වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුදු හතළිස්පහට වැඩි උදවියගෙන් මට ඉහළ ප්‍රතිචාර

අවුරුදු හතළිස්පහට වැඩි උදවියගෙන් මට ඉහළ ප්‍රතිචාර

රංගන ශිල්පී චමින්ද වික්‍රමසිංහ

ජොශප් ජෙරම් පෙරේරා, අධ්‍යක්ෂණය කරන පබසරා ටෙලි සිතුවම මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය වනවා. එය නරඹන ඔබට එහි සේනගේ චරිතයට පණපොවන මේ රංගන ශිල්පියාව නිසැකවම නෙත ගැටී ඇති. නමින් චමින්ද වික්‍රමසිංහ වන ඔහු තරු පිරි අහසෙහි භාරත වෙමින් අසීමිතව රසික ආදරය දිනාගත්තා. භාරතව කොතෙක් ජනපි‍්‍රය වුණා දැයි පැවසුවොත් ඔහුව ඇතැම් අවස්ථාවලදී චමින්ද වෙනුවට භාරත වික්‍රමසිංහ ලෙසද හඳුන්වා දුන්නා. චමින්ද ඒ නමට වඩාත් පි‍්‍රයකරන බව කියමින් මේ සංවාදය මෙසේ ආරම්භ කළා.

මම ෆේස් බුක් එකවුන්ට් එකක් හැදුවා භාරත වික්‍රමසිංහ නමින්. මාර විදියට ප්‍රතිචාර තියෙනවා. දැන් සමහර අය හිතාගෙන ඉන්නෙ මගෙ ඇත්ත නම ඒක කියලා. මගෙත් අකැමැත්තක් නැහැ. භාරත වික්‍රමසිංහ කියන නමට.

හැබැයි චමින්ද එතකොට කෙනකුට හිතෙන්න පුළුවන් ඔබට මුල අමතක වෙලා කියලා?

නම වෙනස්වුණු පමණින් පුද්ගලයා වෙනස් වෙන්නෙ නැහැනෙ. විවේකයක් ලැබුණු ගමන් නුවර පේරාදෙණිය මගෙ ගමට යනවා. ගමේ ගියාම බේරිල්ලක් නැහැ. ගමේ හිතවතුන්ගෙන් මුළුගෙයම පිරෙනවා. මුල අමතක වෙලානම් එහෙම වෙන්නේ නැහැනේ.

කොහොමද සේනට ලැබෙන ප්‍රතිචාර?

නිමක් නැතිතරමට ප්‍රතිචාර වැහි වහිනවා. සේන කියන්නෙ චිත්‍රපට පිස්සෙක්නේ. රඟපාන්න පුදුමාකාර ආසාවකින් ඉන්නේ. ජෝතිපාල වැනි සිනමාවේ දැවැන්තයින් අනුකරණය කරනවා. අවසානයේ කොහොමහරි ඒ හීනය සැබැකරගන්නවා. හරියට මං වගේ.

ඒ කිව්වේ?

මාත් කාලයක් නළුවෙක් වෙන්න හීන මැව්වා. දහසකුත් බලාපොරොත්තු තියාගෙන ලොකේෂන්වල කරක් ගැහැව්වා. මේකප් දාගෙන උදේ ඉඳලා හවස් වෙනකම්ම ඉඳලා රඟපාන්නට අවස්ථා නැතුව හැරිලා ගියා. සේන මං වගේ කිව්වේ ඒ හින්දා.

අද වෙනකොට ඔබ ජනපි‍්‍රය නළුවෙක්?

ඒ මං කාපු කටුවල ප්‍රතිඵල. මං නිෂ්පාදකවරයකු වුණා. ඉදිරියේ දී තවත් නාට්‍යක් පටන් ගන්නවා. එදා මම හොයාගෙන ගිය ඇතැම් පුද්ගලයින් අද මාව හොයාගෙන එනවා. හැබැයි මට දීපු වේදනා ඔවුන්ට නම් දෙන්නේ නැහැ.

චමින්ද ගොඩක් අවස්ථාවන්වලදී රඟපැවේ මැර චරිත?

ස්වරූපය නිසානෙ මල්ලී, මම හිතන්නෙ මාව මැරයට හොඳට ගැලපෙනවා ඇති. මෙහෙම කතා කරද්දී මට හොඳ සිද්ධියක් මතක් වුණා. අනුර මාධව ජයසේකර මහත්මයාගෙ සඳට අහස ආදරෙයි නාට්‍යයේ මම මිනිමරුවෙක්. ඒක විකාශනය වන කාලෙ මට පුද්ගලික අවශ්‍යතාවයකට යමින් සිටියා. පාරෙ හිටපු වයසක ආච්චි කෙනෙක් ළඟට ඇවිත් කෙළ ගැහැව්වානේ.

“නොදෝකිං මේ වගේ කාලකන්නි, තොපිලව හිරේ දාන් ඕන.” කිය කිය බැන්නා. එයා හිතාගෙන ඉඳලා තියෙන්නේ මම ඇත්තටම මිනීමරුවෙක් කියලා.

චමින්දට වැඩිපුරම ප්‍රතිචාර තියෙන්නේ වයසක අයගෙන් වගේ?

අනේ ඔව්, අවුරුදු හතළිස්පහට වැඩි උදවියගෙන් තමයි හුඟක් ප්‍රතිචාර තියෙන්නේ.

පබසරා රඟපාන්න ගිහින් වතුරත් එක්ක බත් කාපු සිද්ධිය මතක් කරමුද?

ඒක තමයි මරු වැඩේ

අපි නැවතිලා ඉන්න තැන ඉඳලා රූගත කරන තැනට ටිකක් දුරයි. පොඩ්ඩක් කැලෑ බඳ ප්‍රදේශයක් සමහර රූගත කිරීම් සිද්ධ වුණේ. ඉතින් අපි ලොජ් එකේ ඉඳලා ලොකේෂන් එකට කෑම අරගෙන එනවා. ඔළුව උඩතියාගෙනයි කෑම එහෙම ගෙන්නේ. ඔන්න දවසක් අපි කෑම අරගෙන එද්දී වැස්සනේ. පුළු පුළුවන් විදිහට ඒවාට වතුර යන්න නොදී ආරක්ෂා කළා. මොර සුරන වැස්සේ අපිව හොඳටම තෙමුනා. අන්තිමේ බලද්දී ඩිංග ඩිංග කෑමවලට වතුර ගිහින්. බත් ආයේත් ඉව්වා වගේ. මොනවා කරන්නද ආයේ කෑම ගෙන එන්න වේලාවක් තිබුණේ නැහැ. අපි දිය බත් තමයි එදා කෑවේ.

චමින්ද අද ඉන්න තැන ගැන සෑහිමකට පත්වෙනවද?

ඔව්. බොහෝ කැපකිරීම් කරලා දුෂ්කර ගමනක ඇවිත් මේ ඉන්න තැන ගැන බොහොම තෘප්තිමත් විවාධාකාර වු චරිත කරන්න මගෙ ඇල්මක් තියනවා. අද වන විට මම මැර චරිතවලට වඩා වෙනස් චරිත කිහිපයක් කරලා චරිතාංග නළුවකු වීමේ උත්සාහයකයි නියැලෙන්නේ. බලමු කොහොමද ඒ උත්සාහය සාර්ථක වන්නේ කියලා.

චමින්දට මෙගා හොඳද?

නාට්‍යකට කතා කළාම ඒක දිගුද කොටද කියන ඒක නෙවෙයි ලැබෙන චරිතයයි මට වැදගත්. අප ජනපි‍්‍රය වන්නේ ආරාධනා ලැබෙන චරිතය හරියට කළාම. අද වන විට ප්‍රේක්ෂකයා තමන්ව ග්‍රහණය කරගත්තම සමත්වන නාට්‍යක් තමයි බලන්නේ. ඒක මෙගා එකක් වන්නට පුළුවන්. එහෙනම් තත්ත්වයක් මත ලොකු ප්‍රතිපත්ති තියාගෙන රංගනයේ යෙදෙන්න අමාරුයි.

චමින්දට තුති පුදන්නත් පිරිසක් ඇති?

ස්වාධීන රූපවාහිනියේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න ඇතුළු එහි කාර්ය මණ්ඩලයට සහ මොහාන් නිසාස්, ජෝශප් පෙරම්, ආචාර්ය ජගත් විජේනායක, සරත් දික්කුඹුර, අජිත් ලොකුගේ යන මහත්වරුන්ට තුති පුදනවා. ඔවුන් නැත්නම් චමින්ද වික්‍රමසිංහ කියලා කෙනෙක් නැහැ.

අවසන් කොට ඔබට මොනවද කියන්න තියෙන්නේ?

මම සම්බන්ධවෙලා ඉන්න නාට්‍යවලට මම කොහොමහරි අලුත් පිරිස් සම්බන්ධ කර ගන්නවා. හැබැයි මං කෑව කටු එයාලට දෙන්නේ නැහැ. ඉදිරියටත් එහෙමයි. ඔවුන් ඉදිරියට යනු බලා මා ලබන සතුට අපමණයි.