වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




මචං චිත්‍රපටයේ තිබ්බ ඉතාම කුඩා දේවල්වලටයි මං කැමැති
සරසවිය සම්මාන දිනූ මචං තැනූ සිනමාකරු ලංකාවේ මාධ්‍යයකට මුල්වරට කරන සංවාදය

මචං චිත්‍රපටයේ තිබ්බ ඉතාම කුඩා දේවල්වලටයි මං කැමැති

උබෙර්තෝ පසොලිනි

සුදු කමිසයක් සහ ළා දුඹුරු කලිසමක් ඇදගත් මිනිසෙක් කින්ග්ස්බරියේ ලොබිය පුරා ඇවිදිණු දුටු මුත් ඒ උබෙර්තෝ පසොලිනි යැයි නොසිතුවෙමි. එහෙත් මොහොතකින් මා ඔහුගෙන් ඇසූයේ ‘ඔබ උබෙර්තෝ පසොලිනි’ද කියාය. ‘ඔව්.ඔව්.මම තමයි’. ඔහු දෑත දෙපසට විහිදුවමින්,සිනාසෙමින් උදෑසන දහයේ සිට මාව සෙවූ බව කීයෙන් මට කියන්නට තිබුණේ ‘නෑ.එය දහයයි තිහ’ විය යුතු බවයි.

චායි බොමින්, උපැස් යුවළ ගලවා එය ටිෂූ කඩදාසියකින් පිස දමමින් ඔහු මා නිරීක්ෂණය කරන්නට විය.

සටහන් පොත පෙරැළිනි. රෙකෝඩරය කි‍්‍රයාත්මක විණි. සමහර විට මේ පිළිතුරු තුළින් ඔබට ඔහුව කියවා ගත හැකි වනු ඇත.

මචං සිනමාපටයේ අධ්‍යක්ෂ වූද, ඇකඩමි සම්මාන ඇතුළු තවත් බොහෝ වූ සම්මානවලට හිමිකම් කියන්නා වූද උබෙර්තෝ පසොලිනිගේ නවතම සිනමාපටය ස්ටිල් ලයිෆ්ය. එය පසුගියදා උත්කර්ෂයෙන් නිමා වූ කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල වෙනුවෙන් තිරගත විය. මේ හෘද සංවාදය ඒ සියල්ල නිමිත්තෙනි.

මචං කියන්නෙ ශී‍්‍ර ලාංකියන් ඔබව හඳුනාගත්ත සිනමා සළකුණ. ඒ වාගේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ඔබව පෙළඹුවේ කුමක්ද? කොහෙන්ද ඒ ගිනි පුපුර පත්තු වුණේ?

ඔබ දන්නවා මුලින්ම මම නිෂ්පාදකවරයෙක් මිසක් අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි කියලා. ඒත් මචං කතාවට පාදක වෙච්ච ඇත්ත කතාව දැනගත්තට පස්සෙ මට ලොකු උනන්දුවක් ඇති ශී‍්‍ර ලංකාව ගැන වගේම මේ අපූරු හෑන්ඩ් බෝල් කණ්ඩායම ගැන. මම මීට පෙර ලංකාවට ඇවිල්ලා තිබුණේ නෑ. ඉතිං මට මේ අත්දැකීම හරියටම විඳීන්න ඕන වුණා. ලංකාවට ඇවිත් ඒ ගැන ගොඩාක් දේවල් හෙව්වා. රුවන්ති ඩි.චිකේරා එක්ක කතා කරමින් විශාල කාලයක් ගත කළා. ඈ ලියලා තිබ්බ තිර නාටකය ඉතාම සාර්ථක එකක්.

රුවන්ති එක්ක මචං තිර නාටකය ගැන කතා කිරීම වැඩිවීමත් එක්කම මාව චිත්‍රපටියට වැඩියෙන් සමීප වෙන්න පටන් ගත්තා. මං කතාව ඇතුළෙ නොදැනුවත්වම ජීවත් වෙන්න පටන් ගත්තා. ඊට පස්සෙ ඒ තිර නාටකය වෙන කෙනෙකුට දෙන්න මට හිත හදාගන්න බැරි වුණා. දරුවා මා ළඟ ම තියා ගැනීමේ දොළ දුකකින් මාව පෙළන්න වුණා. දරුවා වෙන ආයම්මා කෙනෙකුට නොදී හදාගන්න මං තීරණය කළා. හැබැයි මචං පිටපත වෙන කෙනෙකුට දුන්නා නම් මීට වඩා සෑහෙන්න හොඳ චිත්‍රපටියක් හදාවි කියලා අදටත් මං විස්වාස කරනවා.

මම මචං අධ්‍යක්ෂණය කරන්න කැමති වෙච්ච පළවෙනි හේතුව තමයි රුවන්තිත් එක්ක මචං තිරනාටකය කියෙව්වට පස්සෙ ඇති වෙච්ච මහා අමුතු හැඟීම මඟ හරින්න බැරිකම. දෙවැනි හේතුව ප්‍රසන්න විතානගේ මේක නිෂ්පාදනය කරන්න එකඟ වෙච්ච එක. මං හරිම සුකුමාල කුඩා පෙට්ටියක් ඇතුළෙයි ඒ හේතු දෙක නිසා හිටියේ. ඒ හැඟීම මට ආරක්ෂාවක් සැපයුවා. ඉතිං මං දෙපාරක් ඒ ගැන හිතුවෙ නෑ.

ඇත්තටම මචං චිත්‍රපටිය සාමූහික වැඩක් මිස තනිකරම මම කරපු හාස්කමක් නෙවෙයි. සුළු චරිත රඟපාපු නළුවන් පවා ලොකු දෙයක් කරා කියලයි මං හිතන්නේ. විශේෂයෙන්ම රුවන්ති සහ ප්‍රසන්න වග බලා ගත්තා මචං ඉතාලි චිත්‍රපටියක් නොවී සිංහල චිත්‍රපටියක් කරන්න.

මචං චිත්‍රපටිය නිර්මාණය කරන විට අධ්‍යක්ෂකවරයෙක් විදිහට ලාංකික නළු,නිළියන් එක්ක ඔබට මුහුණ දෙන්න වුණේ මොන වගේ අභියෝගවලටද?

මම නොදන්න සංස්කෘතික කාරණා එක්ක,මං නොදන්න භාෂාවක් එක්ක වැඩ කරන එක තමයි මට තිබ්බ ලොකුම අභියෝගය වුණේ. ඒක ලෝකෙ ඕනම තැනක සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට ලංකාවෙදි වෙන්න පුළුවන්,නේපාලයේදී වෙන්නත් පුළුවන්. ඇත්තටම මට මේ ඔක්කොම ලොකු අභියෝගයක් වුණා. රුවන්ති මචං තිර පිටපත ලියලා තිබුණ එකෙන් මට ලොකු වාසියක්,සහනයක් ලැබුණා. ඉතිං ලංකාවෙදි මේ දර්ශන රූගත කරන තැන් වගේම නළු,නිළියන් තේරීම මගේ මිත්‍රයා ප්‍රසන්න කරලා තිබ්බේ. තමන් නොදන්න රටකට ගිහිල්ලා විදේශිකයෙක් චිත්‍රපටියක් හදන්න හිතන එකම ලොකු අභියෝගයක් විදිහටයි මං සලකන්නේ. නමුත් ඒ අභියෝගය මගෙන් ඉවතට ඇදලා ගත්තා මගේ මිත්‍රයෝ දෙන්නා. රුවන්ති සහ ප්‍රසන්න මාව ආරක්ෂා කළා. එහෙම බැලුවම මං මුලින්ම ලොකු අභියෝගයක් ඇතුළට නොදැනුවත්වම ඇතුළු වෙලා දැනුවත්ව ඒකෙන් ගොඩ එනවා.

මචං සිනමාපටයේ ඔබ වඩාත්ම ප්‍රිය කරන දර්ශනයක් තියෙනවාද?

චිත්‍රපටියේ අන්තිම දර්ශනයට මං කැමතියි. ඔවුන් එකිනෙකාගෙන් සමුගන්න වෙලාව හරි හැඟීම්බරයි. ඒ දර්ශනය දැනුත් මාව හැඟීම්බර කරනවා. ඊට අමතරව මං කැමතියි චිත්‍රපටියේ තිබ්බ හරිම කුඩා දේවල්වලට. උදාහරණයක් විදිහට ඩයස් එයාගෙ සහෝදරයත් එක්ක තියෙන සම්බන්ධය, ඔහුගේ නැන්දලා එක්ක තියෙන සම්බන්ධය මාව මවිත කරනවා. ඩයස් ගෙදර ඇවිල්ලා එයාගෙ නැන්දලා දෙන්නගෙන් අහනවා ‘කෝ වහල?’ කියලා. ඒ දෙන්නා මොකක්දෝ පත්තරයක් බලමින් ඉන්න ගමන් කියනවා ඒක ණයකාරයෙක් ඇවිත් ගලවගෙන ගියා කියලා. ඊළඟට එයාලා කියන්නේ දැන් අහසත් පේනවා. ගහත් පේනවා කියලා. ඉතිං තමන් ජීවත් වෙලා ඉන්න ගෙදරට වහලක් නැති වුණා කියලා වයසක මිනිස්සු වෙච්ච එයාලා කම්පා වෙන්නෑ. ඒ ගැන ළත වෙන්නෙ නෑ.

ඒක ඇත්ත සිද්ධියක්. මුඩුක්කු බලන්න රුවන්තිත් එක්ක මැද කොළඹ පරිසරයේ ඇවිදිනකොට තමයි මම මේ සිද්ධිය දැක්කේ. මං හිතින් සටහනක් දාගත්තා ඒ ගැන. පස්සෙ අපි ඒ සිද්ධිය චිත්‍රපටියට ඇතුළු කළා.

මචං සිනමාපටිය සරසවිය සිනමා උළෙලේ හොඳම චිත්‍රපටිය විදිහට සම්මානයට පාත්ර වුණා. ඒ වගේමයි තවත් අන්තර්ජාතික සිනමා උළෙල අටකදීත් හොඳම චිත්‍රපටිය විදිහට මචං සම්මානයට පාත්‍ර වුණා. මේ සියලු සම්මාන අතරින් ඔබට වැඩිපුර වටින්නෙ කුමන සම්මානයද?

මං හිතන්නේ මචං චිත්‍රපටිය සම්බන්ධයෙන් වඩාත් වැදගත්ම දේ වෙන්නෙ ඒක ලංකාව ඇතුළේ සාර්ථක වීමයි. මිලියන ගාණක චිත්‍රපටි ලෝකෙ පුරාම ඒ වෙද්දි නිර්මාණය වුණා. නමුත් ලංකාව වෙනුවෙන් පිටස්තරයෙකුට චිත්‍රපටියක් නිපදවීම ඉතාම අභියෝගසම්පන්න දෙයක්. ඒ සිනමාපටය වෙනුවෙන් අවංක වීමයි වැදගත්. ඉතිං ශී‍්‍ර ලංකාව විසින් ‘මචං’ ආදරයෙන් වැළඳගත්තා. ඒක තමයි ප්‍රධාන කාරණාව. ඉතිං මට වටින්නෙ ශී‍්‍ර ලංකාවෙන් ලැබුණු සම්මානයයි. මොකද ඒක තමයි චිත්‍රපටියේ නියම ස්වරූපය පෙන්වන සම්මානය. ඊටත් වඩා ලොකු සම්මානයක් මට ලැබුණා. ඒක තමයි මිනිස්සු මචං බලන්න සිනමාශාලාවලට එක්රොක් වීම. මං හිතන්නේ ලංකාවෙන් ලැබුණු සම්මානය තමයි මට වඩාත් වටින්නේ.

මචං නිර්මාණය කරලා ඔබ අවුරුදු හතරක් ගත කළේ ඇයි ඊළඟ චිත්‍රපටිය හදන්න?

මෙහෙමයි. මචං හැදුවට පස්සෙ, ස්ටිල් ලයිෆ් හදන්න කලින් අතර මැද්දෙ මම නරක චිත්‍රපටියක් හැදුවා. ඒක බොහොම අවාසනාවත දෙයක් විදිහටයි මම සලකන්නේ. සාමාන්‍යයෙන් චිත්‍රපටියක් හදලා ඊළඟ එකට යොමුවෙන්න මම සෑහෙන කාලයක් ගන්නවා. ඒ කාලය ඇතුළත ඊළඟ චිත්‍රපටියට අදාල වෙන දේවල් මං හොයනවා. ඒක හරි වෙහෙසකට කාර්යයක්. ඉතිං ඒකට කාලය ගත වෙනවා.

ඇයි ඔබේ දෙවැනි සිනමාපටය ස්ටිල් ලයිෆ් කියලා හැදුන්වූවේ? මොකක්ද ඒ නමේ විශේෂත්වය?

මුලින්ම ඔබ සිනමාපටිය බලන්න ඕනා. මං ඒක හඳුන්වන්නේ බොහොම නිශ්ශබ්ද ජීවිතයක් කියලයි. මළවුන් සමඟ ජීවත් වෙන, මළවුන් සමඟ ගනුදෙනු කරමිනුයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ඉන්නේ. ඔහුගේ ජීවිතය ඉතාම නිශ්ශබ්දයි. ක්‍රමානුකූලයි. ඉංගී‍්‍රසියෙන් සිනමාපටයේ නමට විවිධ තේරුම් තියෙනවා. මං ඒ නමට කැමතියි.

සම්මුඛ සාකච්ඡාවකදී වරක් ඔබ පවසා තිබුණා ‘ස්ටිල් ලයිෆ්’ ඔබේ ජීවිතය වෙනස් කළා කියලා. ඒ මොන විදිහේ වෙනසක්ද?

මේ චිත්‍රපටියේ තේමාව හුදෙකලාවයි. බටහිර රටවල මේ තත්ත්වය සුලභයි. රංචු ගැසී ජීවත් වන මිනිස්සු වෙනුවට බටහිර සමාජය තුළ දකින්න ලැබෙන්නෙ තනි,තනිව ජිවත් වෙන,එහෙම ජීවත් වෙන්න සිද්ධ වෙච්ච අයයි. එහෙම වෙන්න ආර්ථික,සමාජීය,දේශපාලනික කරුණු ගොඩක් තියෙනවා. තව දුරටත් ඔවුන් පවුල් වශයෙන් වෙන්,වෙන්ව ජීවත් වෙනවා මිස විශාල පවුල් ඒකක විදිහට ජිවත් වෙන්නෙ නෑ. වඩාත් වැදගත් දේ තමයි තමන්ගෙ අසල්වැසියා ගැන තියෙන්න ඕන හැඟීම මුළුමනින්ම ක්ෂය වෙලා ගිහිල්ලයි තියෙන්නේ. තව දුරටත් අපි දන්නෑ අපේ අසල්වැසියො කවුද කියලා. අපිට නිතර ඔවුන්ව මඟ හැරෙමින් පවතිනවා. මම චිත්‍රපටියේ වැඩ කරන අතරතුර මටත් පෞද්ගලිකවම ඒකට මුහුණ දෙන්න සිද්ධ වුණා.

ඉතිං මම අසල්වැසියෝ හොයාගෙන ගිහිල්ලා,ඔවුන්ගේ ගෙවල්වල සීනුව නාද කරලා කියන්න ඔපටන් ගත්තා මම ඔබේ අසල්වැසියා කියලා. වයින් බෝතලයක් කාරිය අරගෙන ගිහිල්ලා මගේ නම කියලා ඔවුන්ට මාව හඳුන්වලා දුන්නා.

සිනමාපටියේ කතා කෙරෙන සීමාවටත් වඩා මගේ ජිවිතය තුළ හුදෙකලාව ගැන සාකච්ඡා කරන්න මං පෙළඹුණා. නොදැන හිටපු අසල්වාසීන්ව හඳුනගෙන සම්බන්ධකම් ගොඩනගා ගත්තා. ඒ සම්බන්ධකම් මගේ ජීවිතය නොසෑහෙන්න වෙනස් කළා.

ස්ටිල් ලයිෆ් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්න ඇයි ඔබ එඩී මර්සන්ව තෝරා ගත්තේ? මොකක්ද ඔබ ඔහුගේ දැක්ක විශේෂත්වය?

මං ඔහුත් එක්ක අවුරුදු 10 කට කලින් වැඩ කරලා තියෙනවා. හැබැයි ඒ ඉතාම කුඩා චිත්‍රපටයක,කුඩා දර්ශනයක. නමුත් ඒ කුඩා දර්ශනයෙන් ඔහු කළ බලපෑම හරි විශාලයි. ඔහුගේ හැඟීම් පෙන්වීම උත්කෘෂ්ටයි. මම තිර නාටකය කියවගෙන යන අතරතුරම ඔහුව මේ චරිතෙට හිතින් යොදාගෙනයි හිටියේ. මොකද මම දැනගෙන හිටියා ඔහු තමයි මේකට හරියන කෙනා කියලා. මොකද මේක හරි නිශ්ශබ්ද චිත්‍රපටියක්. මට වුවමණා වුණේ හැඟීම් රාශියක් ඉතාම සියුම්ව පෙන්වන්න පුළුවන් විදිහේ නළුවෙක්. ඉතින් ඔහු තමයි එඩී මර්සන් කියන්නේ.

ඔහු තුළ පුදුමාකාර හැකියාවන් ගොන්නක් තියෙනවා. ඔහු රඟපානකොට හිතන්නේ තමන් කොයි තරම් හොඳ නළුවෙක්ද කියලා නෙවෙයි, තමන්ගෙන් මේ චරිතයට ලබා දෙන්න පුළුවන් මොනවද කියන එකයි. ඔහු මේ චරිතයට හරියටම ගැලපෙනවා. ඒකෙ දෙකක් නෑ.

සිනමාපටයේ එක් දර්ශනයක එඩී මර්සන් බල්ලෙක් එක්ක හිනාවෙනවා. ඒක හරිම මිත්‍රශීලී,සුහඳ,හඳුනාගන්න ලබා දෙන සිනහවක්. මේ කුඩා දේවල් විශාල දේවල් විදිහට ප්‍රේක්ෂකයන්ට පෙනෙයි කියලා ඔබ හිතුවද?

ඔව්. මාව ප්‍රහර්ෂයට පත් කරන්නෙ කුඩා දේවල් කියලා මං කලිනුත් කිව්වනේ. ඉතිං මං හිතනවා ඉතාමත් කුඩා දේ පවා ප්‍රේක්ෂකයන් හසු කර ගනීවි කියලා.

ස්ටිල් ලයිෆ් සිනමාපටයේ ප්‍රධාන චරිතය අවමංගල්‍යයක නිළධාරියෙක්. මෙවන් චරිතයක් ඔබ උරා ගත්තේ කොහොමද?

ඔහුට තිබ්බෙ ඉතාම වගකීම් සහගත රැකියාවක්. ඔහුට නියම වෙලා තිබ්බේ කාත් කවුරුත් නැතිව මිය ගිය මිනිසුන්ගේ අවමංගල්‍යයන්හි උත්සව සංවිධානය කිරීමයි. පවුලේ කිසිදු ඥාතියෙකු නැත්නම් ඔහු විසින් ඒ සියලු කටයුතු නිම කළ යුතු වෙනවා. ඔහු ඉතාම පරාර්ථකාමී මිනිසෙක්. ඔහු අනුන් ගැන අසීමිතව කල්පනා කරනවා. ඔවුන් ගැන වධ වෙනවා. එක් අඩක් එහෙම පරාර්ථකාමී වෙද්දි ඔහුගේ අනෙක් අඩ ඉතාම නීතිගරුක,පිළිවෙල මනුස්සයෙක්. ඒ අර්ධය මගේ චරිතයට සමානයි. මම බඩු,භාණ්ඩ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය,හැසිරෙන ආකාරය හරිම පිළිවෙළයි.

තුන් වැනි ලෝකයේ සිනමාව ගැන ඔබ හිතන්නේ කොහොමද?

ඒක ලොකු ප්‍රශ්නයක්. මං හිතන්නේ තුන්වැනි ලෝකයේ සිනමාව වේගයෙන් දියුණු වෙලා කියලා. පිලිපීනයේ තරුණ සිනමාකරුවන් රාශියක් කැපී පෙනෙන දක්ෂතා පෙන්වමින් ඉන්නවා. මං හිතන්නේ සිනමා උළෙලවල්වලට යාමෙන් තවම නිකුත් නොවිච්ච චිත්‍රපට බලන්න අවස්ථාව ලැබෙනවා. එහෙම අවස්ථාවල මට අලුත් සිනමාව දකින්න ලැබෙනවා. මං හිතන්නේ ඒ අලුත් සිනමාව හරි දියුණුයි. නවීණයි.

ඔබ ඇනිමේෂන් සිනමාපට නරඹනවාද?

ඔව්. ෂ්‍රෙක් මගේ මතකයේ තදින් රැදිලා තියෙන ඇනිමේෂන් චිත්‍රපටියක්. ඒවාවල තියෙන මානුෂීය ස්වාභාවයට මං හරි කැමතියි. මිනිස්සුන්ගේ ජීවිත ඉතාම සියුම්ව ස්පර්ෂ කරනවා කියලා මං හිතනවා. ඒත් මං වැඩිපුර කැමති සැබෑ මිනිසුන් යොදාගෙන නිර්මාණය කරපු සිනමාපටවලටයි. මොකද ඒ වර්ගය තමයි මාව පුදුමයට පත් කරන්නේ. මාව වැඩිපුර සසල කරන්නේ.