|
||||||||||||||
මහා කවි ශේක්ස්පියර්ගේ 450 වැනි උපන් දිනය සෙනසුරාදා
ශේක්ස්පියර් නාට්‍ය ඇසුරෙන් තැනුණු ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් ගැන සොයා බලමු ‘කවුද රජා’ තැනුණේත් ශේක්ස්පියර් කතාවකින්?
කවියෙක්, නාට්‍ය රචකයෙක් ලෙස ලොව පුරා ප්‍රචලිත විලියම් ශේක්ස්පියර් ඉංග්‍රිසි සාහිත්‍යයේ විශිෂ්ඨතම රචකයා ලෙස ද සැළකෙයි. 1564 අප්‍රේල් 26 වැනිදා එංගලන්තයේදී උපත ලද මේ මහා කවියා සිය ජීවිත කාලය පුරා සාහිත්‍ය ලොවට ඉදිරිපත් කළ නිර්මාණ බොහෝය. විලියම් ශේක්ස්පියර් නිර්මාණය කළ නාට්‍ය සංඛ්‍යාව 37 පමණක් වුණත් ඔහුගේ එම නිර්මාණ ඇසුරින් සිනමාවට නැඟුණු සිනමා නිර්මාණ හා රූපවාහිනි කතා මාලා හාරසියයකටත් අධික සංඛ්‍යාවක් වේ. ඒ අනුව ඉංග්‍රීසි සාහිත්‍යයේ විශිෂ්ටතම රචකයා මෙන්ම ලොව වැඩිම චිත්‍රපට ගණනාවකට පදනම් වූ නිර්මාණ රචනා කළ ලේඛකයා වන්නේ ද ඔහුයි. මේ මහා නිර්මාණකරුවා කළ නිර්මාණ අතර හාස්‍ය, ඛේදාන්ත හා ඉතිහාස කතා පදනම් කර ගනිමින් චිත්‍රපට එදා මෙන්ම අදත් නිර්මාණය වෙමින් පවතී.
ෆ‍්‍රැන්කෝ සෙෆ්රිලි අධ්‍යක්ෂණය කළ ‘ද ටේමින්ග් ඔෆ් ද ශෲ’ චිත්‍රපටය ද ශේක්ස්පියර්ගේ එම නමින්ම වු නාට්‍ය ඇසුරින් නිර්මාණය වූවකි. එළිසබෙත් ටේලර්, රිචඩ් බර්ටන් ප්‍රධාන චරිත නිරූපිත මෙම චිත්‍රපටය තිරගත වූයේ 1967 වසරේදීයි. සෙල්වරත්නම් අධ්‍යක්ෂණය කළ ‘කවුද රජා’ චිත්‍රපටයට පදනම් වී ඇත්තේ ද ශේක්ස්පියර්ගේ නාට්‍ය නිර්මාණයේ කතා පුවතයි. විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය අතර ඉතාමත් ජනප්‍රිය වූ හැම්ලට් නාට්‍ය ඇසුරින් කෙනීත් බ‍්‍රැනා අධ්‍යක්ෂණය කළ හැම්ලට් චිත්‍රපටය තිරගත වූයේ 1996 වසරේදීය. කෙනීත් බ‍්‍රැනා ශේක්ස්පියර්ගේ නාට්‍ය ඇසුරින් චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළ අධ්‍යක්ෂවරයෙකි. ‘ඈස් යූ ලයික් ඉට්’ චිත්‍රපටය ද එවැනි චිත්‍රපටයකි. ඊට අමතරව ඔහු ශේක්ස්පියර්ගේ නිර්මාණයක් ඇසුරින් කළ චිත්‍රපටයක් වන්නේ ‘මච් ඇඩෝ අබවුට් නතින්ග්’ චිත්‍රපටයයි. ජෝස් වෙඩොන් මේ නමින්ම තවත් චිත්‍රපටයක් 2012 වසරේදී අධ්‍යක්ෂණය කළේය. විලියම් ශේක්ස්පියර්ගේ ‘ද මර්චන්ට් ඔෆ් වෙනිස්’ නාට්‍ය ඇසුරින් නිර්මාණය වූ ද මර්චන්ට් ඔෆ් වෙනිස් චිත්‍රපටය තිරගත වූයේ 2004 වසරේදීය. මයිකල් රැඩොල්ෆ් එය අධ්‍යක්ෂණය කළේය. ශේක්ස්පියර්ගේ නාට්‍ය නිර්මාණ අතර ප්‍රකට මැක්බත් වේදිකා නාට්‍යය ඇසුරින්ද චිත්‍රපට රැසක් සිනමාවට නැඟුණි. ඒ අතර පළමු ස්ථානය හිමි වන්නේ රොමාන් පොලන්ස්ති අධ්‍යක්ෂණය කළ මැක්බත් චිත්‍රපටයටය. එය තිරගත වූයේ 1971 වසරේදීය. ජොෆ්රි රයිට් අධ්‍යක්ෂණය කළ මැක්බත් චිත්‍රපටය 2006 වසරේදී තිරගත කෙරිණි. ජපානයේ අකිර කුරොසවා ද ත්‍රෝන් ඔෆ් බ්ලඩ් නිර්මාණය කළේ ද මැක්බත් ඇසුරිනි. රැල්ෆ් ෆයිනෙස් අධ්‍යක්ෂණය කළ කොරියොලානස් චිත්‍රපටයට පදනම් වන්නේ ද ශේක්ස්පියර්ගේ කොරියොලානස් නාට්‍ය නිර්මාණයයි. රැල්ෆ් ෆයිනෙස් සමඟින් ජෙරාඩ් බට්ලස්, වැනේසා රෙඩ්ග්‍රේට් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. රංගන ශිල්පියෙකු වටා ගෙතුණු කතා පුවතක් ගෙන එන ‘අ ඩබල් ලයිෆ්’ චිත්‍රපටයට පාදක වී ඇත්තේ ද ශේක්ස්පියර්ගේ ඔතෙලෝ නාට්‍යයි. මෙම චිත්‍රපටය තිරගත වූයේ 1947 වසරේදීය. රොබට් වයිස් සහ ජෙරම් රොබින්ස් අධ්‍යක්ෂණය කළ ‘වෙස්ට් සයිඩ් ස්ටෝරි’ චිත්‍රපටයට පාදක වන්නේ ද රෝමියෝ ජුලියට් කතා පුවතයි. 1961 වසරේ තිරගත වූ එය එම වසරේ ඉහළම ආදායම් ලද චිත්‍රපට අතර දෙවැනි ස්ථානයට හිමිකම් කීවේය. නටාලි වුඩ්, රිචඩ් බේමර්, රීටා මොරෙනෝ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වූහ. 2006 වසරේදී තිරගත වූ ආදරය මෙන්ම හාස්‍ය ද රැගත් චිත්‍රපටයක් වන ‘ෂි ඊස් ද මෑන්’ චිත්‍රපටය පදනම් කරගෙන තිබෙන්නේ ශේක්ස්පියර්ගේ ‘ටුවෙල්ත් නයිට්’ නාට්‍ය නිර්මාණයයි. 1956 වසරේ තිරගත වූ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන ‘ෆේරාබිඩ්න් ප්ලැනට්’ චිත්‍රපටයේ චරිතවලට ද පාදකව ඇත්තේ ශේක්ස්පියර්ගේ ‘ද ටෙම්පෙස්ට්’ නාට්‍යයි. ෆේරාබිඩ්න් ප්ලැනට් අධ්‍යක්ෂණය ෆේරඩ් එමි විල්කොක්ස් විසිනි. අකිර කුරසෝවා අධ්‍යක්ෂණය කළ ජපන් චිත්‍රපටයක් වන ‘රන්’ චිත්‍රපටයට පදනම් වී ඇත්තේ ද විලියම් ශේක්ස්පියර්ගේ ශෝකාන්ත නාට්‍යයක් වන ‘කිනිග් ලියර්’ නාට්‍යයි. 1985 වසරේදී තිරගත වූ මෙය කුරසෝවාගේ අවසන් වීර කාව්‍ය ද වේ. විවිධ සංගීත ශෛලීන්ගෙන් රසවත් වූ ‘ඕ’ චිත්‍රපටයට පාදකව ඇත්තේ ද ශේක්ස්පියර්ගේ ඔතෙලෝ නාට්‍යයයි. එමෙන්ම සංගීතමය පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන ‘ද ලයන් කිංග්’ චිත්‍රපටයට පදනම් වන්නේ ද හැම්ලට් නාට්‍යයයි. විලියම් ශෙක්ස්පියර් නම් වූ මේ මහා නිර්මාණකරුවාගේ නිර්මාණ ඇසුරින් අද දක්වා බිහි වූ සිනමා නිර්මාණ සංඛ්‍යාව ඉතා විශාලය. එදාට මෙන්ම අදටත්, හෙටටත් ගැළපෙන අයුරින් වූ ඔහුගේ අගනා නිර්මාණ තුළින් අනාගතයේදී ද තවත් බොහෝ නිර්මාණ බිහිවනු ඇත.
|
||||||||||||||