|
බෙල්ල පසාරු කරගෙන දොර යනවා වගේ මට දැනුණේ
බිහිසුණු රිය අනතුර ගැන කතා කරන රිචඩ් මානමුදලි
රිචඩ් මානමුදලි කියන්නේ කාටවත් කරදරයක් නැති බොහොම අහිංසක කලාකරුවෙක්. මීගමුව ප්‍රදේශයෙන් කලාවට අත්පොත් තැබූ ඔහු සිය නිසඟ හැකියාව විදහාලමින් සෙමින් මෙන්ම නිහඬ ගමනක යෙදෙනු අපට දැකිය හැකියි. ඒ රිචඩ් පසුගිය දිනෙක නොසිතු විරූ කරදරයකට මුහුණ දී ඇති වග අපට දැනගන්නට ලැබුණා. වැඩිදුරටත් දැනගන්නට ලැබුණු පරිදි ඔහු එලොව ගිහින් මෙලොව ආවා හා සමාන අනතුරක්ලු සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අහලා බලමු රිචඩ්ගෙන් ඒ බිහිසුනු අත්දැකීම ගැන. * රිචඩ් කොහොමද දැන් ඔබට? දැන් නම් යාන්තම් පොළවෙ පය ගහලා ඉන්නවා. අනතුර සිද්ධ වුණ දවස්වල මැරිලා වගේ මං හිටියේ. * මොකක්ද සිද්ධ වුණේ? සාමාන්‍යයෙන් මං ගෙදරට අවශ්‍ය තුනපහ ආදිය ගෙන්න යන්නේ මගේ මෝටර් බයිසිකලේ. ඉතිං මං සුපුරුදු පරිදි මීගමුවෙ ටවුම පැත්තේ ඉඳලා ගත්තු කළමනා එහෙමත් එක අතකින් අරගෙන නිවෙස බලා එමින් සිටියා. ටික දුරක් එනකොට පාර අයිනෙ කාර් එකක් නවත්වලා තියෙනවා. මං එච්චර ඒක ගණන් ගත්තේ නැහැ. කාර් එක ඉස්සර කරගෙන යන්න හදද්දිම ඒකේ හිටපු කෙනෙක් දොර ඇරියනෙ. * ඔබට හිතාගන්න බැරි වෙන්න ඇති සිද්ධ වණේ කුමක් ද කියලා? නැත්නම්. දොර මගේ බෙල්ලේ වැදුණා. බෙල්ල පසාරු වෙනවා මට දැනුණේ. දඩස් ගාලා බයිසිකලයත් එක්කම මාව බිමට වැටුණා. * ඉතින්? මට දැන් තේරෙනවා බෙල්ල පැත්ත හිරි වැටීගෙන එනවා. මං නැගිට ගන්න හැදුවා. ඒත් වාරු නැහැ. * මොනවද එවලේ සිහි වුණේ? මං දෙවියන් වහන්සේව ගොඩක් විශ්වාස කරනවා. මට උන්වහන්සේව මතක් වුණා. මාව සිහි නැති කරන්න එපා කියලා උන්වහන්සේගෙන් ඉල්ලුවා. මං හිතන්නේ මගේ ප්‍රාර්ථනාව දෙවියන් වහන්සේට ඇසෙන්නට ඇති. වාසනාවට මට සිහිය නැති වුණේ නැහැ. පිරිසක් වටවෙලා මාව මීගමුව ඉස්පිරිතාලයට ගෙනිච්චා. එතෙන්දි මට ඇසුන කතා නම් කියලා වැඩක් නැහැ. * ඒ මොනවද? මං හිතන්නේ මාව දැකලා වෛද්‍යවරුන්ට තරු පෙනිලා. ඔවුන් කතා වෙනවා තව ටිකකින් ස්වාස නාලය බ්ලොක් වෙලා හුස්ම ගන්න බැරි වේවිලු. ඊට පස්සේ ගලනාලය කැපිල නිසා තව හරියටම මිනිත්තු විස්සකින් මාව මැරෙයිලු. * ඔබ එවලේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අතහැර ගත්තද? ජීවිතය කියන්නේ හරි අවිනිශ්චිත දෙයක්. සමහර අය මේ ඉන්නවා මේ මැරෙනවා. ඒ අතරින් ගලේ ගැහැව්වත් මැරෙන්නේ නැති අය ඉන්නවා. මං හිතන්නෙත් මං ඒ වගේ කෙනෙක්. ඒක නිසා කොයි මොහොතකදිවත් ජීවිතය අතහැර ගත්තේ නැහැ මං. * ඔබව මීගමුවෙන් කොළඹ ජාතික රෝහලට ගෙන ආවලු නේද? කොළඹදී තමයි මට හුඟක් ප්‍රතිකාර ලැබුණේ. දෙවියන් බඳු වූ දෛ්‍යවරුන් මා වට කරගෙන යථා තත්ත්වයට ගෙන එන්නට උත්සාහ කළා. මගේ අධිෂ්ඨාන ශක්තිය ඔවුන්ගේ ප්‍රතිකාරවලට එකතු වී නැවත මගේ පන නළ ගැට ගහගන්න උදව් වුණා. මිනිත්තු විස්සකින් මාරයා හා එකතු වෙනවා යැයි පැවසූ මාගේ ආයු කාලය ලියලන්නට පටන් ගත්තා. යන්ත්‍ර ආධාරයෙන් දැඩි සත්කාර ඒකකයේ ජීවත්ව සිටි මා දින කිහිපයකින් ස්වාභාවික අයුරින් හුස්ම ගත්තා. එවලේ මට දැනුණේ මගේ තෙවැනි උපත සිද්ධ වුණු බවයි. * තෙවැනි උපත? ඔව්. මවු කුසින් මෙලොව එළිය දුටුවදා මගේ පළමු උපත. දෙවැන්න මට දරුණු හෘදයාබාධයක් ඇති වෙලා එයින් මා සනීප වූ මොහොත. තෙවැන්න මෙය. මා හිතමිත්‍ර කුමාර තිරිමාදුර නම් කියන්නේ රිචඩ් දෙවැනි පාරටත් මරණයෙන් උත්ථාන වුණා කියලා. * දවස් ගණනක් ඔබ නොකා නොබී ජීවත් වුණේ කොහොමද? මං ඒ කාලයේම ජීවත් වුණේ සේලයින්වලින්. වෙනත් අසනීප හැදිල ඉන්න අයට කන්න බැරි නම් අඩුම ගානේ සුප් වැනි දේවල්වත් බොන්න දෙන්න තිබුණනේ. ඒත් මට එහෙමවත් බැහැනෙ. කෙසේ වෙතත් බෙල්ල කැපී ගිය තැනින් ලේ ඇතුළටයි මගේ ගියේ. ඒකයි මේ කාලේ වෙද්දිවත් මට යන්තම්වත් හොඳ වුණේ. ඊට දාපු මැහුම් පාරවල් නම් දරුණුවට පේන්න තියෙනවා. * ඔබ වෘත්තීය නළුවෙක්. මේ සිද්ධිය නිසා ඔබේ ආර්ථිකය එහෙම් පිටින්ම පහළ බසින්නට ඇති? ඔව්. ලෙඩ ඇඳේ ඉන්න කොටත් මං ඒ ගැන කල්පනා කළා. කෙසේ හෝ මා වටා සිටි ගුණ යහපත් මනුස්සයෝ මා ඇතුළු මගේ පවුලේ අය ජීවත් කරවන්නට උදව් කළා. ඒ අතරින් අපේ පල්ලියේ ගරු ලෙස්ටර් නෝනිස් පියතුමා විශේෂයි. මේ සිද්ධියෙන් අනතුරුව මට ආදරය කරන පිරිස කොතෙක්දැයි මට අඳුන ගන්න පුළුවන් වුණා. * අර කාර් රථයේ අයිතිකරුවා කෝ? ඇත්තටම මං දන්නේ නැහැ ඒ කවුද කියලා. ඔහු රාජගිරිය පැත්තේ කෙනෙක්ලු. ඔහු මං උන්නද මළා ද කියලාවත් හොයලා බැලුවේ නැහැ. ඒ වගේ මිනිස්සුත් ඉන්නවනේ කියලා හිත හදා ගත්තා. කෙසේ වෙතත් මට නම් කියන්න තියෙන්නේ පොදු ස්ථානවලදී විශේෂයෙන් මහා මාර්ගවලදී මිනිස්සු මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි කියලා. බලන්න සුළු සිද්ධියක් ගිය දුරක්. බැරි වෙලාවත් මං මැරුණා නම් මගේ පවුලට මොනවද සිද්ධ වෙන්නේ. ඒ අයට යන එන මං නැතුව යාවි. ඒක නිසා පින් සිද්ධ වෙයි මිනිස්සුනේ මීට වඩා පරිස්සමින් සහ වගකීමෙන් කටයුතු කරන්න.
|