වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ප්ලේන් එක වැටෙයිද? බර්ටි දෙගිඩියාවෙන්

ප්ලේන් එක වැටෙයිද? බර්ටි දෙගිඩියාවෙන්

ශ්‍රී ලංකාවට වඩා හාත්පසින්ම වෙනස් සංස්කෘතියක්, ආර්ථිකයක් හිමි මැද පෙරදිග රටවල් වූ ඕමාන්, අබුඩාබි, ඩුබායි රටවල වෙසෙන අපේ රසිකයන්ගෙන් මටත්, ඇනස්ලිටත්, සැමුවෙල්ටත් විශේෂ ආරාධනයක් ලැබුණා ඒ රටවලට ඇවිත් විමෝද සමය රඟදක්වන්න කියලා. කොහොම හරි මේ ආරාධනය ලැබෙන වකවානුවේ මැද පෙරදිගට සීත සෘතුව උදා වෙලා තිබුණු කාලයක්. කාලගුණය කෙසේ වෙතත් අපිට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නත් බැහැ.

මේ සිද්ධිය සිද්ධිය වුණේ මීට දශක හතරකට කලින්. මේ ආරාධනය ඇනස්ලිට, සැමුවෙල්ට කෙසේ වෙතත් මට සුවිශේෂ අපූරු අත්දැකීම්වලින් පිරි සුන්දර ගමනක් වුණා. අහස් යාත්‍රා අහසේ යනවා දැක තිබුණත්, එයට පෙර කවදාවත් අහස් යාත්‍රාවකින් ගමනක් ගිහින් නොතිබුණ මට මේක වෙනස්ම අත්දැකීමක් වුණා. මගේ මුල්ම ගුවන් ගමන විදියට ජීවිතයේ සුන්දර මතකයක් එක්කළ මේ ගුවන් ගමන ගැන මතක් වෙන කොටත් මටම හිනා.

ඔන්න ඉතිං අපි තුන් කට්ටුව කටුනායක ගුවන් තොටුපලින් ඩුබායි බලා යන ජම්බෝ ජෙට් වර්ගයේ ගුවන් යානයකට ගොඩ වුණා. අහසින් යනවා තියා ගුවන් යානයක් ඇතුළට ගිය මුල්ම වතාව ඒක. මැද පෙරදිග යන ගෘහ සේවිකාවන් නොයෙක් වැඩ සඳහා යන ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් ප්ලේන් එක ඇතුළේ හිටියා. අපි තුන් දෙනාට වාඩි වෙන්න ලැබුණේ තුන් දෙනාට නොපෙනෙන තැන්වල. ඉතිං කවුරුවත් හිතවතෙක් ළඟ නැති නිසාත්, මගේ මුල්ම ගුවන් ගමන නිසාත් මට හිතට ටිකක් බයක් ඇති වෙන්න පටන් ගත්තා. දැන් ඉතිං ගුවන් යානය පිටත් වෙන්න සූදානම් වුණා. බඳ පටි තද කර ගන්න කිව්වා. කොහෙද ඉතිං මට ඕව ගැන තේරුමක් තියෙන එකක්යැ.

හෙමින් සැරේ අල්ලපු සිට් එකේ ඉන්න එක්කෙනා දිහා බලාගෙන එයා කරන විදියට මමත් කළා. යන්තම් පටියට ඇඟ හිර වුණා. දැන් මගේ හිතට පොඩි චකිතයක් එන්න ගත්තා. සැමුවෙල්, ඇනස්ලි පේන්නත් නැහැ. එහෙම හිටිය නම් මොනව හරි කිය කිය මේ බය අඩුකර ගන්න තිබුණා. ඔන්න ඉතිං ජම්බෝ ජෙට් එක බිම දිගේ වේගයෙන් ඇදිල ගිහින් එක පාරට උඩට ඉස්සුවා. දැන් ඉතිං මට ප්ලේන් එක ඇතුළේ සීතලේ දාඩිය දාන්න වගේ පපුව ඩිග් ඩිග් ගානවා. මං ඉතිං ජනෙල් කවුලුවෙන් පිටත බලනවා. ටිකෙන් ටික බිම පේන්නේ නැතුව යනවා. ඔහොම ටික වෙලාවක් යන කොට අහසේ වලාකුළු අතරින් යන කොට ගොඩබිම කොහෙත්ම පෙන්නේ නැතුව ගියා.

ඒ පාර මගේ යටි හිතේ තිබුණ චකිතය දැන් දෙගුණ තෙගුණ වෙන්න පටන් ගත්තා. දෙවියන් බුදුන් සිහි වෙන්න පටන් ගත්තා. පැයට සැතපුම් හත්සීයක වේගයෙන් ගමන් කරන ජෙට් යානය ගොඩබිමේ සිට අඩි තිස් දහසකට උඩින් ගමන් කරනවා කියලා යානයේ පාලක මැදිරියෙන් නිවේදනය කරන කොට මගේ කකුල් දෙක ඉබේටම ගැහෙන්න පටන් ගත්තා. හරියට මැන්ඩලීනයක කම්බි වගේ. අනික මේ ප්ලේන් එක කඩා වැටුණොත් කියලා මට බය හිතුණා. ඔය කාලේ ගුවන් යානාවල බෝම්බ පුපුරන කාලයක්. ඒ වගේම ගුවන් යානා කඩා වැටුණ අවස්ථා ද කීපයකුත් සිදු වුණා. ඒ හින්දම මේ සිතුවිලිත් එක්ක මගේ හිතට මහා භයක් දැනෙන්න පටන් ගත්තා.

මොනවා කරන්නද ද, කාට කියන්නද, අනේ මට බයයි කියලා බැහැල යන්න ද, ඇනස්ලිට, සැමුවෙල්ට අනේ මචං ළඟට වරෙල්ලා, මට බයයි කියලා කෑගහල කියන්නද. මම දැන් හොඳටම අසරණ වෙලා. මට ඩුබායි ගිහින් බහින්න පුළුවන් වෙයිද? නැත්නම් ප්ලේන් එක කඩා වැටිල මාවත් මැරෙයිද? මම මිනිස්සු හිනස්සන්න කියන පට්ටපල් බොරු නිසාම මාව අපාගත වෙයිද, මිනිස්සු හිනස්සල සතුටු කරපු නිසා දිව්‍ය ලෝකේ ගිහින් ඉපදෙයිද, ඔය වගේ සිතුවිලි රාශියකින් මගේ හිතට වද දෙන්න පටන් ගත්තා. අහල තිබුණ විදියට ඩුබායි ගමන සුරපුරයක් වුණත්, දිව්‍ය ලෝකේ යන ගමනක් වුණත් මගේ හිත පරාණ බයෙන් ගැහෙන එක නම් අඩු වුණේ නැහැ.

දැන් මට වෙන කරන්න දෙයක් නෑ. මගේ පපුවේ ශබ්දයත් දැන් මට ඇහෙන තරමට බය නිසාම මට ඉබේටම ඉතිපිසෝ ගාථාව කියවුණා. පරාණ බයෙන් ගැහෙන මගෙ හිතට ඉතිපිසෝ ගාථාව කියන කොට පොඩි හයියක් දැනෙන්න වුණා. මම හීන්සීරුවේ කාටත් නොදැනෙන්න මම අසලින් වාඩිවෙලා හිටිය අනෙක් අයගේ මුහුණවල්වලට එබිල බැලුවේ, ඒ අයත් මම වගේ බය වෙලා ඉන්නවද කියලා බලන්න. මා ළඟම තිබුණ අසුනේ වාඩි වෙලා හිටියේ මුස්ලිම් කාන්තාවක්. ඇය කන් දෙකත් වැසෙන විදියට මෆලර් එකක් ඔලුවේ ඔතාගෙන හොඳට සීට් එකේ ඇලවෙලා නිදි. සමහරු පොත්පත් කියවනවා. බලපුවහම මම දෙලෝ රත්වෙලා බයේ ගැහෙනවා.

ඔන්න දැන් ඉතිං ගුවන්ගත වෙලා සෑහෙන වෙලාවක් ගියහම මිහිරි හඬින් ගුවන් මගීන් අමතමින් රූබර ලලනාවන් මඟීන් ළඟට ඇවිත් නොයෙක් කෑමවලින්, බීමවලින් සංග්‍රහ කරන්න පටන් ගත්තා. ඔය වෙන කොට මමත් බය නිසාම තොල කට වේලිලා තමයි හිටියේ. රූමත් ලලනාවෝ සැර බීම බන්දේසිවල තබාගෙන යානය තුළ එහෙ මෙහෙ යන කොට මම මන්තරයක් ජප කරන්නා සේ නමෝ තස්ස ගාථාව බියෙන් වෙව්ල වෙව්ලා මුමුණමින් තමයි හිටියේ. මේ සුර ළඳුන් දැක්ක ගමන් මට ඒ ඔක්කොම අමතක වුණා. හරියට මම සුර ලෝකෙක ඉන්නව වගේ මට දැනෙන්න පටන් ගත්තා.

මේ වෙන කොට අපේ යානය වලාකුළු අතරින් වේගයෙන් අදෙමින් තිබුණා. මට අදහා ගන්නත් බෑ මේ මම දකින්නේ හීනයක් ද කියලා. කෝකටත් කියලා මම අත් දෙකෙන්ම දෑස් පිහ දමමින් නැවත නැවතත් බැලුවා. ඇත්තටම මම දිව්‍ය ලෝකයට ගොඩ බැහැල ද කියලා.

ඉතිරි කොටස ලබන සතියේ....