වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




අනේ මටත් ගෙයක් දෙන්න

අනේ මටත් ගෙයක් දෙන්න

ප්‍රවීණ ශබ්ද පරිපාලක ජෝර්ජ් මනතුංග

අඳුරු මැදිරියකට වී සිංහල සිනමාව වෙනුවෙන් නිහඬ වගකිව යුතු මෙහෙවරක නියැලී සිංහල චිත්‍රපට දෙසීයකට අධික ප්‍රමාණයකට ශබ්ද පරිපාලනයෙන් දායක වූ ඔහු ජෝර්ජ් මනතුංගය. අප රට තුළ සිටින ප්‍රවිණතම, සම්මානනීය ශබ්ද පරිපාලකයකු වන මනතුංග උපත ලැබුවේ මාතලේය. හැදී වැඩුණේ පේරාදෙණියේය. ගැටඹේ ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මනතුංග පාසල් වියේ පටන් රේඩියෝ කාර්මික විද්‍යාවට බලවත් ලැදියාවක් දැක් වීය.

පාසල් ජීවිතයට ආයුබෝවන් කියූ ජොර්ජ් මනතුංග 1958 දී එවක ප්‍රවීණ ශබ්ද පරිපාලකයකු වූ මර්වින් රුද්‍රිගු මාර්ගයෙන් සරසවි ස්ටුඩියෝවේ සේවයට එක් විය. ශබ්ද පරිපාලනයේ සහජ හැකියාවන් ඉස්මතු කළ ජෝර්ජ් මනතුංග තම ශබ්ද පරිපාලනයේ ගුරුවරයා වූ මර්වින් රුද්‍රිගු යටතේ චිත්‍රපට 290 ක සහාය ශබ්ද පරිපාලක ලෙසින් කටයුතු කරනු ලැබීය. මනතුංග 1973 සිට 1988 දක්වා දළුගම සරසවි චිත්‍රාගාරයේ ප්‍රධාන ශබ්ද පරිපාලකයා බවට පත් විය. මේ ශබ්ද පරිපාලනයේ දැවැන්තයකු වූ ජෝර්ජ් මනතුංගයන් හා කෙරෙන කතාබහකි.

ඔබේ සිනමා ජීවිතය කොහොමද?

මගේ සිනමාවට අවුරුදු 56 යි. දැන් මට වයස අවුරුදු 75 යි.

ඔබ මේ ක්ෂේත්‍රයට පැමිණියේ?

වයස අවුරුදු 18 දී.

මුලින්ම ශබ්ද පරිපාලනය කළ නිර්මාණය?

මගේ ගුරු දේවයන් වූ මර්වින් රුද්‍රිගු යටතේ සහාය ශබ්ද පරිපාලකයෙක් ලෙසින් සීගිරි කාශ්‍යප චිත්‍රපටයට දායක වීම.

එදා මෙදාතුර කොපමණ චිත්‍රපට ප්‍රමාණයක් සඳහා ශබ්ද පරිපාලනයෙන් දායක වුණාද?

චිත්‍රපට 290 ක විතර සහාය ශබ්ද පරිපාලනය කළා. ශබ්ද පරිපාලක ලෙසින් චිත්‍රපට දෙසීයකට වැඩි ප්‍රමාණයකත් මේ වන විට ශබ්ද පරිපාලනය කරලා තියෙනවා.

මේ දවස්වල ඔබේ නිර්මාණ කටයුතු කොහොමද?

සරසවිය චිත්‍රාගාරයෙන් 88 දී සමුගත්තාට පස්සේ මම තලවතුගොඩ ටී. කේ. චිත්‍රාගාරයේ ශබ්ද පරිපාලනයට සම්බන්ධ වුණා. 97 දී චිත්‍රපට හැදීමේ අඩුවීමක් දකින්න තිබුණු නිසා මම රූපවාහිනි දෙබස් පටිගත කිරීමේ කටයුත්තට දායක වුණා. 2002 දී පටන් ජූඩ් මුත්තයියාගේ එස්. පී. එම්. චිත්‍රාගාරයේ ප්‍රධාන ශබ්ද පරිපාලක ලෙසින් අදටත් කටයුතු කරනවා. ඊට අමතරව මීගමුවේ රෝයල් සිනමා ශාලාවේ කළමනාකරු ලෙසිනුත් කටයුතු කරනවා. ඒ අතරේ මා දැනට පුද්ගලිකවත් ශබ්ද පරිපාලන කටයුතු සඳහා විවිධ අයුරින් දායක වෙනවා.

ඔබ සම්මානනීය ශබ්ද පරිපාලකයෙක්?

ඔව්. මට මුලින්ම ශබ්ද පරිපාලනය වෙනුවෙන් සරසවිය සම්මානයක් ලැබුණේ 1980 දී පළගැටියෝ චිත්‍රපටයටයි. ඊට පස්්සේ 87 දී කොටි වලිගය, 86 දී ජනේලය, 89 දී සටන, 90 දී කැඩපතක ඡායා, 91 දී ක්‍රිස්තු චරිතය, 94 දී චායා චිත්‍රපට සඳහා මට සරසවිය සම්මානය හොඳම ශබ්ද පරිපාලනය වෙනුවෙන් හිමි වුණා.

සරසවිය සම්මාන හැරුණු කොට වෙනත් සම්මාන ඔබට ලැබුණේ නැද්ද?

පළඟැටියෝ, කොටි වලිගය චිත්‍රපට සඳහා හොඳම ශබ්ද පරිපාලනයට මට ජනාධිපති සම්මානයත් ලැබුණා. ඒ වගේම මම දායක වූ චිත්‍රපට දින සියය ඉක්මවීම නිමිත්තෙන් ලැබූ සම්මාන කීපයකුත් මගේ සම්මාන එකතුව අතර අදත් තියෙනවා.

සරසවිය සම්මානය හත් වතාවක් දිනූ ඔබට ශබ්ද පරිපාලනයේ සම්මානනීය ඇගැයුම ගැන මොකද හිතෙන්නේ?

ශබ්ද පරිපාලනයට සම්මානයක් පිරිනැමීම පළමුවෙන්ම ආරම්භ කරනු ලැබුවේ සරසවිය සම්මාන උළෙලයි. සිනමා ක්ෂේත්‍රයේ අප්‍රතිහත ධෛර්යෙන් කටයුතු කරමින් මිල කළ නොහැකි මහඟු මෙහෙවරක යෙදෙන ශබ්ද පරිපාලකවරයකු මෙවැනි සම්මානයකින් ඇගැයීම ප්‍රශංසනීයයි. එය ඔහුව දිරිමත් කිරිමක්.

හැම චිත්‍රපටයකටම ශබ්දය අවශ්‍යයි. ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයකටම ශබ්දය අවශ්‍ය දෙයක්. නළුවෙක් හෝ නිළියක් දෙබසක් උච්චාරණය කරන කොට ගායකයෙක් හෝ ගායිකාවක් ගීතයක් ගායනා කරන විට චිත්‍රපටයේ විවිධ අවස්ථාවන් සඳහා ශබ්ද පරිපාලනයක් නොමැති නම් ප්‍රේක්ෂකයාට එහි රසාස්වාදය විඳගන්න බෑ. සම්මාන පිරිනැමීම සඳහා හැම දෙයක්ම තෝර ගන්නේ ශබ්දය නිසයි. මේ දේ තේරුම් නොගන්නා සමහරු ශබ්ද පරිපාලනය සම්මාන සඳහා තෝරා ගන්නේ නෑ. ඒ අය ශබ්ද පරිපාලක අමතක කර දමනවා. ඔස්කාර් සම්මාන උළෙලේ පවා ශබ්ද පරිපාලනයට සම්මාන දෙනවා නම් ඇයි සමහරු ඒ ශිල්පියාව අමතක කරන්නේ.

හොඳ ශබ්ද පරිපාලකයෙක් සතු ගුණාංග මොන වගේ විය යුතු කියලද ඔබ කියන්නේ?

තීක්ෂණ බුද්ධියත්, කාර්මික ඥාණයත් කියන මේ දෙකෙන්ම දක්ෂ ශබ්ද පරිපාලකයෙක් පෝෂණය වී තිබිය යුතුයි.

සිංහල සිනමාව වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් සිදු කළ ඔබ අද මහත් සිත් තැවුලෙන් පසුවන බව ආරංචියි?

ඒ කතාව ඇත්ත. මම අදටත් දිවි ගෙවන්නේ කුලී නිවෙසක. මට කියලා ගෙයක් දොරක් ඉඩමක් නෑ. එදා ඉඳලා මගේ ජීවිතය කැප කළේ සිංහල සිනමාවට. මම පැවතුනු පවතින හැම ආණ්ඩුවකින්ම මට කියලා ගෙයක් ඉල්ලුවා. ඒත් අද වෙනකන් ලැබුණේ නැහැ. කලාකාරයෝ වෙනුවෙන් ගෙවල් දුන්නා. මමත් ඉල්ලුවා. ඒත් හම්බ වුණේ නැහැ.

ඇයි ඔබට ගෙයක් ලැබුණේ නැත්තේ?

ඒක මම අදටත් දන්නේ නෑ. අද වෙන කොට අපේ කලාකාරයෝ හුඟ දෙනෙක් ඉන්නවා. ඒ අයට මම අපමණ උදවු කරලත් තියෙනවා. ඒත් මම ඒ අයට කොතෙකුත් කිව්වත් අදටත් මට පිළිසරණක් නෑ.

ඔබේ මිත්‍රයෝ ඇයි අද ඔබට එසේ කරන්නේ?

මගේ අවශ්‍යතාව එයාලට කිව්වාම නම් මුහුණට කියනවා ජෝර්ජ් අයියා ඇයි අපිව හම්බ වෙන්න ආවේ. ඕක කෝල් එකෙන් කිව්ව නම් අපි කරලා දෙනවනේ. ඔන්න අද හිතා ගන්න වැඩේ කෙරුණ කියලා, ගේකුත් ලැබුණ කියලා. ඔය වගේ වචන තමයි කියන්නේ. ඒත් අද වෙනකන් ලැබුණු ගෙයක් නෑ. මම ඉල්ලන්නේ ආණ්ඩුවෙන් නොමිලේ ගෙයක් දෙන්න කියලා නෙමේ. මගෙන් ඒකෙ වටිනාකම ටිකෙන් ටික පියවගන්න කියලා. මට ලැබෙන මුදලකින් ගෙයක් හදාගන්න බෑ ජීවත් වෙනවා හැරෙන්න. අර වගේ සහනයක් තියෙන කොට ඒ මුදල මාස්පතා පියවන එක මට ගැටලුවක් නෙමේ.

ඉදිරියටත් ඔය වගේ කාලය ගෙවිල ගියොත්?

මම කලාවට ආදරේ, කලාකරුවන්ට ආදරේ ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ඉල්ලන්නේ මම මැරෙන්න මොහොතකට ඉස්සෙල්ලා හරි මට මගේම කියලා ගේක ඉන්න මට ගෙයක් ලබල දෙන්න කියලා විතරයි.