වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සීයාගේ සොහොන් කොතට මිනිබිරියගෙන් කවි පොතක්
ධර්මසිරි ගමගේ දසවෙනි ගුණ සමරුව වෙනුවෙන්

සීයාගේ සොහොන් කොතට මිනිබිරියගෙන් කවි පොතක්

නිලට නිලේ දිලෙන කෙත් යායට ඉහළින් පියාඹන සියොතුන් රෑන පෙම් ගී ගයන්නේ තවත් සුබ ආරංචියක තතු කියාපාමිනි. මේ වඳුරඹ ඌරල සුන්දර ගම්මානයයි. පීටර් අප්පුහාමි තම බිරිඳ සමඟින් කොළඹට ආවේ ඒ සුන්දර ගම්මානයේ මතක සිතේ කොනක සිර කරගෙනයි. ගමෙන් එන විටත් චන්ද්‍රවතී ගැබ්බර වී සිටියාය. ඉදිරියට නෙරා ආ කුස වමතින් පිරිමැද්දේ පිරිමි දරුවකුගේ කිරි සිනා මතකයේ රඳවා ගනිමිනි.

කොළඹට පැමිණි මේ දෙපොළ පදිංචි වූයේ බොරැල්ලට ආසන්න තදාසන්න පෙදෙසකයි.

ටික දිනකින් චන්ද්‍රවතීගේ සිහින යථාර්ථයක් කරමින් පුත්‍ර රත්නයකට උපත දෙන්නට ඈ සමත් වූවාය. සුරතල් සිඟිත්තාට මේ දෙපොළ, නම් තැබුවේ ධර්මසිරි ගමගේ යනුවෙනි. වයසින් වැඩෙත්ම ධර්මසිරි මෙරට ප්‍රකට පුද්ගලයෙකු වූවේය. ඒ අනෙකකු නොව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ සූරීන්ය. හෙටට හෙතෙම දැයෙන් සමුගෙන වසර දහයක් ගතවන්නේය. එම නිසාම ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වූ චමින්ද ගමගේ තම පියාගේ සෙනෙහේබර මතක පිළිබඳ සරසවිය ‘පිය සටහන්’ තුළ මතක පිටුවක් පුරවාලුවේය.

පිරිමින් හැඬුම්බරවන්නේ කලාතුරකිනි. ඒ දරාගන්නටම නොහැකි අති සංවේදී කරුණකදීය. චමින්දත් තම පියාගේ පින්බර වූ පෙම්බර මතකය අවදි කළේ නෙතු අගට පැමිණි සිහින් කඳුලැල්ලකට නිදහසේ ගලන්නට ඉඩ දීගෙනයි. ඒ තම හදවතේ ගැඹුරුම තැන තම පියාණන් ජීවත්වන නිසාය. සිහින් හඬින් චමින්ද තම පියා පිළිබඳ මතකය මෙසේ අවදි කළේය.

“තාත්තා ඉපදෙනකොට සීයට ඒ තරම් වත්කමක් තිබිලා නැහැ. තාත්තා මුලින්ම කැලණිය ගුරුකුල විද්‍යාලයට ඇතුළත් වුණා. ඊට පසුව සීයගේ යාළුවෙකුගේ මාර්ගයෙන් ශාන්ත තෝමස් විද්‍යාලයට ඉගෙන ගන්න යොමු කරලා. ශාන්ත තෝමස් විද්‍යාලයට ඔය කාලෙදි රුපියල් තුන්සීයයක් ගෙවන්න ඕනැලු. ඒ කාලේ හැටියට ඒක ලොකු ගාණක්. යන්තම් ජීවත්වෙන්න මුදලක් තිබුණට ඒ කාලේ සීයලාට ඒ වගෙ ලොකු මුදලක් වියදම් කරන්න හැකියාවක් තිබිලා නැහැ. කොහොම හරි තාත්තා ඒ කාලේ හවස මරදාන පැත්තේ තියන බේක්හවුස් (බේකරියක) එකක බිල් කඩන්න ගිහින් අධ්‍යාපනයට අවශ්‍ය මුදල් සොයාගත්තලු. ඒ වෙනකොට මරදාන මාලිගාකන්ද පැත්තේ තිබුණ පෞද්ගලික විද්‍යාලයකින් අධ්‍යාපනය ලබන්නත් උනන්දුවෙලා තියෙනවා.

ඒ කලේ තාත්තා ජනතා පත්තරේට ලිපි එහෙම ලියනවලු. ඒ තාත්තා කලාවටයි සාහිත්‍යටයි කුඩා කාලේ ඉඳන් ඇළුම් කරපු නිසා. ඒ කාලේ ‘වැරදුන පිහි පහර’ කියලා කෙටි කතාවක් පත්තරේ පළවුණා. ඒක නොසිතූ විදිහට ප්‍රසිද්ධ වුණා. ඊට පසුව සිංහල බෞද්ධයා, ලංකාදීප වගේ පත්තරවලට දිගටම ලියන්න ගත්තා. ඔහොම ඉන්නකොට හැත්තෑව දශකයේ දී නිපදවුණ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහත්මයාගේ ‘සැනසුම කොතැනද’ චිත්‍රපටයේ ගීත රචනයට එකතු වුණා. ‘සුළං කුරුල්ලෝ’ ගීතය ඒ ගීත අතරින් අතිශය ජනපි‍්‍රය වුණා.

ඔය කලේ වෙනකොට තාත්තා ලංකාදීප පත්තරේ වැඩ කරනවා. 1977 වසරේදී අවුරුදු 17 ක් වැඩ කරපු ලංකාදීපයට සමුදීලා ලේක්හවුස් ආයතනයට තාත්තා එක් වුණා. ලේක්හවුස් එකේදී එයාගේ මාධ්‍ය ජීවිතයේ විවිධ පර්යේෂණයන්ට මුහුණ දුන්නා. යොවුන් ජනතා පුවත්පත වගේම රසඳුන අතිරේකයත් තාත්තාගේ මූලිකත්වයෙන් ඇරඹුණ පත්තර.

වෘත්තීය මාධ්‍යවේදියෙක් විදිහට එයා මාධ්‍ය ජීවිතයේ විවිධ අත්හදා බැලීම් කළා. එකල ලංකාවේ පරිසරය පිළිබඳ විවිධ ලිපි පෙළක් තාත්තාගේ අතින් නිර්මාණය වුණා. දැන් ප්‍රකට වෙලා තියෙන ජාතික නාමල් උයන, රෝස තිරිවාණා නිධිය අලංකාර ලෙස පාඨකයන්ට ප්‍රථමයෙන්ම ලිපියකින් හෙළිදරව් කළේ තාත්තා. මාදු ගඟ සුන්දරත්වය වගේම වර්තමානයේ ලංකාවේ බොහෝ සංචාරක ස්ථාන ගැන ප්‍රථමයෙන් ලිපි මඟින් හෙළිදරව් කළේ ධර්මසිරි ගමගේ කියන මාධ්‍යවේදියා.

මෙරට විතරක් නෙමේ, මට මතකයි තාත්තා ඒ දවස්වල නිතරම ඉන්දියාවට යනවා. ඒ යන්නේ තනියම නෙමේ. සුනිල් ආරියරත්නත්, නන්දා මාලිනි, අමරදේව වගේ පරිසරහිතකාමී කලාකරුවන් සමඟ. තාත්තා තිස් වතාවකට වඩා දඹදිව ගිහින් ඇති. ඒ නිසාම වීසා ගන්නා එකේ ඉඳලා දඹදිව සංචාරය කරන හැම ස්ථානයක් ගැනම ලියලා තියෙනවා. මේ මොන දේ කළත් තාත්තාට මේ ලෝකේ වටිනාම දේ වුණේ අපේ පුංචි පවුල. එසේ එක දිගටම මතක සැමරුම් අතර ආවර්ජනයක සිටි චමින්ද වතුර පොදක් බී නැවතත් තම සෙනෙහෙබර පියාගේ මතකයන් අතරින් මා හා කතාවට එක් වුණේය.

“මම පවුලේ වැඩිමහල් දරුවා, මට පස්සේ මල්ලි සුනන්ද, නංගි අංජනා, අපි තුන්දෙනයි අම්මයි තාත්තයි මේ අපේ ලෝකය. තාත්තා පුංචි කාලේ ඉඳන්ම අපිට ලෝකය දිහා ඇස් විවර කරලා බලන්න පුරුදු කළා. ඒ කාලේ සමහර නවකතා තරුණ ළමයින්ට කියවන්න ගෙවල්වලින් තහංචි දානවා. නමුත් තාත්තා මේ ඕනෑම දෙයක් කියවන්න අපට නිදහස දීලා තිබුණා. කිසිම දවසක අපට අණ කිරීම් කරලා නැහැ. ආදරබර කතා විලාසයක් වගේම එයා අපටත්, සමාජයටත් පරමාදර්ශී චරිතයක් වුණා.

දවසක් මට මතකයි තාත්තාගේ පොතක් එළි දක්වන වෙලාවකදී තිස්ස අබේසේකර මහත්මයා කිව්වා ‘ගීත රචනය, මාධ්‍ය කලාව අතින් ඉහළින්ම සිටින ධර්මසිරි ගමගේ, මනුෂ්‍යත්වය අතින් මේ සැමටම වඩා ඉහළින් ඉන්නවා කියලා ’.

ඒ උතුම් මනුෂ්‍යත්වය නිසාම අද එතුමගේ දරුවෝ හැටියට අපිට අපේම කියලා දෙයක් ගොඩ නගා ගන්න, වගේම දෙපයින් නැගී සිටින්න ශක්තිය ධෛර්යය ලැබුණා.

මට මතකයි අම්ම පැරලයිස් වෙලා අවුරුදු අටක්ම ලෙඩ ඇඳේ හිටියා. ඒ අවුරුදු අටම සාත්තු සප්පායම් කරලා අම්මව රැක බලා ගත්තේ තාත්තා.

මේ රටේ තරුණ තරුණියන්ට නිවැරැදි මග, යහපත් ජීවිතයක් ගොඩ නගා ගන්න තාත්තා ‘පහන් වැට’ හරහා ලොකු සේවයක් කළා.

දවසක් මගේ දියණිය රන්දි එයාගේ සීයා (ධර්මසිරි ගමගේ) ළඟට ගිහින් කවි කියනවා. ඒවා නිර්මාණය වෙන්න ඕනෑ ආකාරය සීයා එයාට කියලා දෙනවා. තාත්තා එයාගේ මුණුපුරු මිණිපිරියන්ටත් පුදුමාකාර සෙනෙහෙසක් දැක්වූවා.

තාත්තා අම්මා නැතිවෙලා අවුරුදු එකහමාරකට විතර පස්සේ එයාගේ යාළුවෝ පිරිසක් සමඟ සෝමාවතිය බලන්න ගියා. ඒ යන ගමනේදී දඹුල්ල හරියේදී එයාට පපුවේ අමාරුවක් ඇවිත් තිබුණා. අවාසනාවකට රෝහලට ඇතුළු කරන්නත් පෙර ධර්මසිරි ගමගේ කියන පරමාදර්ශී චරිතය අපි හැමෝම දාලා ශරීර කූඩුවෙන් නිදහස් වෙලා තිබුණා.

එහෙම කියූ චමින්ද තම කාමරයේ ජනේලය අසලට ගොස් හිස් අහස දෙස බලා සිටියේ, කොහේ හෝ සිට තම පවුල දෙස තම පියා බලා සිටින්නේයැයි සිතමිනි.

තාත්තා නැතිවෙලා හෙටට අවුරුදු දහයයි. ඒත් ඒ සිද්ධිය අද ඊයේ වුණා වගේ මතකයි. මම මගේම ඇඩ්වටයිසිං ආයතනයක් පටන් ගත්තා. ඒ මීට අවුරුදු හතකට විතර කලින්. ඒ මොහොතේ මට සිතුණේ ඒ වගේ දවසක මගේ තාත්තයි අම්මයි ළඟ හිටියා නම් කියන සිතිවිල්ල.

තාත්තා නැතිවෙලා මාස තුනක් ගත වුණ වෙලේ තාත්තගේ සොහොන ළඟට ගිහින් රන්දි දුව එයා ලියපු පළමු කවි පොත එයාගේ සීයගේ සොහොන් කොනට පිළිගැන්වූවා. මගේ බිරිඳ වරුණි, ඒ වගේම මගේ බිරිඳගේ මව විශාරද නන්දා මාලිනිය ඒ මොහොතේ දෑසින් කඳුළු වැගිරුවා.

එදායින් පස්සේ රන්දි දුව කවදාවත් කවි ලිව්වේ නැහැ. ඒ එයා ගොඩාක් ආදරය කළ සීයා ළඟ නැති නිසා.

අද මමත් මගේ සහෝදරයා සහ සහෝදරිය ජීවිතේ යම් ස්ථානයක සිටිනවා නම් ඒ ගෞරවය ලැබිය යුතු එකම කෙනා ධර්මසිරි ගමගේ කියන මිනිසා.

මගේ පියා අපි හැමෝටම සෙවණ දුන්න මහ වනස්පතියක්. ඒ වනස්පතිය ඇද වැටුණ දවසේ අපේ මුළු ලෝකයම පාළුවෙලා ගියා.

එතුමන් අපට ගොඩනඟා දුන්න ලෝකයේ තවමත් අපි හැල්මේ ගමන් කරනවා. ගිරිදුර්ඝ පසුකරන්, අපිව තැනිතලා බිමක තනි කරලා යායුතු දුර පෙන්නලා දීලා ඒ මහා පහන් තරුව නොපෙනී ගිහින්.

මේ මොහොතෙත් මම කල්පනා කරන්නේ මගේ පියා වුණ ධර්මසිරි ගමගේ නම් විශිෂ්ඨ මාධ්‍යවේදියා වෙනුවෙන් අප මොනාද කළ යුත්තේ කියලා?

එසේ පැවැසූ චමින්ද තම පියා සමඟ කුඩා කාලයේ ගත් කළු සුදු ඡායාරූපයක් දෙස මොහොතක් බලා සිටියේය.