|
මං කවදාවත් රැලිවල එල්ලිලා යන්නේ නැහැ
පස් වසරකට පසු චන්ද්‍රසේනගෙන් ප්‍රසංගයක් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි 35 වසරක සැමරුම 20 දා මහරගම යූත් රඟහලේදී
හැත්තෑව දශකයේ අවසාන කාලය ඔහුගේ සංගීත ගමනේ ඇරැඹුමයි. බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් සංගීත ඥාණය පෝෂණය කොට ගත් හෙතෙම 1980 වසරේදී යෞවන සම්මාන උළෙලේ හොඳම ගායකයාට හිමි කිරුළ තම හිස මත පළදා ගත්තේ තම නිසඟ හැකියාවන් රටටම හෙළි පෙහෙළි කරමිනි. එදා අප සවනත වැකුණ ළයාන්විත ගී රාවය අදට ද නොවෙනස්ව පැවතීම වාසනාවකි. තිස් පස් වසරක් නික්ම ගිය ද ඉකුත් නොවූ ඒ ගී රාවය නූතන පරපුර ද ග්‍රහණයට ගැනීම පුදුමය දනවන කාරණාවකි. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි. අපි තිස් පස් වසරක මතක දිගේ ඇවිදිමු.
හරියටම වසර පහකට පස්සේ ඔබ ප්‍රසංගයක් කරන්නයි සූදානම? ඔව්. වසර පහෙන් පහට හොඳ ප්‍රසංගයක් ඉදිිරිපත් කිරීමට මං කැප වෙලා කටයුතු කරනවා. මගේ රසිකයන්ට අලුත් ගීත වගේම පැරැණි ගීත රස විඳින්නට කටයුතු යෙදීම තමයි අරමුණ. මෙවරත් ඒ උතුම් හැඟීම ප්රමුඛ කොට ගනිමින් මගේ ප්‍රසංගය පැවැත් වෙන්නේ මේ 20 වැනිදා. මේ ප්‍රසංගය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නක්. මගේ සියලුම තරාතිරම්වල රසිකයන්ට වින්දනය ලබාදීම තමයි මගේ අරමුණ. සවස 7.00 ට තමයි ප්‍රසංගය පටන් ගන්නේ. නොමිලේ ප්‍රසංගයක් පැවැත්වීම මේ කාලේ ටිකක් අමාරු කටයුත්තක්? ඔව්. හැම දේටම අධික මුදලක් වැය වෙනවා. ඒ නිසා අනුග්රාහකයන් සොයාගෙන ගියා. ඒත් හිතපු විදියේ අනුග්රාහකයන් හමු වුණේ නැහැ. නමුත් මේ ප්‍රසංගය කෙසේ හෝ කරනවාමයි කියන මතයේ මා ඇතුළු සංවිධායක මණ්ඩලය හිටියා. ඒ නිසා හිත මිතුරන්ගේ උදව්වෙන් තමයි ප්‍රසංගය කරන්නේ. මේ ප්‍රසංගය කරලා ලාභ ලබන්න මට උවමනා නැහැ. මට අවශ්‍ය රසිකයන් සතුටට පත් කිරීම පමණයි. ඒත් මේ වගේ ප්‍රසංගයක් කරලා කබලෙන් ලිපට වැටෙයිද? නැහැ. මං හැමදාමත් එකම තලයේ හිටපු කෙනෙක්. සංගීත ක්ෂේත්රයේත් එහෙමයි, සාමාන්‍ය ජීවිතෙත් එහෙමයි. ඒ නිසා මේකෙන් ලාභයක්වත් පාඩුවක්වත් මට නැහැ. ප්රසංගයේදී අලුත් ගීත එළි දකිනවාද? මෑත කාලයේදී අලුත් ගීත කිහිපයක්ම ආවා. ඒ ගීත රසිකයන් පිළිගත්තා. මේ ප්රසංගයේදී අලුත් ගීත තැටියක් එළි දැක්වීමක් සිදු වෙනවා. මෑත කාලේ ඔබ වෙනස්ම ගීත කිහිපයක් රසිකයන්ට තිළිණ කළා? ඔව්. මේ යන ක්‍රමයට අනුව අපි අපේ ගමන සකසා ගත යුතුයි. නැතිනං මේ ගමන යන්නට බැහැ. සමාජය, තාක්ෂණය, සංගීතය මේ හැම දේම අතරේ මිනිසාගේ සිතුම් පැතුම් ද වෙනස් වෙනවා. නිර්මාණකරුවන් ඒවා හඳුනා ගනිමින් නව නිර්මාණ බිහි කළ යුතුයි. මං එක තැනකට කොටු වෙච්ච ගායකයෙක් නෙවෙයි. ලෝකය ගමන් කරන ආකාරයට අපිත් අපේ ක්‍රමවේදය සකසා ගත යුතුයි. නමුත් නිර්මාණ අර්ථපූර්ණ වීම තමයි වැදගත්. ඒ කියන්නේ ඔබත් රැල්ලට යන ගායකයෙක් වෙලා? නැහැ. රැල්ල කියන්නේ එකක්. නව නිර්මාණ කියන්නේ තව එකක්. රැලි යනවා එනවා. ඒත් නව රටාවන්ට අනුව අර්ථාන්විත නිර්මාණ බිහි කළොත් ඒවා හැමදාම පවතිනවා. මං කවදාවත් රැලිවල එල්ලිලා යන්නේ නැහැ. ඒත් අපි කාලයට අනුරූපීව වෙනස් විය යුතුයි. රින්ගිං ටෝන් ආදායම් තත්ත්වය කොහොමද? හොඳයි. මං කවදාවත් ඒකට විරුද්ධ නැහැ. මගේ ගීත කිහිපයක්ම රින්ගිං ටෝන් දාලයි තියෙන්නේ. මොකද අපටත් යැපෙන්න ක්‍රමයක් තියෙන්න ඕනෑ. අනෙක ඒක වැරැද්දක් කියලා මට තේරෙන්නේ නැහැ. ප්‍රසංග වේදිකාවෙන් ඔබ ඉතාමත් සුලභ ගායකයෙක්. ඒ වගේම ඔබේ ගීතවලට ප්‍රසංගවල ඉහළ ඉල්ලුමක් පවතිනවා? ප්‍රසංග වේදිකාවේ ගී ගැයීම හා ඒ තරු ගුණය රඳා පවත්වා ගැනීම තරමක් අපහසු කටයුත්තක්. කාලානුරූපීව නිර්මාණය වූ ගීත ගොන්න නිසා තමයි එදත් අදත් මම එක ලෙස ජනප්‍රියත්වය රඳවා ගන්නේ. කලින් කලට බිහි වූ විවිධ ආරයේ ගීත මා ප්‍රසංග වේදිකාවේ තරුවක් බවට පත් කළා. දැන් ගීත තැටි, වෙළෙඳපොළට එන්නෙම නැති තරම්. ඒ මදිවට සජීවි ප්‍රසංග පටිගත කොට විකුණන කලාවකුත් දැන් තියෙනවා. මේ තත්ත්වය අර්බුදකාරියි නේද? ඇත්තටම, දැන් සීඩී එකක් කරල දැම්මොත් පහුවෙනිදාට ලෝකල් සීඩී ලක්ෂ ගාණක් වෙළඳපොළට එනවා. ඒ නිසා නිර්මාණකරුවන්ට ගීත තැටියක් කරන්න අවස්ථාවක් දැන් නැහැ. ඒ වගේම අලුත් රූප රචනාවක් කළොත් පහුවෙනිදාට ඒක සීඩී ගහලා විකුණනවා. දැන් අලුත්ම රැල්ල තමයි ලයිව් ෂෝ රැල්ල. අපි අලුත්ම ගීතයක් රෑ කිව්වම හෙට උදේ බස්වල කඩවල ඒ ගීතය තොග ගාණට විකුණනවා. නමුත් මේකට අපට කිසිම ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ක්‍රියාවලිය හරිම අසාධාරණයි. අපේ නිර්මාණවලින් හම්බ කරන්නේ පිට මිනිස්සු. අපි ඉතිං හැමදාම එක තැන. ඔබ කිව්වා වගේම මේක ඉතාම දරුණු අර්බුදයක්. මේ අර්බුදය විසඳා ගැනීමට පෙළ ගැසිය යුත්තේත් අපිමයි. නැවතත් ප්‍රසංගයට හැරෙමු? මෙවර ප්‍රසංගය නම් කරලා තියෙන්නේ ‘සෙනෙහසේ ගී අසිරිය ඔයා හන්දා’ කියලයි. ප්‍රසංගය අදියර දෙකකට පැවැත්වීමට තමයි කටයුතු යොදලා තියෙන්නේ. පළමු අදියර සඳහා සංගීතය සපයන්නේ ගුවන් හමුදා පෙරදිග වාදන කණ්ඩායම. දෙවැනි අදියර සඳහා සංගීතයෙන් දායක වෙන්නේ නීල් වර්ණකුලසූරිය ප්රමුඛ සන්ෆලවර්ස් වාදක මණ්ඩලයයි. මෙම ප්‍රසංගය සඳහා චන්ද්‍රලේඛා පෙරේරා, සෝමසිරි මැදගෙදර, ශෂිකා නිසංසලා, සුභානි හර්ෂණී, ලහිණි විහංගා හෙට්ටිආරච්චි යුග ගායනයෙන් මට සහාය වේවි. ආචාර්ය රෝහණ වීරසිංහයන්, විශාරද එඩ්වඩ් ජයකොඩි විශේෂ දෙසුම් පවත්වන අතර කතනයෙන් සහාය වෙන්නේ සේනක උබේසිංහ සහ සංඛ හිරන්ත. මේ ප්‍රසංගය සම්පූර්ණයෙන්ම නොමිලේ බව නැවතත් පැවසිය යුතුමයි. ප්‍රසංගය සඳහා අවසරපත් තරුණ සේවා සභාවේ දොරකඩින් ලබා ගත හැකියි. අවසානයටයි පැමිණියේ? මේ මොහොතේ සිහි කළ යුතු පිරිස බොහෝමයි. ෂර්ලි වෛජයන්ත ගුණසිංහ ගුරුතුමාට මේ ප්රසංගයේදීත් වෙනදා වගේම විශේෂිත ගුරු භක්තියක් හිමි විය යුතුයි. ඒ වගේම තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාවත් ගෞරවයෙන් සිහි කළ යුතුමයි. ඒ වගේම මෙතෙක් කල් මගේ දිරිය රැක දුන් හැමෝටම ස්තුතියි. |