වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




මට චරිතෙ වැදගත් නෑ

මට චරිතෙ වැදගත් නෑ

කට කතා බලෙන් හදා ගන්නමට අවශ්‍යය නැහැ
මගේ හිතට හරි යන කෙනා තවම හමු වුණේ නැහැ
අවාසනාවට ඔරුව පෙරලුණා වාසනාවට මොකුත් වුණේ නැහැ

මේ දිනවල අයෝධ්‍ය දක්ෂිකා රංගනයෙන් දායක වූ ටෙලි සිතුවම් තුනක් විකාශය වේ. ඒ බ්‍රහ්ම මූර්ථය, දේදුනු සහ මුතුය. ඇය නම් කියන්නේ මේ අතරින් බ්‍රහ්ම මූර්ථයේ මාපා නම් චරිතය ඇයගේ රංගන ජීවිතයේ සුවිශේෂි තැනක් ගන්නා බවය.

* ඇයි අයෝධ්‍යා එහෙම කියන්නේ?

ඒක ටිකක් සංකිර්ණ චරිතයක්. දිගු කාලයකට පසු එවන් චරිතයක් කරන්නට ලැබීම භාග්‍යක් කොට මා සලකනවා. අනෙක් සුවිශේෂී කරුණ නම් මාපා නිසා මගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වීම.

* අයෝධ්‍යා බොහොම පොඩි වයසෙදි ඔබ රංගනයට එන්නේ. අධ්‍යාපන කටයුතුවල අතපසුවීම් එහෙම වුණේ නැති ද කලාව නිසා?

කොහෙත්ම නැහැ. දෙදාහ වසරේදියි මං ක්ෂේත්‍රයට එන්නේ. එදා ඉඳලා මේ දක්වා රඟපානවා. මං ශිෂ්‍යත්ව විභාගෙ හොඳට සමත් වුණ. ඒලෙවල් සමත් වුණා. ඕලෙවල් සමත් වුණා. කැම්පස් පවා තේරුණා මාව.

* නමුත් ඔබ විශ්වවිද්‍යාලයට ගියේ නැහැනෙ?

ඒක පුද්ගලික තීරණයක්.

* රඟපාන්න තිබෙන අවස්ථා අහිමි වෙන හින්ද ද කැම්පස් නොගියේ?

නැහැ. මට ඊට පිළිතුරක් දෙන්න අපහසුයි. නමුත් මං බාහිරව උපාධිය හදාරන්න පටන් ගන්නවා මේ වසරේ විතර.

* සරසවි ජීවිතය හරි සුන්දරයි. එහෙත් බාහිරව උපාධිය හදාරද්දී ඒ තත්ත්වය නැහැ?

ඔව්. මං ඒක පිළිගන්නවා. මට හිතෙන්නේ මගේ වැඩත් එක්ක මෙලෙස උපාධිය හැදෑරුවොත් හොඳයි කියලා.

* අයෝධ්‍යා ප්‍රේමවන්තියගේ චරිතය පළමුව රඟපෑවේ මොන ටෙලි නාට්‍යයේද?

ප්‍රියන්ත සමරකෝන් මහත්මයාගේ සඳ මැදියම නාට්‍යයේ. එතකොට මගේ පාසල් ගමන නිමා වුණා විතරයි.

* පාසල් සමයේදීත් පෙම්වතියගේ චරිතයට ඇරැයුම් ලැබුණාද?

ඔව්.

* ඇයි ඒ කලේ පෙම්වතියව බාර නොගත්තේ?

පාසලෙන් මට අවසර ලැබුණේ නැහැ.

* ඒ කියන්නේ බැරි වෙලාවත් ඔබට පාසලෙන් අවසර ලැබුණා නම් පුංචි තිරයේ පෙම්වතියක් වෙනවා?

පාසලෙන් මට අවසරය ලැබුණෙම නැහැනෙ. ඉතින් එතැනින් එහාට මම හිතුවේ නැහැ.

* අයෝධ්‍යාට ප්‍රධාන නොවන සුළු චරිතයක් සඳහා ඇරැයුම් ලැබුණොත් මොකද කරන්නේ?

මට චරිතෙ වැදගත් නැහැ ප්‍රධාන ද සුළු ද කියලා. මට ආරාධනා කරන චරිතය ඔස්සේ රංගනයෙන් යමක් කරන්න පුළුවන් ද කියන එක විතරයි මං බලන්නේ.

* මං දන්න විදිහට අයෝධ්‍යාට කටකතා හැදුණේ නැහැ?

ඇත්තටම ඔව්. මං ඒ ගැන සතුටුයි.

* කොහොමද එහෙම වුණේ?

අනේ මන්දා අයියේ. මං හිතන්නේ අම්මත් එක්කයි මං සෑම තැනකම යන්නේ.

* අම්මලා එක්ක ගමන් බිමන් යනව ඕනෑ තරම් නිළියෝ ඉන්නවා කට කතා හදා ගත්තු?

වෙන්න ඇති. කටකතාවක් බලෙන් හදාගන්න බැහැනෙ.

* එහෙම කිව්වට අපේ නිළියො වැඩිපුරම කරන්නේ බලෙන් කට කතාවක් හදාගන්න එකනෙ?

මාව ඒ ගොඩට දාන්න එපා. කට කතාවක් බලෙන්වත් හදාගන්න මට අවශ්‍යතාවයක් නැහැ.

* අයෝධ්‍යා තවමත් තනි තීරණ ගන්නේ නැතිද? තනිවම ප්‍රශ්නයක් විසඳා ගන්න නොහැකිද ඔබට?

ඇතැම් ප්‍රශ්නවලට මං තනිවම උත්තර හොයාගෙන තියෙනවා. නමුත් දරුණු ගැටළුවකදී මව්පිය පිහිට තමා.

* අයෝධ්‍යාට කවදා හරි සහකරුවෙක් සොයලා දෙන්නෙත් මව්පියන්ද?

නැහැ නැහැ. ඒ සම්බන්ධයෙන් නිදහසේ හිතන්න මට එයාලා ඉඩ දීලා තියෙනවා.

* ඒ වුණාට ඔබ තවමත් ආදරවන්තයෙක් සොයාගෙන නැහැනෙ?

මගේ හිතට හරියන කෙනා තවම හමු වුණේ නැහැ.

* ඔබ කවදා හරි ප්‍රේමවන්තයෙක් හොයා ගත්තු දිනයට ඔහු කිව්වොත් ප්‍රසිද්ධ ස්ථානවල ඇවිදින්න යමු කියලා, ඔබ යනවද?

සම්බන්ධය ස්ථිර නම් පෙම්වතත් එක්ක එහෙම යනවා. මට ජනප්‍රියකම් වැඩක් නැහැ එතකොට.

* අයේධයා පසුගියදා මෙරට ප්‍රථමවරට සංවිධානය කළ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල බලන්න ගියාද?

නැහැ.

* ඒ මොකෝ?

මට ඊට ආරාධනාවක් ලැබුණේ නැහැ.

* ආරාධනා අවශ්‍ය නැහැනෙ. චිත්‍රපට සියල්ලම නොමිලයේ පෙන්නුවේ.

මම කිව්වේ ආරම්භක දිනය ගැන. චිත්‍රපට නොමිලයේ පෙන්නුවා කියලා මම දන්නවා.

* එහෙනම් ආවේ නැත්තේ?

මං ඒ දවස් ටිකේ කොළඹින් පිට හිටියේ.

* ලොකු පාඩුවක් නොවේද ඔබ වැනි නැගී එන තාරකාවකට එම උළෙලට සහභාගී නොවීමෙන් සිද්ධ වූයේ?

පාඩුවක් නම් තමයි, මං හිතාගෙන ඉන්නවා එහි තිරගත වූ හොඳ චිත්‍රපට ඩී. වී. ඩී හොයාගෙන ඒවා නරඹන්න.

* නිළියක් විදිහට පාරේ තොටේ බැහැල යද්දී ඔබව කී දෙනෙක් විතර හඳුන ගන්නවද?

දැන් නම් බොහෝ දෙනෙක් හඳුනනවා. ඒ ගැන සතුටුයි.

* බ්‍රහ්ම මූර්ථය කරන්න ගිහින් වැවක ඔරු පැද පැද ඉන්න කොට ඔරුව පෙරලුනා කියලා ආරංචියි.

මේ සිද්ධිය වුණේ වැල්ලවාය පැත්තේ වැවක. අංජලී ලියනගේ අක්කයි මමයි ඔරුවෙ හිටියේ. මට පිහිනන්න බැහැ. මං ඒ ගැන කට්ටිය දැනුවත් කරලයි තිබුණේ. අවාසනාවට ඔරුව පෙරලුණා. වාසනාවට කාටවත් මුකුත් වුණේ නැතුව බේරුණා.

* අයෝධ්‍යාගේ ඉදිරි නිර්මාණ මොනවද තියෙන්නේ?

කැළුම් පාලිත මහිරත්නගේ සුගලා දේවිය සහ බ‍්‍රහ්ම මූර්ථය අධ්‍යක්ෂණය කරන වනික පෙරේරාගේ අලුත්ම නාට්‍ය වන බව චක්‍ර සඳහා ඇරැයුම් ලැබිලා තියෙනවා. ඒ වගේම දේදුනු නාට්‍ය අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා සහ මුතු නාට්‍ය අධ්‍යක්ෂ සෆ්රාස් අයියව මතක් කරන්න ඕනෑ.