|
එළවළු රොටි බදින සුවඳ උරලා වතුර බීලා නිදා ගන්නවා
මොනවා නැති වුණත් මම ඇත්ත කතා කරන්න බය නෑ
ඩී. එස්. එකට පත්වීම හදලා දුන්න මනුස්සකම මම හැමදාමත් සිහිකරනවා
“කරමන්තයක් දාලා, සද්දෙ ඇහෙන්ඩ වළලුත් දම්මලා හතර අවුරුද්දක් වයස මට සරමක් එහෙමත් හැඩට අන්දලා, අම්මලා අප්පච්චිලා මාව මහ ජනගඟක් පිරිච්ච තැනක උසම උස මහ වේදිකාවකින් තිබ්බා. ඒත් අප්පච්චි මාව ඔසවලා ඒ මහ වේදිකාවෙන් තියෙන වාරයක් වාරයක් ගාණෙම මං ආපිට හැරිලා වේදිකාවේ කෙළවරටම දුවගෙන එනවා. ඇවිත් පඩි පේළිවලින් බැහැගෙන බැහැගෙන බිමට ඇවිදින් අම්මව බදා ගන්නවා. මං එහෙම කරන්න, කරන්න අප්පච්චි ආයෙ ආයෙමත් මාව ඔසවන් ගෙනිහින් තියන්නෙම ඒ වේදිකාවෙන්මයි. මගෙ අතට දීලා තිබුණෙ තාලම්පටක්. වේදිකාවෙදි මට කරන්න පැවරුණේ මඟුල් බෙර වාදකයකුගේ වටේ කැරකි කැරකී නටන්නයි. ඉතින් මං අම්මලෑ අප්පචිලෑ වදකිරිල්ල නිසාම මුලින් බෙර වාදකයකුගෙ වටේ තාලම්පට ගගහා එක රවුමක් කැරකිලා නටලා අම්මලා ළඟට එනවා. ඊළඟට ‘දැන් ඔන්න රවුම් දෙකක් එහෙම කරන්න ඕනැ හොඳද’ කියලා අප්පච්චි ආයෙත් මාව වේදිකාවට ඔසවලා තියනවා. ඔය විදියට මාවතගම මධ්‍ය විද්‍යාලෙ තිබිච්ච ඒ කලා උත්සවය හමාර වෙන තුරුම අප්පච්චි මාවත් නැටෙව්වා. ජීවිතේ මට තියෙන ඈතම මතකය තමයි ඒ. ඒත් එයාලට එදා දැනෙන්නැති මං කලාවට යොමු වෙයි කියලා. මගෙ සබකෝලය නැතිකරන්න එයාලා ඒ මට දුන්න අවස්ථාව මගෙ ජීවිතේට ලොකු වටිනාකමක් ගෙනාවා. මං මොන්ටිසෝරි ගියේ නෑ. ඒ වයස වෙද්දි අපි කුලියට හිටියේ කූරුණෑගල වෑ උඩ. ශරීෆ් කියලා මුදලාලි කෙනෙකුට තමයි ඒ ගේ අයිති. අපේ පවුලට දරුවන්ට ඉන්නෙත් මමයි අයියයි විරයි. අපි දෙන්නම හරියට කීකරුයි. ගෙදරින් පිටට යනවානම් අපි අම්මලා අප්පච්චිලට කියලම තමයි ගියේ. ඒත් දවසක් අපි දෙන්නත් එක්කලා අම්මලටත් නොකියම දිව්වේ යාළුවෙකුගේ ගෙදරට. කොහේ ගියත් කළුවර වැටෙන්න කලින් ගෙට ගොඩවන පුරුද්දක් අපිට තිබුණත් එදා අපි ගෙට ගොඩවැදුණේ කළුවරත් අරගෙන.
අද නම් මට ඒ දඬුවම මතක් වෙද්දි දැනෙන්නෙ සුන්දරකමක්. එදා අම්මලා කොච්චරනම් දුක්වෙන්නැතිද? එහෙම විතරක් නෙවෙයි, අපි හිටිය වෑ උඩ – යටිවිල්ල ගමේ පරිසරේ සුන්දරකම විඳගන්න මවුපියෝ ඉඩහැරියා. ඉස්කෝලෙ බාලාංශෙදි, ඉස්කෝලෙ ඇරුණු ගමන් අපි ගෙදර එන්නේ නෑ. කෙළින්ම දිව්වෙ ගමේ කන්දට. ඇති පදමට පලතුරු කඩාගෙන කන ගමන් සෙල්ලම් කර කර කන්ද පුරාම දුවපනින අපි ගෙදර යන්නේ හවසට. අපිව රොබෝවරු වගේ නොවෙන්ඩ සොබා දහමට බද්ධ වෙච්ච මිනිස්සු කරන්න වගේම ඕනෑම තැනකදී හරිදේට හරියි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් පුළුවන් විදියෙ කොන්දක් හැදුවේ මවුපියෝ තමයි. කුරුණෑගල වෑ උඩින් අපි ගියේ ඊට නොදෙවෙනි තවත් ලස්සන ගමකට. ඒ තමයි මාතලේ මහවෙල. කඳුවළල්ලකින් වටවෙච්ච එකම වෙල්යායක් තමයි මහවෙල. අපිත් ගොවිතැන් කෙරුවා. පෑල දෙපෑල තරම් මහ ලොකුවට කළ ගොවිතැන් අස්වැද්දුනේ අප්පච්චිගෙයි අපෙයි දෑත්වල හයියෙන්. යල මහ දෙකන්නෙට ඉස්කෝලෙ ඇරිච්ච ගමන් අයියයි මායි දුවන්නේ හේනට නැත්නම් කුඹුරට. අදටත් මට මොනදේ නැතිවුණත් දෑතෙ හයිය තියෙන්නේ ඒ හුරුවෙන්. ඉතින් මොනම වරදානයක් නැති වුණත් ඇත්ත කතා කරන්න මං බය නෑ. ඉස්කෝලෙ වයසෙම ඉඳිද්දි මං සංගීතය වැඩිදුර ඉගෙන ගන්න ආසා කෙරුවා. ගමේ සරසවි කලායතනේ එම්. ජී. සුගතදාස සූරීන් තමයි මට සංගීතය ඉගැන්නුවේ. මට කලාවට තිබිච්ච ආසාවයි, උනන්දුවයි හින්දම වයස අවුරුදු පහළොව වෙද්දි සංගීතය ඉගෙන ගන්න ගමන්ම ජාතික නැටුම් අවසාන විභාගයත් සමත් වෙලා හිටියා. සංගීතයෙන් භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයේ විශාරද උපාධිය දක්වාම ගමන් කරන්න මට වැඩි කාලයක් ගත වුණේ නෑ. අපේ අම්මලාටත් මං ගැන හීනයක් තිබුණා. ඒ මාව දොස්තර කෙනෙක් කරවන්න. ඒත් අද සමහර අම්මලා වගේ එදා අම්මලා දරුවන්ට එහෙම බලපෑම් කළේ නම් නෑ. හපන්කම් පෙන්වන විවිධ පැතිවලින් ඉදිරියට යන්න දරුවන්ට දිරිදෙන එක තමයි කළේ. වේදිකා නාට්‍යවලටත් මගෙ හිත ඇදුණේ ඉස්කෝලෙ ඉහළ පන්තිවල ඉඳිද්දි. ඒත් මට ලොකු නිදහසක් දුන්නු ගෙදරින්ම වේදිකා නාට්‍යවලට මං යන ගමනට නම් වැට බැඳුණා. සමහරදාට මං ඉස්කෝලෙත් නොගිහින් ගියේ කමල් බී. අලහකෝන් එහෙම පවත්වාගෙන ගිය මාතලේ ප්‍රොමිතියස් නාට්‍ය කණ්ඩායම ළඟට. ඒත් ගෙදරින් බැන්ඳ වැටකඩුලු උඩින් පැන පැන හොරෙන් හොරෙන් තමයි මට නාට්‍ය වේදිකාවට ගොඩවෙන්න වුණේ. ඔය විදියට මුලින්ම මං ප්‍රොමිතියස් නාට්‍යයට ගියේ නාට්‍යයේ පෙළ මතක්කර දෙන්නා විදියට 1990 දී විතර. ඒත් නාට්‍යය පෙන්වන්න වුණේ ඊට අවුරුදු තුනකට විතර පස්සෙදියි. ඒ වෙද්දි පෙළ මතක්කර දෙන්නා විදියට නාට්‍යයට එකතු වෙච්ච මං ප්‍රධාන නළුවාත් වෙලා හිටියා. නාට්‍යය වේදිකාගත කරන දවසේ අපේ අප්පච්චිත් ඇවිත් හිටියා. ඒක දැකලා අප්පච්චිට ගොඩක්ම සතුටුයි. දොස්තර කෙනෙක් නෙවෙයි පුතාට කලාකරුවෙක් වෙන්නයි උරුම කියලා එදා අප්පච්චි හිතාගන්නැති. ඒ නාට්‍යයට මුළු සේසතම විතරක් නෙවෙයි ජීවිතයත් කැපකළ කලාකරුවන් අතර මංගල වන්සේකර ගේ නමත් මතක් නොකරම බැහැ. ගෙදරින් වෙදිකාවට බැන්ද වැට කඩුලු ටික, ටික ලිහෙද්දි මට සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලට පණ දෙන්නත් පින පෑදුණා. ඒ කාලෙදි දවස් තුන හතර මං ගෙදර එන්නේ නෑ. ජංගම දුරකථනත් නොතිබ්බ මේ කාලෙදි කිසිම පණිවුඩයක් නොදීම දුර බැහැරට වෙලා නාට්‍ය රඟපෑව මාව අම්මලා අප්පච්චිලා විශ්වාස කෙරුවා. වැරදි වැඩවලට මං යොමු වෙන්නේ නැහැයි කියන හැඟීම එයාලා ළඟ තිබුණා. මං කිංග්ස්වුඩ් විද්‍යාලෙ ඉගෙන ගනිද්දි අපේ ගුරුවරියක් වෙච්ච අමිතා රබ්බිඩිගල මැඩම් මාව ටෙලි නාට්‍ය පාඨමාලාවකට යැව්වේ නාලන් මෙන්ඩිස් ළඟට. ඒ වෙද්දි උසස් පෙළටත් කලා විෂය කරලා තමයි මං හිටියේ. දෙදහස් ගණනක් ඉල්ලුම්පත්‍රවලින් අන්තිමට තේරිච්ච පහළොස්දෙනා අතර මමත් හිටියා. ‘නෑදෑයෝ’ ටෙලි නාට්‍යයේදී මට ජගත් බෙනරගම ගෙ යාළුවෙක් විදියට නදීකගෙ පුංචි චරිතය ලැබුණෙ එතැනදියි. සමහරදාට මාතලේ ඉඳන් මට ෂූටින්වලට එන්න වුණේ කොළඹට. කොළඹ ඇවිදින් පොඩි සීන් එකකට ඉඳලා ආයෙමත් මං මාතලේ යනවා. වේදිකා නාට්‍යවල වැඩ ඉවරවුනාමත් සමහරදාට මං එහෙම කොළඹින් පිටවුනේ රෑ එකොළහට විතර. එහෙම හුඟක් දවසට පාන්දර දෙක වෙද්දි මං නුවර. ඒත් නුවරින් මාතලේට බස් පටන් ගන්නේ හතරයි හතළිස් පහට. ඉතින් ඒ වෙනකල් මං මගේ ගමන් මල්ලෙම ගෙනියන බේඩ් ෂීට් එක එළාගෙන බෑග් එකත් ඔළුවට තියාගෙන නිදා ගත්තෙ නුවර ටවුමේ මහ ඔරලෝසු කණුව යට. හුඟක් දවසට නුවරට යද්දි අතේ මිටේ සල්ලිත් නෑ. ඒත් බඩගින්නෙ නිදා ගනිද්දි මට ඒ ළඟ නයිට් කඩේ එළවළු රොටි බදින සුවඳ එනවා. එහෙම වෙලාවට මං නැගිටලා ඒ පැත්ත බලනවා. නැහැයට දැනෙන සුවඳ විඳලා වතුර උගුරක් දෙකක් බීලා ආපිට අනෙක් පැත්ත හැරිලා නිදා ගන්නවා. දිනපතාම මං මේ දින චර්යාවම ගතකළ කාලයක් තිබ්බා. සමහරදාට මාව සිංහ රෙජිමේන්තුව ළඟ රෝඩ් බ්ලොක් එක ළඟින් ගම පැත්තට යන වාහනයකට නග්ගවලා යවනා හමුදා නිලධාරිනුත් හිටියා. මේ අතරම තමයි මට රජයේ ගුරු පත්වීමක් ලැබුණේ. ඒත් මං නාට්‍ය වැඩවලට ගිහින් මාතලේ ගෙදරට එද්දිත් උදේ හත විතර වෙනවා. ඇවිදින් දනිපනියෙ ලක ලෑස්ති වෙලා ඉස්කෝලෙ යනවා. ඔය චක්කරේට අහුවෙච්ච නිසා අන්තිමට ඉතුරු වුණේ කෘශ වෙච්ච ශරීරයක් උරුම වෙච්ච සනත් විමලසිරි කෙනෙක්. අප්පච්චිට මගෙ ඒ වැහැරීම බලා ඉන්නම බැරිතැන එයා ගිහින් හමුවුණේ අධ්‍යාපන ඇමතිව හිටිය රිචඩ් පතිරණ මහත්තයව. එතුමා පුළුවන් නම් පුළුවන් කියන බැරි නම් බෑ කියන කෙළින් වැඩ කළ කෙනෙක්. ඇමතිතුමා මා ගැන හොයා බලලා මගේ කලා වැඩවලටත්, ගුරු ජීවිතයටත් දක්වන සැලකිල්ලක් විදියට මට කොළඹ ඩී. එස්. විද්‍යාලෙට පත්වීම හදා දුන්නු මනුස්සකම මං හැමදාමත් සිහිකරනවා”
|