මගේ මව්පියන් තවමත් සිටින්නේ ජීවතුන් අතරය. එනමුදු ගීතයේ සංගීතයත්, ගායනයත් ගීතයේ අර්ථය තිව්‍ර කරමින් අපගේ හදවත වැළැඳ ගන්නේ ඉබේමය. මවගේ සොඳුරු සෙනෙහසද ගීතයේ අපූරුවට ගැබ් වී තිබෙන්නේ ගීතය අසන සැමගේ හදවත ගීතයට ආශක්ත කරමිනි. ගීත කලාවට ප්‍රිය කරන්නට ගී පද බඳින්නට මා පෙලඹූයේ ගීත සාහිත්‍යයෙහි වූ මෙවැනි ගීය. ඒ සදහා අවස්ථා රැසක් ලබාදුන් උපුල් ජයසිංහ මහතාද මෙවේලෙහි සිහිපත් කළ යුතු යැයි මම සිතමි. කුමක් හෝ වචනයක අරුතක් ගැටලුවක් වූ කළ එය විසඳා ගන්නට උදව් වන සුනිල් ආරියරත්නයන් ද මම සිහිපත් කරමි.
අසංක ප්‍රියමන්ත පීරිස් ගයන මේ ගීගිතයටද මම බෙහෙවින් ප්‍රිය කරමි.
සඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩියි හිතේ
කුස ගින්නට රස මසවුළු ලැබුණත් මොකටද මගේ පුතේ නුඹේ ඉඳුල් රජ බොජුනකි මට මහලු මඩම දඟගෙයක්ය දඟගෙයි ලෑමට ලොකුම වරද නුඹේ පියා වයසට යෑමද
පසළොස්වක පෝයදාට ගමේ විහාරෙට හිත දුවලා වැඳලා එයි මම හැඳූ පිළිමෙට මගේ පුතා මතු බුදුවෙයි එකක් කළොත් හෙට නුඹේ අතින් බත් දෙකටක් කවාපන්කො මට
ගේය පද – ලලිත් වසන්ත, සංගීතය – ජයසිරි අමරසේකර ගායනය – අසංක ප්‍රියමන්ත පීරිස්
බිරියගේ නිවසෙන් සෑම වසරකම වැඩිහිටි නිවාසයකට දානයක් දීම කාලයක පටන් කරගෙන පැමිණි ක්‍රියාවලියකි. චිත්‍රාණිව විවාහ කරගත් පසුව මා ද ඊට සහභාගී වූයේ දැඩි කැමැත්තෙනි. එහි සිටින වයස්ගත වූ ඔවුන් සිටිය යුත්තේ සිය දරුවන්ගේ ආදරයට මැදිවය. නැතහොත් සිය මුණුබුරු , මිනිබිරියන්ට සෙනෙහස පාමිනි. එහෙත් ඒ කිසිවක් එහිදී විඳින්නට, කරන්නට ඉඩ හසරක් ඔවුන්ට නොලැබෙන බවද සැබවි. එහෙත් එවන් වූ ප්‍රාර්ථනා රැසක් දහස්වර ඔවුන්ගේ හදවත ඉපදී මියයන වග මට වැටහුණේ ඒ මුහුණු දෙස විමසිල්ලෙන් බලද්දීය. ඔවුන්ගේ සුවදුක් විමසීම හා ඔවුන් සමඟ දවස ගත කිරීමට පැමිණි අප පිළිබඳ සිතෙහි ඇති සතුට විදහා දක්වන්නේ සුන්දර සිනහවකිනි. ඒත් ඒ සිනහවේ සැඟවුණු දුක්ඛදායක කතන්දරයක් ඇතැයි මට සිතුණු වාර අනන්තය. එහි පිවිසුණු එක් දිනෙක අපූරු ලියවිල්ලක් මගේ නෙත ගැටිණි. එක් බිත්තියක අලවා තිබුණු එය මම කියැවීමි. එහි සිටින එක් එක් වැඩිහිටියාගේ නමත් ඒ නමට ඉදිරියෙන් සටහන් කර තිබුණේත් ඔහුගේ භාරකරුවාය. ඒ එක නමක ඉදිරියෙන් විටෙක සඳහන් වූයේ ඥාතියෙකුගේ නමකි. නැතිනම් දුවගේ හෝ පුතෙකුගේ නමකි. මගේ හදවත ගැහෙන රිද්මය වෙනස් වූයේ මටත් නොදැනීමය. මම හදවතෙන් හැඬීමි. සෙමෙන් මම ඔවුන් අහරගන්නා තැනට පැමිණියෙමි. අහර ගෙන අවසන් කළ ඔවුහු අපට පින්පෙත් අනුමෝදන් කළහ. එහෙත් මම දහස්වර හදවතෙන් හැඬීමි. කම්පනයට පත්ව සිටියෙමි. එක්වරම මට සිහිපත් වූයේ මගේ අම්මාය. තාත්තාය. අප කෙතරම් අම්මාටත්, තාත්තාටත් ආදරය කරන්නේ ද යත් පවුලේ සියලුදෙනා දුර බැහැරක යන්නට සැරසෙන කිනම් මොහොතක වුවද මගේ මව්පියන්ගෙන් මෙන්ම බිරියගේ මව්පියන්ගෙන්ද වැඳ අවසර ගැනීම කළේ සිරිතක් ලෙසිනි. ඒ ගමනට ඔවුන්ගේ ආශිර්වාදය නොලැබීම මා සැලකූයේ අඩුවක් ලෙසය. මගේ සුදමි, සෙනුමි දියණියන් දෙදෙනාටද මේ සියලු යහ සිරිත් පුරුදු පුහුණු කරන්නට මම මැළි නොවෙමි. ඒ අපගෙන් පසුව ඔවුන් ද මේ යහ සිරිත් දිගින් දිගටම ආරක්ෂා කරගත යුතු නිසාය. පවත්වාගත යුතු නිසාය. මේ ගීතයට මා ප්‍රිය කරන කාරණය එයම පමණක් නොවේ. එනම් මගේ අයියාගේ සුරතෙන් ලියන ලද ගීත අතරෙන් මා වඩාත් ප්‍රිය කරන්නේද මේ ගීතයමය . මගේ නිර්මාණ ජීවිතයට මඟ පෙන්වූ අනෙක් සහෘදයා වූයේ ඔහුය.
|