වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




රනිඳු සජීවී ප්‍රසංගය 20

රනිඳු සජීවී ප්‍රසංගය 20

‘අහංකාර නගරේ’ ගීතයෙන් ශ්‍රී ලාංකේය රසිකයන් අතර ජනප්‍රිය වූ රනිඳු ලංකාගේ ‘Evolution Ranidu Live in Concert ප්‍රසංගය මේ මස 20 වැනිදා පස්වරු 6.00 ට මියුසියයස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

වසර 2 කට පසු රනිඳු ලංකාගේ ශ්‍රී ලංකාවේ පවත්වන පළමු ප්‍රසංගය මෙය වන අතර එහිදී නතාෂා රත්නායක, දුෂ්‍යන්ත වීරමන්, ක්‍රිෂාන් මහේසන් ආරාධිත ශිල්පීහු ලෙස මීට සහභාගි වෙති. මේ ප්‍රසංගය ‘බයිලා ට්‍රොනික්’ නමින් ඔහු නිර්මාණය කරන ලද නවතම සංගීත ශෛලිය ලංකාවට හඳුන්වා දෙන පළමු අවස්ථාව වෙයි. ශ්‍රී ලාංකිකයන්ගේ රිද්මය දැනෙන ශ්‍රී ලාංකේය රිද්මවලට අනුව යන අපට ආවේණික ගීත ඇතුළත් වේග රිද්ම සංගීත ශෛලියක් වන මෙය ජාත්‍යන්තර සංගීතයේ ප්‍රධානතම ප්‍රසංගය වන ‘Vltra Music Festival’  ඉදිරිපත් කිරීමට ද රනිඳු සමත් විය.

ලංකාවේ R & B  හා හිප්පොප් සංගීත ශෛලිවල පුරෝගාමී සංගීතඥයෙක් වන රනිඳු ලංකාගේ ජාත්‍යන්තර සංගීතයේ ඉහළ නමක් දිනා ගැනීමට සමත් වී ඇත. අශාන්ති ඩී අල්විස් සමඟ ‘ඔබ මගෙමයි’ ගීතය එළි දක්වමින් තම සංගීත දිවිය ආරම්භ කළ හේ වයස අවුරුදු 19 දී අන්තර් ජාතික සංගීත ලේබලයක් සමඟ ගිවිසුම් අත්සන් කළ ප්‍රථම හා ළාබාලම ශ්‍රී ලාංකේය සංගීතඥයා විය. ‘සෝනි මියුසික් ඉන්දියා’ සංගීත ලේබලය යටතේ ඔහු ගීත රචනයෙන්, සංගීත සම්පාදනයෙන් හා ගායනයෙන් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායක වී ඇත. කොළඹ රාජකීය විද්‍යෘලයෙන් තම පාසල් අධ්‍යාපනය ලැබූ රනිඳු ඇමෙරිකා එක්සත් ජනපදයේ යේල් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවේය.

2014 වසරේදී ඔහුගේ පළමු සංගීත ඇල්බමය වන ‘දිවිය පුරා’ එළි දැක් වූ අතර එහි ඇතුළත් ‘අහංකාර නගරේ’ ගීතය BBC ආසියානු ගීත වැඩසටහනට එක්කිරීමට සමත් වුණු පළමු ගීතය ද වෙයි. එතැන් සිට ඔහු ඉරාජ් වීරරත්න, රංග දසනායක වැනි දේශීය සංගීතඥයන් මෙන්ම Delon , ඇන්සන් ඔෆ් ද Din Crew, Holee Smokez  වැනි ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික සංගීතඥයන් සමඟ ද එක්ව සංගීතය නිර්මාණය කළේය.


සුනිල්සෝම - වේහැල්ලට සංස්ථා ආධාර

සිනමාව කලාවක් සේම කර්මාන්තයක් ලෙස ද දියුණු තත්ත්වයකට ගෙන යාම සඳහා අපරිමිත මෙහෙයක් ඉටු කළ, මේ වන විට ජීවිතයේ සැඳැසමය ගෙවන කලාකරුවන් දෙපොළක් වන සුනිල්සෝම පීරිස් සහ තිලක් වේහැල්ල යන ශිල්පීන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් මුල්‍යමය පරිත්‍යාගයක් සිදු කෙරිණ.

මෙම කාර්යය සිදු කරන ලද්දේ ජාතික චිත්‍රපට සංස්ථාව සිනමා ක්ෂේත්‍රයේ නිරත වූ ප්‍රවීණ ශිල්පීන් උදෙසා ආරම්භ කළ සුභසාධන කටයුතු ගණනාවක එක් අංගයක් ලෙසිනි .