|
රූපා ඉන්දුමතීට යුරෝපයෙන් සම්මානයක්
ඔබට ලැබුණු සම්මානය ගැන මොකද හිතෙන්නේ? මට මේ ලැබුණු සම්මානය මගේ ජීවිතේ අමතක නොවන මතකයක්. මේ ප්‍රසංගය සංවිධානය කළේ ප්‍රංශ ශ්‍රී ලංකා කාන්තා සංගමයේ අවමංගල්‍යාධාර ඒකකයෙන්. එම සංගමයේ සභාපතිනිය රේණුකා පෙරේරා මහත්මිය ඇතුළු පිරිස තමයි මේකට මූලිකත්වය අරගෙන කටයුතු කළේ.
ඔබේ ඒක පුද්ගල ගී ප්‍රසංගය සහ ප්‍රංශ සංචාරය පිළිබඳ පැවසුවහොත්? මා විසින් ගායනා කළ ගීත 15 ක් ඇතුළත් සී. ඩී. පටයක් සහ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය කරලා තිබුණා. ඒ වගේම කියන්න ඕනෑ මා ගැන සියළු විස්තර සොයා මේ සඳහා නිර්දේශ කරලා සම්බන්ධීකරණය කළේ ලක්ෂ්මන් හේවාවිතාරණ. මම දැන් අවුරුදු 66 ක ගායිකාවක්. නමුත් ලංකාවෙන් මට සම්මානයක් ලැබුණේ නැහැ. ඒත් ජීවිතේ පළමු වතාවට යුරෝපා රටකින් සම්මානයක් ලැබීම ගැන මට තියෙන්නේ පුදුමුකාර සතුටක්.
ඔබට ස්තුති කළ යුතු බොහෝ දෙනා ඇති? ඔව්. ශ්‍රී ලංකා කාන්තා සංගමයේ අවමංගල්‍යාධාර එකකයේ රේණුකා පෙරේරා ඇතුළු සියළු කාර්ය මණ්ඩලයට, ලක්ෂ්මන් හේවාවිතාරණ ගායන ශිල්පියාට. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිතුමා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි වීමට නියමිතව තිබුණා. නමුත් කරුණාරත්න හඟවත්ත මහතාට සහභාගිවීමට නොහැකිව ඒ වෙනුවට කිසා ගෝතමී මහත්මිය සහභාගි වුණා. ඇයටත් ප්‍රංශයේ ජීවත්වන සියළුම ශ්‍රී ලාංකිකයින්ටත් මගේ ප්‍රණාමය පුද කරනවා. ගායිකාවක ලෙස ගමන් ඇරැඹූ රූපා ඉන්දුමතී ශිල්පිනියගේ කලා දිවියට වසර පනහක් සපිරෙන මොහොතේ තවමත් ඇය චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙසින් ද, වේදිකා නාට්‍ය ශිල්පිනියක් වශයෙන් සහ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් වශයෙන් අදටත් සහභාගි වෙනවා. විශිෂ්ඨ ශ්‍රේණියේ ගායිකාවක් වන ඇය ලද සම්මානයට සරසවිය පුවත්පතෙන් සුබපැතුම්.
|