වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




හාර ලක්ෂය සම්බන්ධ තවත් කතාවක් තියෙනවා

හාර ලක්ෂය සම්බන්ධ තවත් කතාවක් තියෙනවා

ජනිත මාරසිංහ

කලා ලොවේ සුවිශේෂ දේ සටහන් වෙන්නේ පුදුම හතෙන්. කලාවට ලැදි වුවත් තම සිත් ගත් අමතක නොවන දේ අකුරු කරවන පුදුම හතට අද පැමිණියේ චිත්‍රපට නිෂ්පාදක ජනිත මාරසිංහ.

ඔහු අද කතා කරන්නේ ඔහුගේ හිතට වැදුණු, දැණුනු සිංහල චිත්‍රපට හතක් ගැනයි. අතිශය සාර්ථකව තිරගත වූ ‘මගෝ ඩිගෝ ඩයි, කිව්වද නහී නොකිව්වද නහී’ මෙන්ම තිරගත වීමට නියමිත ‘ඇඩ්‍රස් නෑ’ සහ ‘මගේ යාළු මාළු’ නිෂ්පාදනය කළේ ද ජනිත මාරසිංහය. එමෙන්ම ‘ලේ කිරි කඳුළු, රන් කෙවිට 1 සහ 2, කුස පබා’ ජනිත සම නිෂ්පාදනයෙන් දායක වූ චිත්‍රපට වේ.

සසර චේතනා

මගේ ජීවිතයේ පළමුවෙන්ම හිතට දැණුනු චිත්‍රපටය වුණේ සසර චේතනා චිත්‍රපටයයි. එය මගේ පාසල් සමයේදී මගේ තාත්තා සමඟින් ගොස් නැරඹූ චිත්‍රපටයක්.

තාත්තා තමයි උනන්දුවෙන් මේ චිත්‍රපටය බලන්න මා කැඳවාගෙන ගියේ.

ඇත්තටම සසර චේතනා කියන්නේ චිත්‍රපට ගැන කිසිම අවබෝධයක් නොතිබුණු කාලෙක මා ආසාවෙන් නැරඹූ චිත්‍රපටයක්.

මාලිනී අක්කා අධ්‍යක්‍ෂණය කළ එහි කැමරාව මෙහෙය වූයේ ප්‍රවීණ කැමරා අධ්‍යක්‍ෂ සුමිත්ත අමරසිංහ. සත්‍ය සිදුවීමකින් ගත් කොටසකින් එය විචිත්‍රවත් ලෙසින් රචනා කළේ දයා රාජපක්‍ෂ.

එහි මියුරු ගීත අතරේ ‘බුදුනේ’ ගීතය අදටත් එක ලෙසින් ජනපි‍්‍රයව පවතින ගීතයක්.

ආදරය වගේම සටන් ජවනිකා ද ඇතුළත් වාර්තා තැබූ චිත්‍රපටයක් ලෙසින් සසර චේතනා ජනපි‍්‍රයයි. ඒ වගේම මගේ හිතටත් තදින්ම දැණුනු චිත්‍රපටයක්.

සුර දූතියෝ

සුර දූතියෝ චිත්‍රපටයත් මගේ පාසල් කාලයේ නැරඹූ අමතක නොවන චිත්‍රපටයක්.

කොළඹ කේරි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේදී මරදාන නිව්ි ඔලිම්පියා සිනමා ශාලාවෙන් එය නැරඹුවේ.

රොබින් ප්‍රනාන්දුගේ පළමු අධ්‍යක්‍ෂණය වූ ‘සුර දූතියෝ’ චිත්‍රපටය ඒ කාලයේ තිරගත වූ චිත්‍රපට අතරේ වෙනස්ම මගක් ගත් චිත්‍රපටයක් වුණා.

ඇත්තටම එය සිංහල සිනමාවේ නිර්මාණය වූ හෙඳ ක්‍රියාදාම චිත්‍රපටයක්.

අද එය සිහිපත් වන විට රොබින් අයියාගේ ප්‍රථම අධ්‍යක්‍ෂණය වුණත් ඉතා හොඳ ප්‍රතිභාවක් පෙන්නුම් කළ ච්ත්‍රපටයක් ලෙසින් මගේ හිතට දැනෙනවා.

බඹසර බිසව්

බඹසර බිසව් චිත්‍රපටයත් මාගේ පාසල් කාලය තුළ නරඹා මතකයේ රැඳි චිත්‍රපටයක්.

මෙම චිත්‍රපටයත් ප්‍රේක්‍ෂකයන්ට දැනෙන ආකාරයෙන් කළ නිර්මාණයක් ලෙස මම දකිනවා.

එහි දී රංගන තරු අතරේ වූ ශෂී විජේන්ද්‍ර නම් රංගන ශිල්පියාගේ හොඳම රඟපෑම ඇතුළත් වූ චිත්‍රපටය ලෙසත් මම මෙය දකිනවා.

‘බඹසර බිසව්’ ශෂී ගේ උපරිම රංගන හැකියාව පෙන්නුම් කළ චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

ත්‍රිකෝණාකාර පෙම් පුවතක් රැගත් මේ චිත්‍රපටය දයා විමලවීර නිර්මාණය කරන ලද විශිෂ්ටතම චිත්‍රපටයක්.

බහු භාර්යා

සිංහල සිනමාවේ නිර්මාණය වූ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට අතරේ හොඳම චිත්‍රපටය ලෙස ‘බහු භාර්යා’ චිත්‍රපටය මම දකිනවා.

එයට විශේෂ වූ හේතුව ලෙස මම දකින්නේ එහි හොඳ කතාවක්, හොඳ ගැළපීමක් වගේම ආදර්ශයකුත් තිබීමයි.

මා උදයකාන්ත වර්ණසූරිය නම් වූ අධ්‍යක්‍ෂවරයා සොයා යාමට හේතු වුණෙත් මෙම චිත්‍රපටයයි.

ඒ අනුව මම ඔහු හොයාගෙන ගෙදරට ගිහින් චිත්‍රපටයක් කරමු යැයි යෝජනා කළා.

ඒ හමුවීම මගේ සිනමා දිවියේ සුවිශේෂ මතක සටහනක්.

සිකුරු හතේ

සිකුරු හතේ චිත්‍රපටය මා දකින්නේ සිංහල සිනමාවේ බිහි වූ හොඳම විනෝදාත්මක චිත්‍රපටය ලෙසයි. මෙහිදී ගිරිරාජ්ගේ අධ්‍යක්‍ෂණය වගේම පිටපත් රචනයත් සුවිශේෂව සඳහන් කළ යුතුයි.

ඒ වගේම එතරම් විශාල ප්‍රචාරයක් නොවුණත් ඉතා විශාල වූ පේ‍්‍රක්ෂක අවධානයක් දිනා ගන්නත් සිකුරු හතේ චිත්‍රපටය සමත් වුණා.

ඒ වගේම එහි විජය නන්දසිරි අයියාගේ රංගනය සිනමාවේ ඔහු මැවූ විනෝදාත්මක චරිත අතරේ සුවිශේෂ වූවක්.

සිකුරු හතේ චිත්‍රපටය තුළ අනෙකුත් චරිත තෝරා ගැනීමත් විශිෂ්ට ලෙසින් කරන්නට අධ්‍යක්‍ෂවරයා සමත් වී සිටිනවා.

ඒ වගේමයි කිසිම විවේචනයක් කළ හැකි වූ අඩුපාඩුවක් නැති ආකාරයෙන් නිර්මාණය කළ චිත්‍රපටයක් ලෙසින් මම සිකුරු හතේ චිත්‍රපටය හඳුන්වා දෙන්න කැමැතියි.

හාර ලක්‍ෂය

තිරගත වූ පිළිවෙළ අනුව මේ දක්වා මා කැමැතිම චිත්‍රපට නම් කළත් හාර ලක්‍ෂය චිත්‍රපටයට හිමි වෙන්නේ හය වැනි ස්ථානයයි. අනෙකුත් චිත්‍රපටවලට පෙර මෙය තිරගත වුණත් මම එය නැරඹුයේ දැනට සිව් වසරකට පමණ ඉහතදීයි.

හැත්තෑව දශකයේ නිර්මාණය වුණත් එහි තාක්‍ෂණය වර්තමානය සමඟ සසඳන විට ඉතා ඉහළ මට්ටමක තිබෙන බවත් සඳහන් කළ යුතුමයි.

හාර ලක්‍ෂය ටයිටස් තොටවත්තයන්ගේ අධ්‍යක්‍ෂණයක් සහ මගේ මහප්පා සුගතපාල මාරසිංහගේ නිෂ්පාදනයක්. ඒ වගේම මෙය හා සම්බන්ධ මගේ මතකයේ රැඳි තවත් කතාවක් තියෙනවා.

මෑතකදී අප අතරින් වියෝ වූ කෘතහස්ත කලා ශිල්පියකු වූ ඇන්ඩෘ ජයමාන්න මගේ තාත්තාගේ මිතුරෙක්. චිත්‍රපටයකට දායක වීමේ ආසාව ඔහු තාත්තාට පවසා තිබුණා. ඒ අනුව දවසක් තාත්තා ඔහුව මහප්පාට හඳුන්වා දුන්නා.

එදා ඒ හඳුනා ගැනීම සමඟ හාර ලක්‍ෂය චිත්‍රපටයේ කැමරාව මෙහෙය වීමට භාර වුණේ ඇන්ඩෘ ජයමාන්න මහතාටයි. එයත් මගේ හිතේ සටහන් වූ සුවිශේෂ මතකයක්.

ඇඩ්‍රස් නෑ

මා නැරඹූ, හිතට දැණුන චිත්‍රපට අතරේ හත් වැනි ස්ථානය හිමි වෙන්නේ තවමත් තිරගත නොවූ ඇඩ්‍රස් නෑ චිත්‍රපටයටයි. තවමත් තිරගත නොවුණත් එය සම්පූර්ණයෙන් දෙබස් කවා, සංගීතය මුසු කර අවසන්.

සියලු වැඩ අවසානයේ එය නැරඹූ කිහිපදෙනා අතරට මමත් ඇතුළත් වුණා.

ඇඩ්‍රස් නෑ චිත්‍රපටයට මගේ විශේෂ කැමැත්ත හිමි වෙන්නේ ඒකාකාරී සිනමා නිර්මාණ අතරේ වෙනස් ආකාරයේ කතා තේමාවක් රැගත් චිත්‍රපටයක් වීම නිසයි.

දක්‍ෂ නළු නිළියන් පිරිසකගේ රංගනයෙන් ඔපවත් වූ මේ චිත්‍රපටය ඔබට ලබන වසරේ මුල් භාගයේදී පමණ දැකගත හැකි වේවි.

මිනිසුන්ගේ හිතට වදින කතාවක් සමඟින් වූ මෙම චිත්‍රපටය ප්‍රේක්‍ෂකයන් ආදරයෙන් පිළිගන්නා බව නම් විශ්වාසයි. ඒ වගේම එය සිනමාවේ වර්තමාන රැල්ලේ හැරවුම් ලක්‍ෂයක් වේවි.