වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




තට්ටු හතළිහක මුදුනට ගිය සල්මන්

තට්ටු හතළිහක මුදුනට ගිය සල්මන්

වැඩිම ඉල්ලුමක් ඇති බොලිවුඩ් තනිකඩයකු උසම ගොඩනැගිල්ලක හතළිස් වැනි තට්ටුවේ එල්ලීම තරුණියන්ට මොන තරම් අසුබ පුවතක්ද? එහෙත් වාසනාවකට සල්මන් මෙසේ හතළිස් වැනි තට්ටුවේ එල්ලී තිබෙන්නේ සියදිවි නසා ගැනීමට නම් නොවෙයි. සජිඩ් නදියද්වාලාගේ ‘කික්’ සිනමාපටයේ රූගත කිරීමක් සඳහායි.

පෝලන්තයේ උසම ගොඩනැගිල්ලේ ඔහු මෙසේ එල්ලී තිබේ. එය එරට සංස්කෘතික සහ විද්‍යා මන්දිරයයි. වෙනත් ආදේශක නළුවකු යොදා නොගෙන තමන්ම දර්ශනයට පෙනී සිටිය යුතු බව සල්මන් තීරණය කළ විට, කොයි කවුරුත් පුදුමයට පත් වී ඇත.

තට්ටු ගොඩනැගිල්ලේ දර්ශනය පුරා පැය පහක් රූගත කෙරුණු අතර මුළු සිනමා කණ්ඩායමම ඔහුගේ ජවනිකාව රූගත කෙරෙන තුරු ආරක්ෂක කූඩාරම් සහිතව සිටි බව කියවේ. රූගත කිරීම අවසන් වූ පසු අවට රැස් වී සිටි ඔහුගේ රසික ප්‍රජාව තිරයේ වීරයා සැබෑම වීරයෙක් වීමේ සතුටට ඔල්වරසන් හඬ දී තිබේ.

‘කික්’ සිනමාපටය 2009 වසරේදී ඒ නමින්ම තිරගත වූ සිනමාපටයේ ප්‍රති නිර්මාණයකි. මෙහි ඔහුගේ පෙම්වතිය හෙවත් ප්‍රධාන තාරකාව ලෙස රඟන්නේ අපේ ජැකලින් ෆර්නැන්ඩස්ය.