වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




නිම නොකළ පාඩම

නිම නොකළ පාඩම

කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල අවසන් වී සතියකට වඩා ගෙවී ගොසිනි. අහම්බෙන් පසුගිය දවසක මගේ නෙත ගැටුණු ලිපියක තිබුණු එක් කරුණක් පමණක්, කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල නිමා වුව ද සනිටුහන් කළ යුතුව ඇත.

ඒ පසුගිය සතියේ ‘Editor’s Cut’ ලිපිය මඟින් ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයට අදහස් දැක්වීමක් කළෙමි. එහි කොළඹ සිනමා සමාජය පිළිබඳ ද මම සටහනක් තැබුවෙමි. ආසියාවේ පැරැණිම සිනමා සමාජය වූ එහි සාමාජිකයන් අතර අදටත් ජීවත්ව සිටිනුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් බව ද සඳහන් කළෙමි.

මේ ලිපිය පළ වූ දා මා මවිතයට පත් වූයේ කොළඹ සිනමා සමාජයේ ආරම්භක දිනය පිළිබඳ වූ සටහනක් අහම්බෙන් මා නෙත ගැටීමෙනි. එය ආරම්භ වී තිබුණේ 1945 සැප්තැම්බර් 3 වැනිදාය. දෛවෝපගත කරුණ නම් කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙළ මහජන ප්‍රදර්ශනය සඳහ විවෘත වී තිබුණේ කොළඹ සිනමා සමාජය ආරම්භ කර හරියටම වසර 69 ක් සපිරෙන දිනයේය. සිනමා උළෙල ගැන ලිවීම මම මෙතනින් හමාර කරමි.

සිංහල සිනමාව වඩා ප්‍රේක්ෂක ආකර්ෂණයට ද, ප්‍රේක්ෂකයන්ගේ බුද්ධි වර්ධනයට ද හේතු කාරක වූ අග්‍රගණ්‍ය රංගධරයන් දෙදෙනෙකුගේ ගුණානුස්මරණය යෙදෙන්නේ මේ මාසයටය. ඒ ප්‍රතිභාව අතින් එකිනෙකා පරයන තරගයක් තිබූ ජෝ අබේවික්‍රම හා ගාමිණී ෆොන්සේකාය.

ජෝ අබේවික්‍රමයන් සදහටම අපෙන් සමුගෙන තෙවසර පිරෙන්නේ මෙම මස 21 වැනි දිනටය. ජෝ අබේවික්‍රම යනු මෙරට සිනමාවේ ස්වකීය අනන්‍යතාව ගොඩ නඟාගත් නළුවෙකි. ඔහු සිනමාවට දායක වී ඇත්තේ නළුවෙක් වශයෙන් පමණි. එහෙත් ගීතයක් හා නවකතාවක් රචනා කරමින් ද වරෙක ගායනයෙන් ද, ටෙලි නාට්‍ය නිපදවා ද ජෝ මහත්තයා කලා ලොවට සම්මාදම්ව ඇත්තේය. පොතපතටත් වඩා ජීවන සරසවියෙන් ඔහු උකහා ගත් දේ එමටය. ඒ සියල්ල ඔහු මුදා හැරියේ විවිධ රංගාවේශ හරහාය. එසේ රැස් කර ගත් දැනුම නම් ධනය වෙනතකට බෙදී ගියේ නම් ඒ බහුතරය ඔහු සමීපව ඇසුරු කළ හිතවතුන් අතටය. මෙරට නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා සිනමාවට හඳුන්වා දීමේ වැඩි ගෞරවයක් හිමි වන්නේ ජෝ අබේවික්‍රමයන්ටය.

ජෝ මහත්තයා හා මා අතර පැවැතියේ පුවත්පත් කලාවේදියකු හා නළුවකු සමග ඇති සම්බන්ධතාවට වඩා වැඩි මිත්‍රකමකි. ජෝ මහත්තයා මුලින්ම මට හා හා පුරා කියා දැන හඳුනා ගැනීමට ලැබෙන්නේ 1989 වසෙර්ය. එවකට ජාතික රූපවාහිනිය මගින් සිනමා කලාකරුවන් පිළිබඳ ‘ශිල්පී සැඳැල්ල’ නම් වැඩසටහනක් විකාශය කෙරිණ.

එය අධ්‍යක්ෂණය කරන ලද්දේ එවකට රූපවාහිනියේ වැඩ සටහන් අධ්‍යක්ෂ ජනක මල්ලිමාරච්චිය. පිටපත රචනා කරන ලද්දේ එවකට සරසවිය කතුවර ඒ. ඩී. රංජිත් කුමාරයන්ය.

එහිදී ජෝ මහත්තයා වෙනුවෙන් කරන ලද වැඩසටහන ඔහුගේ නිවහනේ රූගත වෙද්දී මම, රංජිත් අයියාත් සමඟ එහි ගියෙමි. කතාවෙන් ද, ක්‍රියාවෙන් ද ජෝ මහත්තයා අපූරු රසවතෙකු බව මට වැටහිණ. එදා යාන්තමින් ඇති වූ දැන හැඳුනුම්කම තවත් කල් ගත වෙද්දී ඔහුගේ සතුට ද, දුක්ඛ දෝමනස්ස ද පවසන මට්ටමේ හිතවත්කමකට පෙරළී තිබිණී. වයස් පරතරය සසැඳූ කළ ජෝ මහත්තයා අපේ තාත්තාටත් වඩා අවුරුදු පහක් වැඩිමහල්ය.

ජෝ මහත්තයා උපන්නේ 1927 වසෙර්ය. ජෝ මහත්තයාගේ ජීවිත කතාව මේ රටේ එක්තරා ඉතිහාසයක් සහමුලින් ආවරණය කරන්නක් බැව් මගේ හැඟීමයි. රත්නපුර සිට හපුතලේ කන්ද දැක බඩ දන්නට යන කරත්තකරුවන්ට මුලින්ම ලෙල්ලොපිටිය පසු කරන්නට සිදුවෙයි. ඒ කාලයේ ඔවුන් කවි කියමින් යනු ඔහු අසා තිබිණ. එහෙත් වසර ගණනාවකට පසු ඊයක වේගයෙන් ඒ කඳුවැටි තරණය කරන අති සුඛෝපභෝගී මෝටර් රථ ඒ මගෙහිම ජෝ මහත්තයා සමඟම ගමන් කළේය. හද්ද පිටිසර ගම්මානවල කූඩාරම් ගසා ඉදි කරන ලද සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය ඔහු අත් වින්දේය.

ඔහු සිනමාවට දායක වන්නේ නව ජීවන චිත්‍රපට සමාගමේ එබඳු චිත්‍රපට ශාලාවක සේවයටය. පසුව මෙරට සුඛෝපභෝගි සිනමා ශාලාවල ඔහු රඟපෑ චිත්‍රපට සාර්ථකව තිරගත විය. කොටින්ම ගැල් කරත්තයේ සිට ලක්ෂරී ඉන්ටර් සිටිය දක්වා ලෝකයත්, කූඩාරම් මඩුවේ සිට මැජෙස්ටික් ශාලා දක්වා සිනමාවේත් පරිවර්තනය ජෝ මහත්තයාගේ ජීවන අන්දරයට අන්තර්ගත විය.

ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම සිනමාවට පිවිසෙන්නේ ‘දේව සුන්දරී’ චිත්‍රපටයේ විකටයෙක් හැටියටය. රඟපෑවේ එහි වුව ද එයට පළමුව තිරගත වෙන්නේ ‘සරදම්’ය. නාගේෂ්ලා, චන්ද්‍රබාබුලා අනුකරණය කරමින් කොමිට් කෑලි කරන්න යැයි උපදෙස් දෙන යුගයක තමාගේම කියා මොකක් හෝ කර රටක් හිනස්සන්නට ජෝ මහත්තයාට හැකිව තිබිණි. එමෙන්ම සමකාලීන වෙනත් විකට නළුවන්ට වඩා යමක් කළ හැකි විකට චරිත ලබා ගැනීමේ වාසනාවක් ද ජෝ මහත්තයා සතු විය.

ඒ නිසාම ‘රන් මුතු දූව’, ‘ගැටවරයෝ’, ‘අල්ලපු ගෙදර’, ‘සාරවිට’ වැනි චිත්‍රපට නිසාම ජෝ අබේවික්‍රම නාට්‍ය කවටයන්ගේන් වෙන් කර විශිෂ්ට නළුවෙකුගේ සලකුණ සනිටුහන් කළේය. අත පය ගැට ගසා දැමුව ද විශිෂ්ට නළුවකුට ඒ සීමාසහිත ඉඩකඩෙහි තම ප්‍රතිභාව ඉස්මතු කළ හැකිය.

ජෝ මහත්තයා සෙස්සන් හා සමව ලද ඉඩකඩ තම ප්‍රතිභාව මනින චරිත දිනන ලොතැරැයි බවට පත් කර ගත්තේ එසේය. එමෙන්ම ඔහු සැමවිටම තම රංගන කාර්යය සඳහා බාලයන් ඇසුරු නොකර පණ්ඩිතයන් ඇසුරු කිරීමේ මංගල කාරණාව දැන සිටියේය.

එබැවින්ම ‘සාරවිට - සාරයියා, ‘තුංමං හන්දිය’ – අබිලින්, ‘වැලිකතර’ - ගෝරිං, ‘දෑස නිසා’ – නිරුදක, ‘බඹරු ඇවිත්’ – ඇන්ටනී, ‘පුරහඳ කළුවර’ – වන්නිහාමි ඇතුළු විවිධ චරිතාංග නිරූපණයේදී ඔහු තම ජීවිත අවබෝධය හොඳින් මිරිකා යුෂ ලබා ගත්තේය. ‘මල් යහනාව’, ‘බැරිසිල්’, ‘කැලෑ මල්’ ඔහු වේදිකාවට කළ දායකත්වයයි.

‘අඳුකොළ’, ‘තුන්බිය’, ‘සකිසඳ එලියස්’ ඇතුළු ටෙලි වෘත්තාන්ත ජෝ මහත්තයා සිය හැකියාව නව මාධ්‍යයකට පෙරළු අවස්ථා විය. ඔහු සිනමාවට පිවිසෙන්නේ දකුණු ඉන්දීය සිනමාකරුවන්ගේ සෙවණැල්ලෙනි. එමෙන්ම ඔහුට ගොඩ නැඟෙන්නට ඉංග්‍රීසියෙන් කතා කර සිංහලෙන් චිත්‍රපට හැදූ දැන උගත් පරම්පරාවේ අනුබලය ලැබිණි.

චිත්‍රාගාරයේ මෙන්ම ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ ද ඔහුගේ කාලය ගෙවුණි. 70 දශකයේ බිහිවුණු කැරැලිකාර සිනමාකරුවන්ට ද ජෝ මහත්තයා නැතිවම බැරි සාධකයක් විය. ඊට පසු ටෙලිවිෂන් පරම්පරාව ජෝ මහත්තයා වැළඳ ගත්තේය. සමහර අතිශය කබල් නිර්මාණවල ද ජෝ අබේවික්‍රමයන් සිය සලකුණ තබන්නේය. එහෙත් ඉන් එම චිත්‍රපටයේ රඟපෑමෙන් පරිබාහිරව වෙනත් කටයුත්තකට අත දමන්නට ජෝ මහත්තයා අකැමැතිය. ‘උළු හෙවිල්ලන්ට ගොසින් වත්තේ මායිම් සොයන්නේ මොකටද’ ජෝ මහත්තයා අසන ප්‍රශ්නය එයයි.

නළුවකුට පමණක් නොව ඕනෑම මිනිසකුට වඩාත් අත්දැකීම් ලැබෙන්නේ ලෝකය හොඳින් ග්‍රහණය කරන විටය. එහි මිනිසුන් හැසිරෙන විධි, ඔවුන් ජීවිතයේදී විවිධ අවස්ථාවලට මුහුණදෙන ප්‍රතික්‍රියා දැන හැඳින ගැනීම ජීවත්වීමේ කලාවට එහිලා වැදගත්ය. බොහෝ දෙනෙකුට නොවැදගත් එබඳු කාරණා ජෝ මහත්තයා සිය ජීවිතයට වැදගත් ලෙස සැලකුවේය.

ඔහුගේ විශිෂ්ටතම රඟපෑම විනිවිද දකින්නෙකුට පෙනෙන්නේ ඔහු ලෝකය ස්පර්ශ කළ ආකාරයයි. එමෙන්ම ඔහු සිනමාවට පිවිසෙන අවධියේ ගැමියාව යොදා ගත්තේ උපහාසයටය. මෝඩයෙක් ලෙසය.

එහෙත් ඔහු තමා ගැමියෙක් බව නොපැකිළව කියා සිටියේය. එබැවින් කරත්තයට නැඟ කෙවිට ගෙන එය දක්කාගෙන යන්නටත්, සරුව පිත්තල ඇඳුම් ඇඳ මල් උයනක පෙම්බරියක හා ගී ගයන්නටත් ඔහුට හැකි විණි. ජෝ මහත්තයා යනු සිනමා රංගන ශිෂ්‍ය පරම්පරාවකට විශ්වවිද්‍යාලයකි.

ඔහුගේ විශ්වවිද්‍යාල දැනුම අකුරු කර ඉතුරු කරන්නට තවත් ඉඩ තිබිණි. එහෙත් ඒ සියල්ල තෙවසරකට පෙර සදහටම බොරැල්ල සුසාන භූමියේ ඉදි කළ චිතකයක දැවී ගියේය. ජෝ මහත්තයා යනු අප, ඉගෙන නිමා නොකළ වැදගත් පාඩමක පරිච්ඡේදයක් යැයි මට සිතෙන්නේ එහෙයිනි.