වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




‘රන්ජා’ කැපුවා කියන්නේ බොරුවක්

‘රන්ජා’ කැපුවා කියන්නේ බොරුවක්

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී සුමනසේකර

පසුගිය දා නිමා වූ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ දී විදෙස් රටවල් හතළිහක, චිත්‍රපට එකසිය දෙකක් නැරඹීමේ අවස්ථාව හා භාග්‍යය අපේ ප්‍රේක්ෂකයන් වෙත උදා වූයේ අභිනව සිනමා සංස්කෘතියක දොරගුළු විවර කරමිනි. කිසිදු වාරණයකින් තොරව එම සිනමාපට මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හැරීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය පියවර ගෙන තිබීමද විශේෂත්වයකි. එකී මැදහත් ක්‍රියා පිළිවෙත පිළිබඳ ඔවුනට බොහෝ දෙනකුගේ ප්‍රශංසාව හිමි වූහ.

රැඟුම් පාලක මණ්ඩලයේ වත්මන් සභාපති ධුරය හොබවන ප්‍රවීණ කලා විචාරකයකු හා මාධ්‍යවේදියකු වන ගාමිණී සුමනසේකරයන් අප මෙම සංවාදයට කැඳවා ගන්නේ ඒ පිළිබඳ අවධානයද යොමු කරමිනි.

* රැඟුම් පාලක මණ්ඩලය නැතිනම් “සෙන්සර් බෝඩ්” කිව්වම එක පාරටම අපට මතක් වෙන්නේ වාරණය. සමහරු මේක හඳුන්වන්නේ කපන මණ්ඩලය කියායි?

අපේ රැඟුම් පාලක මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ ඇත්තටම සිනමාවේ අභිවර්ධනය සඳහායි. මෙම ආයතනයට සම්බන්ධ වෙලා ඉන්නේ සිනමාව පිළිබඳ අවබෝධයක් වගේම ඒ පිළිබඳ ඇල්මක් උනන්දුවක් තිබෙන අය. විශේෂයෙන්ම දැන් ඔය ගාමිණී වේරගම, මහචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු වගේ මේ රටේ පිළිගත්ත සිනමා විචාරකයන් හා විද්වතුන්. ඒ නිසා අපට අපේ කාර්යය වඩාත් පහසුයි.

* රටකට, රැඟුම් පාලක මණ්ඩලයක් අවශ්‍ය ඇයි?

ලෝකය පුරා අද රැඟුම් පාලක මණ්ඩල ක්‍රියාත්මක වෙන්නේ දශක ගණනාවක් තිබුණ සම්මතයන් අතික්‍රමණය කරමිනුයි. ලංකාවේත් එහෙමයි. මොකද රට පුරා බුද්ධිමය සංවාදයක් ඇති වෙලා තියෙනවා. එතකොට වාරණය හා සීමා කිරීම් පිළිබඳ නොයෙක් අවස්ථාවල විවිධ පුද්ගලයන් කතා කරනවා. තර්ක, විතර්ක මතු කරනවා.

* ගැටලු පවා නිර්මාණය වෙලා තිබෙනවා?

ඔව්, එහෙම අවස්ථා තිබෙනවා. සාහිත්‍යයේදී, ලේඛනයේදී, චිත්‍රයේ දී නැති සීමාවක් සිනමාවට අවශ්‍ය ද කියන කාරණය තමයි විද්වතුන් මතු කරලා තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගන්න හරි අමාරුයි. මොකද සාහිත්‍ය කෘතියක්, චිත්‍රයක් රස විඳින්නේ තනි කෙනෙක්. එය අතිශය පෞද්ගලික කාරණාවක්. දැන් සිනමාව එහෙම නෙවේ. ඒක සාමූහික කලාවක්.

* එබඳු සාමූහික කලාවක් වාරණයට ලක් කිරීමම අභියෝගාත්මක කාර්යයක්?

බැලූ බැල්මට පේන දෙයක් තමයි වාරණය කියන්නේ ආණ්ඩුවක් තමන්ගේ බලාධිකාරය පැතිරවීමට පවත්වාගෙන යන ක්‍රමෝපායක් කියන එක. නමුත් මේක අද වෙනස් වෙලා. විශේෂයෙන්ම මට අවධාරණයෙන් කියන්නම වුවමනායි දැන් මේ මහින්ද රාජපක්‍ෂ රජය මට කිසිම අවස්ථාවක කිසිම බලපෑමක් කරලා නැහැ. අඩුම තරමින් රටේ සංස්කෘතික ඇමැතිවරයාගෙන්වත් මට අනවශ්‍ය බලපෑමක් කෙරිලා නෑ. රටේ පොදු මතයක් තිබෙන කොට ‘ඇයි’ කියලා අහලා තියෙනවා. එහෙම නැතිව කිසිම විටෙක අනවශ්‍ය බලපෑමක් කරලා නෑ.

* මේ ඔබ වගකීමෙන් කරන ප්‍රකාශයක්?

මම මේ තනතුරේ දැන් වසර හතරක කාලයක් තිස්සේ කටයුතු කරනවා. ඒත් අපි වාරණයට ලක් කළේ එකම එක විදෙස් චිත්‍රපටයක් පමණයි. ඒක තමයි අපේ ජයග්‍රහණය. අපේ රටේ ආගමික හා වෙනත් සංවිධාන තියෙනවා. ඒ අය නිර්මාණයක් දිහා බලන්නේ ඒ අයගේ දෘෂ්ටි කෝණයෙන්. දැන් විශේෂයෙන්ම මේ රටේ භික්‍ෂූන් වහන්සේලාගේ සංවිධාන සාහිත්‍ය හා සිනමා විෂයයන් දෙස බලන්නේ ආගමික දෘෂ්ටි කෝණයකින්. හුඟක් වෙලාවට.

* ඒක වැරැද්දක්ද?

නෑ එහෙම ආගමික දෘෂ්ටි කෝණයකින් බැලීම ප්‍රශ්නයක්. දැන් අපි දන්නවා අද ලෝකයේ ඉතාම උසස් ගණයේ චිත්‍රපට හැදෙන්නේ ඉරානය වගේ රටවල. නමුත් දැඩි ආගමික මතවාදයන් තිබෙනවා. දැන් එහෙ බොහෝ සිනමාකරුවන් කරන්නේ ඉරානයේ රූගත කරන චිත්‍රපට වෙන රටකට ගිහින් පසු නිෂ්පාදන කටයුතු කරන එක. එතකොට අපට පේනවා මේ මිනිස්සු වාරණයෙන් රිංගලා තමන්ගේ නිර්මාණ බිහි කරන්නට උත්සුක වූ එබඳු අවස්ථාවන්.

* රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමැතිය ලත් ‘අක්ෂරය’ වැනි චිත්‍රපටයක් අධිකරණය මඟින් තහනමට ලක් කළා. එය අපේ සිනමා ඉතිහාසයේ කළු පැල්ලමක්?

ඔව්, රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ඊට ලැබුණත් අධිකරණ තීන්දුවකින් එය වාරණයට ලක් වුණා. ‘පුරහඳ කළුවර’ චිත්‍රපටයටත් එබඳු ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගත වී අධිකරණයට ගිය වෙලාවේ එහි අධ්‍යක්‍ෂ ප්‍රසන්න විතානගේට ලක්ෂ දහයක වන්දියක් ගෙවන්න කියා එවකට කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි ආචාර්ය සරත් අමුණුගමට උසාවි නියෝගයක් ලැබුනා. මේ සිදුවීම්වලින් අපට පේනවා ලංකාවේ වාරණය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඉතාම ලිබරල් පිළිවෙතක් කියලා.

* රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසරය ලැබුණු නිර්මාණයකට එරෙහිව අධිකරණයේ බලපෑමක් කළ හැකිද?

අවශ්‍යනම් අධිකරණයට යන්න පුළුවන්. නමුත් එහෙම අවස්ථා අඩුයි. ‘අක්ෂරය’ එබඳු අවස්ථාවක්. අක්ෂරය ට අධිකරණයෙන් දුන් තීන්දුව තමයි සම්පූර්ණ රැඟුම් පාලක මණ්ඩලයම මෙම චිත්‍රපටය නැරඹිය යුතුයි කියන එක. නමුත් ඊට පස්සෙ දෙවැනි වතාවට අශෝක හඳගම මේ චිත්‍රපටය ඉදිරිපත් කළේ නෑ. ඒකයි වුණේ. කලාව සම්බන්ධයෙන් සිද්ධාන්ත පරික්‍ෂා කිරීමේදී එය එකිනෙකාගේ දෘෂ්ටි කෝණයෙන් බලා නිගමනය කරන දෙයක් කියා කියන්න පුළුවන්. අංක ගණිතයේදී අපට හරි උත්තරයක් නෑනේ. ඒ වගෙයි.

* නමුත් සිනමාව කලා මාධ්‍යයක්නේ?

සිනමාව කියන්නේ ප්‍රබල දෘශ්‍ය මාධ්‍යයක්. ‘කරුමක්කාරයෝ’ සිනමාවට නැගෙන වෙලාවේ රටේ ලොකු ආන්දෝලනයක් ඇති වුණා. දැන් ලේඩි චැටර්ලි නවකතාවට වඩා චිත්‍රපටය ආන්දෝලනයට ලක් වුණා. ‘දඩයම’ චිත්‍රපටය සම්බන්ධයෙන් අධිකරණයට ගියා, ඇඩ්ලින් විතාරණගේ ඥාති දියණියක් තමන්ට අපහාස වූ බව පවසමින්. වසන්ත ඔබේසේකර ඒ චිත්‍රපටය නිර්මාණය කළේ සත්‍ය සිදුවීමක් පසුබිම් කරගනිමින් නිසයි එවැනි තත්ත්වයක් ඇති වුණේ. කලාව, කලාව විදිහට රස විඳින්න හැමෝටම බෑනේ. රසඥතාවය අඩුවැඩි අය රටේ ඉන්නවා. මෙලෝ රහක් නැති අයත් ඉන්නවා. ඒ නිසයි අපි කල්පනා කළේ ලංකාවේ මිනිස්සුන්ට සිනමාව පිළිබඳ හොඳ රසඥතාවක් ඇති කරන්න ඕනැයි කියලා. ඒකට හොඳම අවස්ථාව තමයි ජාත්‍යන්තර සිනමා උළෙල හරහා උදාවුණේ.

* මෙය ලාංකේය ප්‍රේක්‍ෂක ජනතාවට නුහුරු අත්දැකීමක්?

ලංකාවේ මෙවැනි සිනමා උළෙලක් පැවැත්වීම සිනමා රසිකයන්ගේ හා සිනමා ලෝලීන්ගේ ජයග්‍රහණයක්. ඊට ඉතා හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබුණා. මෙවැනි දෙයක් මීට පෙර ලංකාවේ තිබුණේ නෑ. මින් පෙර මෙබඳු පිබිදීමක් මේ රටේ තිබුණේ ‘සරසවිය’ සම්මාන උළෙලටයි. ‘සරසවිය’ සම්මානයක් ලබා ගැනීම කිසියම් විශේෂ අවස්ථාවක් හැටියට සිනමා ශිල්පීන් සලකන්නට පටන් ගත්තා. එහි යම් ආකර්ෂණයක් තිබුණා.

* මෙවැනි ජාත්‍යන්තර සිනමා උළෙලක් පැවැත්වීම කොයි විදිහටද අපේ ප්‍රේක්‍ෂකයන්ට වැදගත් වෙන්නේ?

ලෝකයේ විශිෂ්ටතම සිනමාකරුවන්ගේ කෘති නරඹන්න, නරඹා ඒවා ආශ්වාදනය කරන්න අපේ ප්‍රේක්‍ෂකයාට අවස්ථාව ලැබුණා. එතකොට ලෝක සිනමාවේ හැඩය ඔවුන් හොඳින් හඳුනා ගත්තා. සිනමාව කියන්නේ අද වෙන කොට නැරඹීමක් විතරක් නෙවෙයි කියැවීමක්. ඒ සිනමාව හරහා අපි දකිනවා මිනිසුන්ගේ මූලික ආශාවන්. ඔවුන්ගේ මනෝ භාවයන්, පිළිබඳ. ඒ ඒ රටවල ආගමික, සංස්කෘතික පරිසරයන් තුළ ඔවුන් අත් විඳින දේවල්. ජාත්‍යන්තර සිනමා උළෙලකින් අපට පුළුවන් ලෝකයේ මිනිස්සුන්ගේ සංස්කෘතික හැසිරීම්, ලෝකයේ මිනිසුන් සිතන පතන ආකාරය, ඔවුනගේ ඇවතුම්, පැවතුම් ගැන දැන කියා ගන්න. ලෝකය පිළිබඳ එක මතවාදයකට එන්න අපට පුළුවන් වෙනවා. නමුත් ආගමික හේතු, සංස්කෘතික හේතු මත කලාව වාරණය කිරීම අදටත් තියෙනවා. එවැනි දේවල්වලට වාරණයක් පණවන්න පුළුවන්.

* එහෙත් මා දන්නා තරමින් මෙම කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ ප්‍රදර්ශනය වූ කිසිදු චිත්‍රපටයකට එබඳු වාරණයක් පැනවුණේ නැහැ?

දැන් සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සිනමා උළෙලක් තියෙන ඕනෑම රටකදී සිනමාව වාරණයට ලක් කරන්නේ නෑ සම්ප්‍රදායක් හැටියට. නමුත් අපේ රටේ මේ සිනමා සංස්කෘතියක් ගොඩ නැඟිලා නැති නිසා අපේ අය කල්පනා කරනවා පහුවදා ඉඳලා මිනිස්සු පිස්සු වැටෙයි කියලා. එහෙම සිදුවීම් ලෝකයේ වෙලා තියෙනවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණයකදී වරක් එක්තරා තරුණයකු ප්‍රකාශ කළා තමන් ඒ ඝාතන සැළැස්ම නිර්මාණය කළේ චිත්‍රපටයක රූප රාමුත් එක්ක කියලා. දැන් අපේ ‘සිංහබාහු’ නාට්‍යය බලලා එක පොඩි දරුවෙක් කිව්වලු එයා ලොකු වෙලා ‘සිංහබාහු’ මරනවා කියලා. ඇයි කියලා ඇහුවම ‘සිංහබාහු’ එයාගේ පියා වූ සිංහයා මරපු නිසා කිව්වලු. ක්ෂණික ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන කලාංගයන් තමයි වේදිකා නාට්‍යය හා සිනමාව කියන්නේ.

* වාරණයට ලක් නොවුණත් කිසියම් වර්ගීකරණයකට අනුව එම උළෙලේ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ඔබ මණ්ඩලය තීරණය කළේ එවැනි කාරණා මත පිහිටායි?

ඔව්. ඒ නිසා අපි කල්පනා කළා මේ චිත්‍රපට කාණ්ඩ හතරකට බෙදන්න. එක් කාණ්ඩයකට අපි ලබා දුන්නේ අසීමිත ප්‍රදර්ශනය සඳහා තිබෙන උ සහතිකය. ඒ සහතිකය දුන්නා අපේ මේ වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන චිත්‍රපටවලට. අවුරුදු දාහතරට වැඩි ළමයින්ට දෙමව්පියෝ එක්ක ගිහින් ඒ චිත්‍රපට නරඹන්න පුළුවන්. දැන් ඉන්දියාවේ, බ්‍රිතාන්‍යයේ වෙන්නේ ඒ විදිහට. ඔ සහතිකය අපි ලබා දුන්නේ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ගණයේ චිත්‍රපටවලට. චිත්‍රපට හතරක නැතිනම් පහකට අපි යය සහතිකය දුන්නා. එකසිය පනහක පමණ ප්‍රේක්ෂක පිරිසකට එය සීමා කළා.

* ඇයි ඒ?

ඒවායේ ලිංගික දර්ශන වැඩිපුර තිබුණා. ඒ කතා කළ විෂයයන් ආන්දෝලනාත්මක විය හැකියි. සිනමාව පිළිබඳ විශාල අත්දැකීමක් නැති පිරිසකට මේ චිත්‍රපට දැක්කම කිසියම් උමතුවක් ඇති වෙන්නට පුළුවන්, සමහර දර්ශන දැකලා. ඒ නිසා අපි නිගමනය කළා මේ චිත්‍රපට බැලිය යුත්තේ සිනමාව හදාරන අයත්, සිනමා විචාරකයන් හා අධ්‍යක්ෂවරුන් ඇතුළු විශේෂිත පුද්ගලයන් පිරිසක් කියා. ඒ හැර ජාතීන් අතර මිත්‍රත්වය ගොඩ නැඟීම, සමගිය ඇති කිරීම, සංස්කෘතික ගැටුම් වළක්වාලීම, ජාතිවාදී ආගම්වාදී අවස්ථා බැහැර කිරිම, ජනතාව එක තැනකට ගෙන ඒම පිළිබඳ කාරණා අපි විශේෂයෙන්ම සලකා බැලුවා. වාරණය අනවශ්‍යයි කියන අය පවා පිළි ගන්නවා රටක සමතුලිත බව ඇති කරන්න මේ වාරණය අවශ්‍යයි කියලා. නමුත් එහෙම වාරණයට ලක් කළ යුතු කිසිවක් මේ සිනමා උළෙල නියෝජනය කළ චිත්‍රපටවල තිබුණේ නැහැ.

* නැවතත් අපේ සිනමාව දෙසට හැරෙමු. ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ චිත්‍රපටය වාරණය කළ යුතුයි කියා ඔබට බලපෑම් ආවාද?

පොලීසියේ පොඩි විරෝධයක් මුලින් තිබුණා. මගෙනුත් ඇහුවා. මෙතනදි පොලීසිය නොවැදගත් හෝ දූෂිත ආයතනයක් කියන්නේ නෑනේ. මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව දූෂිතයි කියා හිටපු රාජ්‍ය නායිකාවක් කිව්වා. මානුෂික ගුණාංග සහිත පොලිස් නිලධාරියකුගේ ජීවිතය හාස්‍යයත් කැටි කරගෙන අංශුමාත්‍රයක් මෙහි ඉදිරිපත් කර තිබෙනවා. චිත්‍රපට දිහා බලලා සමාජය පිළිබඳ පූර්ව අර්ථකථනයක් දෙන්න බැහැ. නමුත් චිත්‍රපටයකින් ආගමක් දැඩිව විවේචනය කරනවා නම්, ආයතනයක් අගෞරවයට ලක් කරනවා නම් ඒක වැරදියි. නමුත් මෙතැන එහෙම දෙයක් වුණේ නෑ. කාගේ හරි ලනුවක්.

* එතකොට ‘රන්ජා’ චිත්‍රපටයට යම් යම් වාරණයන් පැන වූවායැයි කියන චෝදනාව ගැන?

ලංකාවේ එකක් තියෙනවා, හුඟ දෙනෙක් කැමැතියි චිත්‍රපටයක් වාරණය කර ගන්න. මොකද ඒක වෙළෙඳ වාසි සඳහා කරන දෙයක්. මුලින් මේ චිත්‍රපටයේ කොතැනකවත් ‘රතුපස්වල’ කියලා එකක් අපට ඉදිරිපත් කරලා තිබුණේ නෑ. අපි කිසිදු දර්ශනයක් නොකපා ‘රන්ජා’ චිත්‍රපටය අනුමත කළා. අමු බොරුවක්. කවුරු හරි කියනවා නම් අපි ඒක කැපුවා කියලා, මම අභියෝග කරනවා ඒක ඔප්පු කරන්න කියලා. පිරිත් කියන තැනක උසුළු විසුළු කරන දර්ශන තිබුණ නිසා අපි කිව්වා ඒ රූප රාමුවේ ශබ්දය පොඩ්ඩක් අඩු කරන්න කියලා. එච්චරයි.