|
||
මාලිනියේ ඉන්ද්‍රජාලය
ගාමිණී ෆොන්සේකා අරභයා සිනමා සක්විති යන පර්යාය පදය යෙදීම මෙන්ම මාලිනී ෆොන්සේකා අරභයා නිළි රුජණ ලෙස හඳුන්වා දීම ද කිසිසේත් අතිශයෝක්තියකින් යොදන ලද පදයක් වන්නේ නැත.අපට සිනමාව ඉගැන්වූ දකුණු ඉන්දියාවේ සිනමා තාරකාවන් හැඳීන්වීම සඳහා පුරච්චි තලයිවර්,නඩිගම් තිලකම් වැනි නාම යොදන්නේ චිත්‍රපට නාමාවලියේ සිටමය. එහෙත් සිනමා සක්විති හෝ නිළි රුජණ යන පද යුගලම මාධ්‍යය විසින් හැඳීන්වීමේ දී භාවිතයේ යෙදෙනුයේ එබඳු වානිජ අරමුනකින් නොවේ. එමෙන්ම තමිල්නාඩු වේ සුලබව යොදන නළු නිළි විශේෂතා මෙන් තාරකා අගය නංවනවාට වඩා හේතු ප්‍රත්‍ය කරුණු ඇතිවය. ගාමිණී සහ මාලිනී දෙදෙනාම අදාල ගෞරවාර්ථ ලබා ගත්තේ සිනමා කලාව අරභයා ඔවුන් විසින් දශක කිහිපයක් මුළුල්ලේ කරන ලද දායකත්වය සළකා බැලීමෙන් අනතුරුවය. මාලිනීය අරබයා නිළි රුජණයැයි භාවිතයට ගන්නා ලද්දේ මෙයින් වසර දහයකට පමණ ඉහතය.එයට පෙර නිළි රුජණයැයි රුක්මණි දේවිය අරබයා ද යොදන ලදී. එහෙත් රුක්මණීය අරබයා එම ගෞරවාර්ථය යෙදුනේ ඇයගේ හදිසි මරණයත් සමඟ ඇතිවූ කම්පනයෙන් පසුවය. මෙරට මුල්ම සිනමා නිළිය සහ ගායිකාව ලෙස රුක්මණී දේවිය විසින් ඇති කරන ලද වාර්තාව කිසිවකුට සම කළනොහැක.
එමෙන්ම මුල් දශක ත්‍රිත්වයෙහිම බිහි වුන සිනමා නිළියන් (එනම් මාලිනිය ද ඇතුළුව) සියලු දෙනා සිය ළමා වියේදී නිළියක ලෙස සිහින දකින්නට රුක්මණී දේවිය විසින් කරන ලද සමාජ බලපෑම් සහ ඇයගේ නිහතමානි ගති ගුණ ද පුන පුනා වර්ණනා කරති. රුක්මණියගේ ගායනා විලාසය කිසිවකු විසින් හෝ අනුකරණය කළ ද ඇය ගේ රංග විලාසය අනුකරණය කරන්නට ඇගේ අනුප්‍රාප්තික කිසිදු නිළියක උත්සාහ නොකළාය. එමෙන්ම දෙවැනි දශකය එළැඹෙන්නට මත්තෙන් රංග විලාසය අතින් රුක්මණිය අබිබවා යා හැකි නිළි පරම්පරාවක් සිනමාවට බිහි විණ. මේ ඇතැමෙකු ජනප්‍රියත්වය අතින් ද රුක්මණිය අබිබවා ගියාය. මේ නිසාම රුක්මණිය පසු කාලීනව බොහෝ විට චිත්‍රපට වලට තෝරා ගන්නේ වැඩිහිටි මවකගේ චරිතයක් වැනි අවස්ථාවකට පමණය. එහෙත් මුල්ම නිළිය ලෙස ඇය අත් පත් කර ගත් කීර්තිය හා ගෞරවය ඇය මිය යනු තෙක්ම මෙන්ම මරනයෙන් පසුව ද සිනමා කෙෂත්‍රයේ සියල්ලන්ට අමතක නොවිණ.එය වඩාත්ම නැගී සිටියේ ඇය ජීවත් වන සමයටත් වඩා ඇය මිය ගිය පසුවය. මාලිනී ෆොන්සේකා සිනමාවට පිවිසෙනුයේ කඩවුණු පොරොන්දුව තනා සිනමාවේ දෙවැනි දශකය ද ගෙවුන පසුවය.ඇය සිනමාවට පිවිසෙන්නට පෙරාතුව හොඳම නිළිය ලෙස වේදිකාවේ සම්මානයට පත් ව සිටියාය.ඇයගේ මුල්ම රංගනය වේදිකා මස්තකයෙහියෙහි බිහි කොට දැන් වසර පනහකි.ඇය සිනමාවට පිවිසෙන 1968 වසර වන විට පස් වසරක් පුරා ඇය වේදිකවේ දක්ෂ නිළියක ලෙස නමක් දිනා තිබිණ. ඒ වන විට මෙරට බිහි වූ සිනමා නිළියන් මෙන්ම නළුවන් බහුතරය ද සිය සිනමා රංගනයයෙහි ගුරු කොට ගත්තේ වේදිකා රංගන රීතිය හෝ ඉන්දියානු සිනමා රංගනයේ අනුකරණයන්ය.එය වෙනස කරලිමෙහි ඒ වන විටත් සමත් නිළියන් කිහිප දෙනෙක් මගේ මතකයේ එයි. අයිරාංගනී සේරසිංහ, සහ අනුලා කරුණාතිලක ඒ අතර ප්‍රමුඛ වෙයි. මාලිනියට සිය මුල්ම සිනමා කෘතිය වන තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කරන පුංචි බබා චිත්‍රපටයේ රඟපෑමට සිදු වන්යේ එම ඉන්දියානු ගති ලක්ෂණ සහ වේදිකා සම්ප්‍රදාය ගුරු කොට නොගත් අත්‍යන්තයෙන්ම සිනමා රංගනයට අවතීරණය වන නළු නිළි යුවලක් සමගය.එයින් එක් අයෙක් වනුයේ ජෝ අබේවික්‍රමයි. නිළිය අනුලා කරුණාතිලකය. පුදුමය වනුයේ වේදිකාවෙන් පිවිසිය ද මාලිනිය තම මුල්ම චිත්‍රපටය බැව් නොසළකා රංගනයේදී තමා සිනමා නිළියක් බැව් ඔප්පු කිරීමට සමත්වීමය. කැමරාව ඇයගේ රූපයට පෙම් කළ අතර සිනමා රංගනයෙහි දී පළපුරුදු නිළියක ලෙස ඇය රූපයේ සීමා වන් හඳුනාගෙන චරිත නිරූපණය කළාය. ඇය ට මුල් යුගයේ ලැබෙන චරිත සියල්ලම විවිධ අත්දැකීම් ගෙන එයි. මුල් පස් වසර ඇතුළත චිත්‍රපට විසි අටකට රංගනයෙන් දායක වන ඇය ට එහි රඟපාන්නට ලැබෙන චරිත පමණක් ගෙන මෙහි උදාහරණ සැපයිය හැකි වෙයි. දහසක් සිතුවිලි,දැන් මතකද,ආදරවන්තයෝ ප්‍රවේශම් වන්න, හතර දෙනාම සූරයෝ. නිධානය,එදත් සූරයා අදත් සූරයා,සහනය. මේ දෑස කුමටද, තුෂාරා, සිනාවයි ඉනාවයි, හොඳයි නරකයි, ආදරේ හිතෙනව දැක්කම,හොඳම වෙලාව,සුහද පැතුම මේ අතර කැපී පෙනෙන චිත්‍රපට කිහිපයකි. මේ අතරින් කිහිපයක් ඉන්දියානු අනුකරණ චරිත වුව ද එහි දී ඇය කිසි විටෙකත් ඉන්දියානු නිළියකගේ විලාසය ඉස්මතුවන්නට ඉඩ නොදුන්නාය. එය ඇයගේ රංගනයක් බවට පත් කළාය. එය අපේ ප්‍රධාන ප්‍රවාහයේ සිනමාවේ නිළියක ඉන්දියානු අනුකරණ වාදි චිත්‍රපටයකදී පවා තම ස්වාධිනත්වය පළ කළ මුල්ම අවස්ථාවයි. මාලනී සිනමාවේ ප්‍රධාන ප්‍රවාහය මෙන්ම කලාත්මක ප්‍රකාශනයන් ගෙන් ද අවශ්‍යම නිළිය බැව් ඔප්පු කළාය. එමෙන්ම සිනමාවේ සුපිරි තාරකාවක් සතු විය යුතු කුසලතාවය ද අතිශය විරළ ජනප්‍රයතාවය ද යන ද්වි කාරණාවන් ඇය වෙත ගලා ආවේ දශකයක් ඉක්මවා යන්නට පෙරාතුවය. හැත්තැව දශකය සමග සිනමාවේ බිහි වන නව ප්‍රබෝධයේ වඩාත්ම සාර්ථක පංගුකාරියක වන්නේ ඇයයි. මෙහිදී තමා පෙනි සිටින කවර චරිතයක් සඳහා වුව ද ඇය තම වගකීම නිසි ලෙස ඉටු කරන්නීය. සිනමාවට පිවිස මුල් වසර පහක් ගත වන්නට මත්තෙන් ඇය ගාමිණී මාලිනී යුගයක් පමනක් නොව විජය මාලිනි යුගයක් සඳහා දායක වන්නීය. මේ සිනමා තාරකාවන්ගේ ආලෝකය රට පුරා දිදුලන යුගයයි. එහෙත් ලෙනින් මොරායස්ට යසපාලිතට පමනක් නොව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ ධර්මසේන පතිරාජයන්ට ද අත්‍යවශ්‍ය වන්නීය. සිනමාවේ තාරකා ගුණයෙන් මෙන්ම රංගනයේ ප්‍රකශණ ශක්තිය අතික්‍රමණය කිරීමෙන් ලැබෙන දුර්ලභ ජනප්‍රියත්වය නම් වාසනා ගුණය ද ඇය සතුවීම ඉතා වැදගත් කාරණයකි.පුදුමය නම් එයින් දශක පහක් මුලුල්ලේ පවා මේ අපූර්ව ගුණය අඩු නොකොට පවත්වා ගෙන යන්නට ඇයට වාසනාව ලැබීමයි. සිනමා කෙෂත්‍රෙය් දශක පහක් නියැලීම පුදුමයක් නොවේ. එහෙත් එම දශක පහ පුරාම අඛන්ඩව හැකියාවත් තාරකා ගුණයත් යන කාරණා සියල්ල එක ලෙස රඳවන්නට ලැබීම අතිශය දුර්ළභ දෙයකි. වර්තමානයේ සිනමා රංගනය සඳහා අවශ්‍ය චිත්‍රපට බිහි නොවිම රංගවේදිනියක ලබන ඛේදවාචකයක් බව ඇත්තය.මේ බේදවාචකය මතුයෙහි පවා සිය සිනමා රංගනයේ යෙදීමට මාලනීයට හැකිව ඇත්තේ පෙර කියන වාසනාව නිසා විය යුතය. එහි ඇති දුර්ළභම කාරණය වනුයේ මාලිනීයට මෙරට සිනමාවේ සෑම දශකයකම සිනමාකරුවන් ගේ චිත්‍රපට නියෝජනය වන පරිද්දෙන් රඟපාන්නට ලැබීමය. ඇය මුල් දශකයේ සිනමාව නියෝජනය කරනුයේ ඇයගේ සිනමා රංගනයේ විශිෂ්ට ඵලයක් ලෙස අප දකින නිධානය නිර්මාණය කරන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හරහාය සිරිල් පී. අබේරත්නගේ ඇය අධ්‍යක්ෂණය කළ මුල් දශකය නියෝජනය කරන අනෙක් සිනමාකරුවාය. එතැන් පටන් ගත වූ වර්ෂයේ බිහි වූ කපිල සූරියාරච්චි දක්වා ඒ ඒ දශකයන් බිහි කළ සිනමාකරුවන් ගේ චිත්‍රපට රාශියකට දායක වූවාය. අමරනාත් ජයතිලක, සුගතපාල සෙනරත් යාපා, ජී.ඩී.ඇල් පෙරේරා, නීල් රූපසිංහ, ජේ.සෙල්වරත්නම්, කිංස්ලි රාජපක්ෂ, තිමති වීරරත්න, වසන්ත ඔබේසේකර, කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා, විජය ධර්ම ශ්‍රි, සුනිල් ආරියරත්න, දයා විමලවීර, පරාක්‍රම නිරිඇල්ල, දිනේෂ් ප්‍රියසාද්, සෝමරත්න දිසානායක, ප්‍රසන්න විතානගේ, ජැක්සන් ඇන්තනි, ඇයගේ රංගන ජිවිතයේ විවිධ සිනමා යුගයන් නියෝජනය කරමින් ඇයට හමුවන සිනමාකරුවන් අතරින් කිහිප දෙනෙකි. ඇය තවත් වාර්තාවක් තබනුයේ ටෙලි නාට්‍යය කරණයට බට මුල්ම නිළිය හැටියටය. ඒ නිරූපමාලා ටෙලි වෘතාන්තය නිර්මාණය කරමිනි. මාලිනිගේ රංගනය ඉන්ද්‍රජාලික එකකැයි කිම වැරැද්දක් නොවේ.එහි ඇය කිසිදු ගුරුකුළයකට නෑකම් නොකියයි.සිනමා රංගනයේ ඇය බොහෝ දෙනෙකුට ගුරුවරියක වනුයේ සියුම් චරිතාංග රංගනය පිලිබඳ මෙරට ට පූර්වාදර්ශයක් වෙමිනි. ඇයගේ සිනමා චාරිකාව දිගු එකකි. මෙරට සිනමා රංගනය පිලිබඳ හොඳම පාඩම වනුයේ ඇයගේ රංගනය අධ්‍යයනයැයි වරෙක් ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනි කියා සිටියේය. සිනමාවේ දි ඇයට හා එක්වන සෙසු නළු නිළියන් කෙතරම් පළපුරුදු ද හෝ ආධුනික ද යන්න ඇයට වැදගත් නොවිණ. මේ හැම සමග හොඳීන් රඟපාන්නට ඇයට හැකි වූයේය. ඇයගේ රංගනයේ විශ්ෂ්ටත්වය හඳුනා ගත් විදෙස් සිනමා උත්සව ඇය වෙනුවෙන් බුහුමන් පුදති. පසුගිය වකවානුවේ ඇය වෙනුවෙන් ප්‍රත්‍යවලෝකන සිනමා දැක්මයන් කිහිපයක්ම විදෙස් සිනමා උළෙලයන්ගේ පැවැත්වින. එහෙත් තවමත් මාලනිය පිළිබඳ එබදු ප්‍රත්‍යවලොකන උළෙලකට මෙරට සිනමා බළධාරින් සූදානම් නැත. නිළියකගේ ජීවිතය සඳහා ප්‍රත්‍යවලෝකන උළෙලයන්ට වඩා වැදගත් වනුයේ විශිෂ්ට සිනමා රංගනය් යෙදෙන්නට ඉඩ ඇති චිත්‍රපට නිෂ්පාදනයැයි මම විශ්වාස කරමි. එහෙත් සිනමා ලෝකය ඇතුළත කිසියම් නිළියකුගේ හෝ නළුවකුගේ කාර්ය භාරය ඇගයිය හැකි වනුයේ එකී රංග විලාසයන් එකවර දැකිය හැකි ප්‍රත්‍යවලෝකන උළෙලක දීය. මේ උපන් දිනය සමරන මොහොතේ සිනමා ලෝලීන් වෙනුවෙන් සරසවිය පතනුයේ ද එම කටයුත්ත ඉෂ්ට වේවා යන්නයි. එය මාලිනියට කෙසේ වෙතත් රටට වැදගත් වන හෙයිනි. |
||