වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘සමන් දෙවි හාමුදුරුවො සුද්දන්ට පාවා දීල ද බොල දළදා හාමුදුරුවො බේර ගන්න හදන්නෙ’

 ‘සමන් දෙවි හාමුදුරුවො සුද්දන්ට පාවා දීල ද බොල දළදා හාමුදුරුවො බේර ගන්න හදන්නෙ’

ඇහැළේපොළ කුමාරිහාමි හි ගොවි නායක ඩිංගිරාල සරසවියට කතා කරයි

ඔහු, මෙතෙක් පැමිණි ගමන සුන්දර එකක් නොවන වග මේ සංවාදය අරඹන්නට මත්තෙන් කී කතාවලින් මට පැහැදිලි විය. සුදර්ශියේ නුග ගස් සෙවණේ ජීවිතයෙන් වැඩි හරියක් ගෙවා දැමූ මේ රංගන ශිල්පියා ක්ෂේත්‍රයට පිවිස වසර තිහකට ආසන්නය. එහෙත් පුදුමය නම් එකී කාල පරාසය තුළදී එක් අවස්ථාවක හෝ පෙම්වතාගේ චරිතය නිරූපණය කරන්නට අවස්ථාව නොලැබීමය.

මාව කිසිම අධ්‍යක්ෂවරයකු කැමරාව ඉදිරියේ පෙම්වතා කරලා නැහැ. බය ඇති මං වගේ අයකුට එහෙම චරිතයක් දෙන්න.

සුගත් විජේසේකර නම් ඔහු එය කීවේ ද සිනා සෙමින්ය. කෙසේ වෙතත් පෙම්වතා නොවුණ ද වෙනත් ප්‍රබල චරිත ගණනාවක් තුළින් ඔහු අපට හමු වුණේය. මේ දිනවලදී නම් ඇහැළේපොළ කුමාරිහාමි සිනමා සිතුවම සුගත්ගේ රංගන හැකියාව දැක බලා ගත හැකිය.

සුගත්, නැවතත් ආවේගශීලී චරිතයකින්මයි අපට ඔබව හමු වුණේ?

මක්කරන්නද. මගේ මුහණේ හැටියට එවන් චරිත තමයි ගැළපෙනවා ඇත්තේ. ඔබ ඔය කිව්වේ ඇහැළේපොළ කුමාරිහාමි සිනමාපටයේ චරිතය ගැන වෙන්න ඇති.

 ඔව්.

ඒකෙ මම සබරගමුවෙ ගොවි නායකයෙක්. ටිකක් ආවේගශීලියි. නමුත් රැඩිකල් ගතියක් තියෙනවා. අනෙක් ගොවි නායකයන්ගේ අදහස්වලට ඔහු එගඟ වන්නේ නැහැ. තමන්ගේ මතයමයි නිවැරැදි කියලා හිතන්නේ. ඒ නිසා අවසානයේදී සිය දිවි නසා ගන්නවා.

මෙය ඔබේ රංගන ජීවිතයේ සුවිශේෂී චරිතයක්?

අනිවාර්යයෙන්ම. විජය කුවේණි සිනමාපටයේ මං කළ චරිතෙන් පස්සේ මට ලැබුණු හොඳම චරිතය මේක.

සුගත්, සුගත්ට හොඳ අවස්ථා දෙනවා වගේ?

සුගත් සමරකෝන් කියන්නේ මහත්මා ගතිගුණ තියෙන අධ්‍යක්ෂවරයෙක්. ඔහු ඇහැළේපොළ කුමාරිහාමි නිර්මාණය කරන්න කලින් මගෙන් ඇහැව්වා මේ චරිතයට ආසද කියලා. ඔහු කෙලින්ම චරිතය බාර නොදී එහෙම අහන්න ඇත්තේ මෙහි ඇති විප්ලවවාදීකම නිසයි. මාත් ඒ චරිතය කරන්න පෙළඹුණේ ඒ හින්දාමයි.

ඔබ කරන මෙවන් වූ චරිත නිසා ඔබෙන් රසික රසිකාවන් ඈත්වෙනවා නොවේද?

ඒක තරමක් දුරට සත්‍යයක්. මිනිස්සු හිතාගෙන ඉන්නේ මං නපුරු කෙනෙක් කියලා. ළඟට ඇවිත් කතා කරන්නෙම නැති තරම්.

සුගත්ට ජනකාන්ත නළුවකු වෙන්න අවශ්‍ය නැහැ කියලා මට හිතෙනවා?

විවිධ චරිත කරන පිපාසාව තිබුණත් මට ලැබෙන්නේම කචල් අදින සැර පරුෂ චරිත. මාත් ආසයි පෙම්වතාගේ චරිතය එහෙම කරලා මිනිසුන් අතරට යන්න. ඒත් මොකක්දෝ රාමුවක මං හිර වෙලා.

ඔබට පෙම්වතාගේ චරිතය දෙන්න අධ්‍යක්ෂවරු බය ඇයි?

මන්දා, දෙන්නකෝ පෙම්වතා මං මරුවට කරලා පෙන්නන්නම්.

රංගන ජීවිතය කට්ටක්ද?

එක්තරා අතකින් ඔව්. මං කට්ට කාපු තරම් කියලා වැඩක් නැහැ. තවමත් කට්ට කනවා. ඒත් රංගනයට ඇති ඇල්ම දරුණුයි. ලද දෙයින් සතුටු වෙලා දිගු ගමනක් යන්නයි අපේක්ෂාව.

මේ කතාවේදී සුදර්ශිය මතක් නොකළොත් සෑහෙන්න අඩුවක් වේවි?

සුදර්ශිය හරියට මගේ දෙවැනි ගෙදර වගේ. එතැනින් මං උගත් පාඩම් බොහොමයි. සුගත් සමරකෝන් මහත්මයවත් මුණ ගැසෙන්නේ සුදර්ශියේදී. විවේක අවස්ථාවලදී මම නිතැතින්ම එතනට එන්නේ හරිම ආසාවෙන්.

සුදර්ශියේ නාට්‍ය අනු මණ්ඩලයේ ඔබට තනතුරක් ද තියෙනවා නේද?

ඔව්. මං තමයි එහි ලේකම්.

එම සංසදය මඟින් නව වැඩ පිළිවෙළක් ඔබ විසින් හඳුන්වා දෙන්න හදනවා කියලා ආරංචියි.

ඒක මම විතරක් නෙවෙයි. අපි හැමෝගෙම තීරණයක්. කලාවේ නියැලෙන්නන්ට ක්‍රමවත් උපාධියක් සුදර්ශිය මඟින් ලබා ගත හැකි ක්‍රමෝපායක් සකසමින් යනවා. ඒක කාට කාටත් හොඳයි නේද.

හරි යයි ද වැඩේ?

උපරිම උත්සාහ ගන්නවා එම තීරණය මල්ඵළ ගන්වන්න.

දශක් තුනක අත්දැකීම් එක්ක ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙන්න මේ කාලය හොඳ නැතිද?

පිටපතක් තියෙනවා. ඒත් අධ්‍යක්ෂණයට පිවිසෙන්න බයයි. තව ඉගෙන ගන්න ඕනෑ.

මොනවද ඔබේ අනෙකුත් නිර්මාණ?

සුජීව ගුණරත්නගේ කාල නාට්‍යයේ රඟපෑවා. ගිනි අවි සහ ගිනි කෙළි මං සම්බන්ධ වෙලා ඉන්න අනෙක් නාට්‍යය. එය සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයක්.

ඔබේ පෞද්ගලික විස්තර සඳහන් කළොත්?

මමයි බිරියයි. මගේ පදිංචිය ගොඩගම. ජීවිතයේ ඇතැම් අවස්ථාවලදී වැරදුණා. නමුත් ඒවා මං ආශිර්වාදයක් කරගෙන මං මගේ ගමන යනවා.

ඇහැළෙපොළ කුමාරිහාමි සිනමාපටයේ ඔබ මැරෙන දර්ශනයක් තියෙනවා. ඇත්තටම ඒක හරිම තාත්ත්විකයි.

බොහොම ස්තූතියි එහෙම කිව්වට. පිටපත කියවපු දවසේ ඉඳලා මං ඒ දර්ශනය සිදු කරන ආකාරය ගැන සිතින් හිතා ගත්තා. නමුත් දර්ශන තලයේදී මට රඟපාන්න වුණේ වෙනස්ම පසුබිමක. මං හිතා ගත්තු ශිල්ප ඒකක්වත් දාන්න බැරි වුණා. මං එවලේ ක්ෂණිකව රංගනයක් නිර්මාණය කරගෙනයි ඒ දර්ශනය කළේ. මං එදායින් පසුව හිතාගත්තා කිසිම දිනෙක ප්ලෑන් කරගෙන රඟපාන්න යන්නේ නැහැ කියලා.