වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ඉතිහාස කතාවක් කරන්න මාත් ආසයි

ඉතිහාස කතාවක් කරන්න මාත් ආසයි

කොස්තාපල් පුඤ්ඤසෝම සමඟ උදයකාන්ත හමු වෙමු

උදයකාන්ත වර්ණසූරිය සිනමා පුවත්පතක පාඨකයකු වන ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නොවේ. ලාංකේය චිත්‍රපට කලාවට අරුණෝදයේ හසරැලි ගෙන ආ උදය කාන්ත විවිධ ශෛලියේ චිත්‍රපට හරහා අප සිත්මත තැබූ සිහිවටන අමිලය. මෙවර උදයකාන්ත අප හමුවට පැමිණෙන්නේ කොස්තාපල් පුඤ්ඤසෝම හරහාය. මහේන්ද්‍ර පෙරේරා පුඤ්ඤසෝම කරමින් ප්‍රේක්ෂකාගාරයට අපූරු රසයක් රැගෙන පැමිණෙන උදයකාන්ත සරසවිය හමු වූ මොහොතයි මේ.

සුබ අලුත් අවුරුද්දක් වේවා උදය අයියේ. අලුත් වසරක අලුත් වෙනසක්. කොස්තාපල් ළඟ නවතිමු.

මං එදා ඉඳන්ම හැමදාම වෙහෙසුණේ වෙනස්ම වර්ගයේ නිර්මාණ කරන්න. ඒ නිර්මාණ ඒ ඒ කාලයේ ප්‍රේක්ෂකාගාරය ඉතාමත් ඉහළින් පිළිිගත්තා. සිරිපොද වැස්ස වගේ චිත්‍රපට වෙනස්ම ඉසව්වකට ප්‍රේ්ක්ෂකයා රැගෙන යාමට සමත් වුණා.

මෙවර මට උවමනා වුණේ හොඳ හාස්‍ය චිත්‍රපටයක් කරන්න. ඒක මම හිතන තරමට ලෙහෙසි පහසු කටයුත්තක් නොවන වගත් තේරුණා. රූපයෙන් මිනිස්සු හිනැස්සවීම ලේසි නැහැ. ඒක විශාල අභියෝගයක්. මේ අභියෝගය දෝත දරාගෙන තමයි කොස්තාපල් පුඤ්ඤසෝමට අත තිබ්බේ.

බුද්ධියට නිගා නොවෙන ලෙස කතා පුවතක් තුළ ප්‍රේක්ෂකයාට හාස්‍ය රසය ලබාදීම තමයි මගේ අරමුණ වුණේ. මා විසින් මට ලැබුණු අභියෝගය ජය ගත්තා කියලා හිතෙනවා.

කොස්තාපල් පුඤ්ඤසෝමට පණ දෙන්න කොපමණ කල් ගත වුණාද?

ෂූටින්වලට දවස් හතළිහක් විතර ගියා. වසරක් වගේ කාලයකදී තිරයට ගෙනෙන්නටත් හැකි වුණා. මා හිතනවා ඒක මේ වකවානුවේ මා ලැබූ ජයග්‍රහණයක් කියලා.මේ චිත්‍රපටය මි. මි. 35 පටල පටයෙන් ප්‍රක්ෂේපණය කරනු ලබන ලංකාවේ අවසන් චිත්‍රපටය විය හැකියි. ඒකත් මට වටිනවා.

සිනමා ශාලා මණ්ඩලවල අර්බුදය මේ දිනවල ප්‍රචලිත මාතෘකාවක්?

ඔව්. චිත්‍රපට හැදුවට පෙන්වන්න විදිහක් නැතිනම් ඒක වැඩක් නැහැ. වෙලා තියෙන ප්‍රශ්නය මණ්ඩලවලට කීමට නිර්මාණකරුවන්ට යට වෙන්නට සිදු වෙලා තිබෙනවා. අපේ ඉල්ලීම්වලට වඩා ඔවුන්ගේ ඉල්ලිම් බලවත්. ආධුනික නිර්මාණකරුවන්ට මේක ඉතා තදින් බලපානවා. ඒ වගේම ඔවුන්ට මේ ගැටලුවට විශාල වශයෙන් මුහුණ දෙන්නට සිදු වෙනවා. හොඳ චිත්‍රපටයක් කරලා වියදම් කරල ඒක පෙන්වන්න බැරි තත්ත්වයන්ට මුහුණ දුන් අය ඕනෑ තරම් ඉන්නවා. ඒක ඉතාම ඛේදනීය තත්ත්වයක්.

මේ තත්ත්වය යටතේ කලාත්මක චිත්‍රපටවලට විශාල අසාධාරණයක් සිදු වෙනවා. සිනමා ශාලා හා මණ්ඩලවලට ආදායම් අවශ්‍යයි. මේ නිසා කලාත්මක චිත්‍රපට ඉක්මනට ගැලවිලා යනවා.

මෙහෙම ගියොත් කලාත්මක සිනමාව අපේ රට හැරදා යයිද?

ඔව්. සිනමා මණ්ඩල කලාත්මක සිනමා කටයුතුවලට උනන්දු නැහැ. ඉස්සර පස්වන මණ්ඩලය තිබුණා. දැන් ඒකත් නැහැ. සිනමාව විනෝද මාධ්‍යයක් වගේම හැඟීම්බර අරුත්බර දේටත් ඉඩ ලබා දිය යුතුයි. කලාත්මක සිනමාව රැක ගැනීමට රජය මැදිහත් වෙලා යම් සම්මතයකට පැමිණීම මා හිතන්නේ ඉතා වැදගත් කටයුත්තක්. නිර්මාණකරුවන් විදියට රටක කලාත්මක සිනමාව රැකීමට අප හැමෝටම වගකීමක් තිබෙනවා.

දැන් යන්නේ ඉතිහාස කතා රැල්ලක්. උදයකාන්ත වර්ණසූරියත් ඉතිහාස කතාවක් කරාවිද?

ඇත්තටම ඉතිහාස කතාවක් කරන්න මමත් හරි ආසයි. ඒත් තවමත් ඒකට නිෂ්පාදකවරයෙක් හමු වුණේ නැහැ. ස්පාටකස්, ට්‍රෝයි, සෙවන් සමුරායි වගේ ඒව මගේ ජීවිතේ තදින්ම සිත්තම් වෙලා තියෙනවා. මමත් කාලයක් ඉතිහාස කතාවක් කරන්න ආසාවෙන් හිටියා. දුටුගැමුණු චරිතය මට මග හැරුණා. ඒක ජයන්ත ඉතාමත් හොඳට කළා. හොඳ නිෂ්පාදකයෙක් ආරාධනා කළොත් මමත් ඉතිහාස කතාවක් කරනවා. ඒක මේ රාමුවලින් මිදුණු එකක් කරන්න තමයි මං බලාපොරොත්තු වෙන්නේ.

ඔබ ඉතිහාස කතාවක් කරන කොට මේ රැල්ල ගිහිං තියේවි?

මෙහෙමයි. රැලිවලට චිත්‍රපට කරන්න මං තරගකරුවෙක් නෙවෙයි. නමුත් මේ රැල්ල බාල කළොත් රැල්ල නැත්තටම නැති වේවි. ඒ නිසා ඉතා හොඳ උසස් ඉතිහාස කතන්දර මේ රැල්ල පෝෂණය කරාවි. කර්මාන්තයේ ගුණාත්මක බව රැකීම අනාගතයේ සුව සිහින දැකීමට මහෝපකාරී වේවි.

දැන් ආයෙමත් කොස්තාපල් ළඟ නවතිමු. ඇයි මහේන්ද්‍ර වගේ කෙනෙක් මේ චරිතයට තෝරා ගත්තේ?

මේ පිටපත ලියද්දී රොඩ්නි, මහේන්ද්‍ර මගේ ඔළුවේ වැඩ කළා. නමුත් අවසානයේදී මහේන්ද්‍රව මේ චිත්‍රපටය සඳහා දායක කර ගන්න මං තීරණය කළා. ඒකෙදි සංසන්දනයෙන් නෙවෙයි, මහේන්ද්‍ර මේ චරිතයට සාධාරණයක් කරාවි කියලා මට හිතුණා. මේ චරිත ස්වභාවය 100% ගැළපෙන්නේ මහේන්ද්‍රට. මහේන්ද්‍ර මගේ බලාපොරොත්තුව ඉටු කළා.

දැන් හැම තැනම හාස්‍ය චිත්‍රපට. මේක ප්‍රේක්ෂකයා පිළිගනීවි කියලා ඔබට විශ්වාසද?

මෙහෙමයි. හිනා යන කතා හදන එක ලේසියි කියලා හිතලා ඒක කරනවා නම් මිනිස්සු ඒ වගේ බාල චිත්‍රපට පිළිගන්න එකක් නැහැ. නමුත් මම චිත්‍රපට හදන්නේ ප්‍රේක්ෂකාගාරය ඉලක්ක කරගෙන. ඒ නිසා හැමදාම මගේ චිත්‍රපට ප්‍රේක්ෂකාගාරය පිළිගත්තා. මා හිතනවා මෙවරත් ප්‍රේක්ෂකයන් මගේ නිර්මාණය පිළිගනීවි. ඒක මට විශ්වාසයි.

පිටපත් කීයක් දාන්න හිතාගෙන ඉන්නවාද?

පිටපත් 35 ට වඩා දාන්නේ නැහැ. මං තවම ඉන්නේ ඒ ස්ථාවරයේ. මගේ වගේම අනෙක් හැමෝගෙම චිත්‍රපටත් තිරගත විය යුතුයි. නැත්නම් මේ කර්මාන්තය කඩාගෙන වැටේවි.

උදයකාන්ත වර්ණසූරියගෙන් බොහෝ දෙනා බලාපොරොත්තු වෙන්නේ ආදර කතාවක්?

ඔව්. ඒක ඇත්ත. මැරෙන්න මොහොතකට පෙර හරි ආදර කතාවක් කරන්න ආරාධනාවක් ලැබුණොත් ඒක මං පිළිගන්නවා. මගේ ආදර කතාවලට ප්‍රේක්ෂකයන් අතර විශාල ඉල්ලුමක් තිබුණා. දැනටත් ප්‍රේක්ෂක හිතවතුන් හිතවතියන් ඒ ගැන කතා කරනවා. නිෂ්පාදකවරයෙක් ආරාධනා කළොත් ආදර කතාවකටත් මං සූදානම්.

මෙතනින් පස්සේ උදයකාන්ත අපට හමුවන්නේ කොතැනද?

කොස්තාපල් පුඤ්ඤසෝම 02 අරඹන්න අදහසක් තිබෙනවා. ඒ වගේම තවමත් අලුත් චිත්‍රපට පිටපත් කිහිපයක්ම අතේ තියෙනවා. නිෂ්පාදකවරයෙක් කතා කළොත් ඒ කටයුතු වෙනුවෙන් මං සූදානම්.