වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




දුරින් ඉඳන් මේ වේදනා දෙන්නෙපා ඉන්න ළං වෙලා

දුරින් ඉඳන් මේ වේදනා දෙන්නෙපා ඉන්න ළං වෙලා

ඉමාෂා ගේ අලුත්ම ගීතය ගැන කතාව

එන්න මේ සංවේදී කතාව අහන්න

දෑස නොපෙනෙන කොකිලාව ගේ අලුත්ම ගමන

ඉමාෂා මුතුකුමාරි මා දෙස පෑ මදහස මට අද මෙන් මතකය. එක් අතකින් සැමියා ගේ අත අල්ලාගෙන ඔහුගේ සෙනෙහසට මැදිවී පැමිණි ඇගේ අනෙක් අතෙහි වූයේ සුදු සැරයටියකි. සෙමෙන් සෙමෙන් මා අසලට පැමිණි ඈ මා සුරත මත ඇගේ සුරත රැඳවූ අයුරු හදවතෙහි කොණක තැන්පත් වූයේ කිසිදිනෙක නොමැකෙන විලසිනි. ඒ නොමැකෙන මතක සටහනත් සමඟම මා අත වූයේ ඈ ගැයූ ගීතය රැගත් සංයුක්ත තැටියයි. ඒ ගීතය අසන්නට මගේ සිතේ ඉපැදුණේ මහත් ආසාවකි. මගේ සිත වටහා ගත් බැවින්දෝ ඉමාෂා අනාරාධනාවම ගීතය ගයන්නට වූයෙන් ඇගේ මියුරු ස්වරය ඒ මුළු අවකාශයේම ගලා ගියේ සැනෙකිනි.

නුඹ හිතනවා ඇති වැරැදි නෑ කියා මං
හිත කියනවා ඇතී ආදරේ කියා තවත්
මුවින් කියූ ඒ චෝදනා
හදවතින්ම නොවූ නිසා
දුරින් ඉඳන් මේ වේදනා
දෙන්නෙපා ඉන්න ළංවෙලා

නුඹේ උණුහුමේ දැවටිලා
ආදරේ දුන්නේ එදා
නෙතු පියෙන තුරා
ඉන්නමයි ඒ ළං වෙලා
මේ හිත පුරා - මට ළංවෙලා
ජීවිතේ දුන් ඔයා
රිදවා තියා රවටලා
යන්න හිතුවේ නෑ මෙමා

මගෙ ආදරේ තරම් සදා
දන්නවා රත්තරං ඔයා
මුසාවකින් රැවටිලා
දෙන්නෙපා තව වේදනා
මේ හිතපුරා - මගෙ ආදරේ
සත්තකයි - ඔබටයි ප්‍රියේ
හුස්මක් පුරා - මේ ළැමතුරේ
නුඹ ගැනයි ලියැවී තිබුණේ

 

‘කා ගැනද මේ ගයන්නේ’?

‘සඳක් වෙන්න’ ගීතයෙන් මීට වසර දෙකකට පෙර අසන්නන්ගේ හදවත් බැඳගත් මේ සොඳුරු කෙවිළියගෙන් මම විමසීමි. ඇගේ උවනේ සටහන් වූයේ සොඳුරු සිනහවකි.

‘ගීතය අහන හැමෝම හිතාගෙන ඉන්නේ මේ ගීතය මගේ ජීවිතයට බොහොම සම්බන්ධයි කියලා. ඒත් එහෙම නොවුණත් මේ ගීතය පිටුපස්සෙ තිබෙන්නේ අපූරු කතාවක්. හදිසියේම දවසක් අපට දුරකථන ඇමතුමක් ආවා. ඉමාෂා අක්කේ මම ඔයා වෙනුවෙන් ගීතයක් ලිව්වා. ඒ විතරක් නෙවෙයි ඒකට සංගීතයත් නිර්මාණය කළා. අපට ඔයාගේ හඬ දෙන්න කැමැතිද කියලත් ඒ කතා කළ කෙනා ඇහුවා. අපිට හිතලා බලලා පිළිතුරක් දෙන්න කියලත් ඔහු මට කිව්වා. මේ වෙනකොට මගේ පළමු ගීතය ජනපි‍්‍රය වෙලා වසර දෙකක පමණ කාලයක් ගතවුණා. ආයෙත් ගීත කිහිපයක් කළ යුතුයි කියන මතයෙහි මමයි මගේ මහත්තයයි හිටියේ. මේ ගීතයට ලැබුණු ආරාධනාව ඒකට අපූරු උදව්වක් වුණා. ඒ නිසා අපි ඔහුගේ යෝජනාවට එකඟත්වය පළ කළා. ඒ විදියටයි ‘දුරින් ඉඳන්’ කියන මේ ගීතයට මගේ හඬ මුසු කරන්නේ’

ගීතය ගැයීම නිසා හදවත උපන් සතුට ඇගේ ස්වරයෙහිත්, උවනෙහිත් වේ යැයි මට සිතුණේ ඉබේමය.

‘මේ ගීතය දැන් ගොඩක් ජනපි‍්‍රයයි’ ත්‍රිෂාන් බදුගේ ලියා, සංගීතය නිර්මාණය කරපු මේ ගීතයේ තිබෙන්නේ සංවේදී තනුවක්. ගීතයේ පදවලට වගේම තනුවේ තිබෙන මේ සංවේදී බවට බොහෝ දෙනෙක් කැමැතියි.

ලක්හඬ ගුවන් විදුලිය, ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපනාහිනිය වගේම සිරස, සී. එස්. එන්., ස්වර්ණවාහිනී, චැනල් සී කියන රූපවාහිනිවලත් ගීතය ප්‍රචාරය වෙනවා. අන්තර්ජාලයටත් මුදාහැරියා. ඒ ඔස්සේ ගීතය අහලා බොහෝ දෙනෙක් මට කතා කළා. ඒ ලැබුණු ප්‍රතිචාරවලින් අපි තවත් දිරිමත් වෙනවා. ගීතය අහලා කතා කළ හැමෝටමත්, ගීතය ප්‍රචාරය කරන්න උදව් කළ හැමෝටමත් මම ස්තූති කරනවා.

සිය සිතැඟි වූ පැතුම ඉටුකර ගැනීමට උදව් උපකාර කළ සියල්ලන්ටම ඉමාෂා තුති පුද කළාය.

ඔබගේ ගීතයටත් රූප රචනාවක් කරලා. ඒක කොහොමද කළේ ?

අද බොහෝදෙනා ගීතයක් රස විඳින්නට, මෙන්ම රූප රචනාවක් නරඹන්නටද ඇත්තේ දැඩි කැමැත්තකි. ඒ පිළිබඳ මම ඇයට සිහිපත් කළෙමි.

‘රූප රචනාවකට විශාල මුදලක් වැයවෙනවා. ඒත් අපි ත්‍රිෂාන් මල්ලිට මේ ගැන කිව්වා. අපිත් යම් මුදලක් දෙන්නම් රූප රචනයක් කරමු කියලා. ඒ මුදල හොඳටම ප්‍රමාණවත් නැති නිසා ඉතිරි ටික ඒ අය බලා ගන්නම් කිව්වා. ‘දුරින් ඉඳන්’ ගීතයට රූප රචනාවක් කරන්න භාර දුන්නේ අජන්ත ඒකනායක මල්ලිටයි. ඔහු ඒ වැඩේ අපූරුවට කරලා තිබුණා. ඒ රූප රචනාවට අපේ රසිකයන් බොහොම දෙනෙක් කැමති වග අපට දැනුණා.’

ඇගේ උවනින් නැගෙන කැල්ම විහිදුනේ සදීප් අසලටයි. ඉමාෂා පවසන බොහොදේ සාවධානව අසා සිටිමින් ඊට අලගු තබන ඔහු ඉමාෂාගේ දයාබර සැමියාය. ඉමාෂාගේ හදවත ඉපැදුණු සිතුවිලි සිහිනයක් වීමට ඉඩ නොදුන් ඔහු ඇයගේ ජීවිතයට අපූරු අත්වැලකි.

‘මම අද මෙතන ඉන්නෙ ඇත්තෙන්ම මගේ සැමියා නිසයි. ඔහු තමයි මේ හැම දෙයකදිම සෙවණැල්ල වගේ මගේ පිටුපස ඉන්නේ. මගේ ගී ගැයීමේ සිහිනය ඉටුකරන්නට ඔහු බොහොම වෙහෙස මහන්සි වුණා. මේ වෙනකොට සංගීත සංදර්ශන බොහොමයකට අපි සහභාගි වෙලා තියෙනවා. ඉදිරියේදිත් සහභාගි වෙන්නට අපට ආරාධනා කිහිපයකුත් ලැබණා. ඒ සියලු කටයුතු හොයලා බලලා කරන්නේ සදීප් තමයි.’

සදීප් සිය බිරියට කොතරම් ආදරය කළේද යත් ‘සඳක් වෙන්න’ ගීතය ගයන්නටත්, එයට රූප රචනා කරන්නටත් බොහෝ වෙහෙස වූයේ රෑ නිදි වරමිනි. එකල සිය ජීවිතය සරිකර ගත් පොත් වෙළෙඳාම ඔහු කළේ ගෙන් ගෙට ගොස් විකුණමිණි. ඊට ඔහු ළඟ තිබූ උපරිම ධෛර්යය යෙදූ සදීප් ඒ ඔස්සේ උපයාගත් මුදලෙන් සිය ආදරණීය බිරියගේ සිහිනය සැබෑවක් කළේය.

තවමත් ඔබගේ රැකියාව පොත් විකුණන එකද?

මා විමසුවේ සදීප් ගෙනි.

‘ඔව්, මම තවමත් පොත් විකුණනවා. මේ වෙනකොට මගෙන් පොත් ගන්න ගොඩක් අය ඉන්නවා. ඒ අය කියන පොතපත ගෙනැවිත් දෙන්නත් මම බැඳී ඉන්නවා.

ඔහු අසලට දුවගෙන පැමිණි පස් වියැති දරුවෙකි.

‘මේ අපේ පුතා අචින්ත මිගාර. මෙයා ඉන්නේ එක වසරේ’

දෙනෙත අඳ වුවද ඔවුන්ගේ අනාගත බලාපොරෝතුව වූ සිය සිඟිති පුතු අපට හඳුන්වා දුන් හේ ඔහුව තුරුලුකර ගත්තේ අපරිමිත සෙනෙහසිනි. සිඟිති අචින්ත පුතු සිය පියාගේ සෙනෙහසට තුරුලු වූයේ අපදෙස විමසිලිමත් බැල්මක් හෙලමිනි.

ගීත ඇතුළත් සංගත තැටියක් කරන්න අදහසක් නැද්ද?

නිහඬව ගෙවුණු තත්පර කිහිපය අතර මගෙන් අලුත් පැනයකි.

‘මේ වෙනකොට ගීත කිහිපයක්ම ගයලා තිබෙන නිසා අලුත් ගීත කිහිපයකුත් එක්ක සී ඩී එකක් කරන්න ඕනෙ කියන අදහසේ අපි ඉන්නවා. ඒක ටිකක් මුදල් වැයවන වැඩක්. ඒක නිසා මුදල් ටිකක් හොයාගෙනම අපි ඒ කටයුත්ත ගැන බලනවා. අවසාන වශයෙන් මෙතෙක් අපට සෑම අවස්ථාවකම උදව් කළ හැමෝටම ස්තූතිය පළ කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.

ඉමාෂා හා සදීප් ගේ උවන ඒ අනාගත බලාපොරොත්තුවෙන් පිරී ඉතිරී ගොසිනි. ඉහළගම, මා බෝදල, වේයන්ගොඩ ප්‍රදේශයේ වෙසෙන මේ යුවළ දෙනෙත් පෙනෙන අපට පවසන්නේ අපූරු ආදර්ශයක් නොවේදැයි මට සිතිණි. ඔබටත් ඔවුන්ට උදව් කළ හැකි නම් 077-0645932 / 071-3475464 යන අංකයට ඇමතිය හැකිය. නැතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනය ඔවුන් පිළිබඳ ඔබට තවත් බොහෝ තොරතුරු සපයනු ඇත. මේ අතර සිය එකම පුතු තුරුලු කරගත් ඔවුන් ගේ සිනහා හඬ මුළු පරිසරය පුරා විසිර ගියේ සොඳුරු හැඟුමන් අපගේ සිතෙහි ජනිත කරමිනි. අපි ඒ සොඳුරු යුවළට සමු දුනිමු.