වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




මොනවා කියන්නද ආදරෙයි නොකියා

මොනවා කියන්නද ආදරෙයි නොකියා

යුග දිවියට පිවිසි භාග්‍යා කියන කතාව

එයා රඟපාන්න ඕනෙ නැහැ දන්න ක්‍රිකට් ගැහුවාම ඇති

නව පරපුරේ ජනපි‍්‍රය රංගන ශිල්පිනී භාග්‍යා හෙට්ටිආරච්චි පසුගිය දා යුග දිවියට පිවිසුණා. ඇගේ අතගත් මනාලයා වූයේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිල නියෝජනය කරන කෞශාල් සිල්වායි. භාග්‍යා - කෞශාල්ගේ විවාහ උත්සවය පැවැත්වුණේ කොළඹ ජෙයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී යි.

භාග්‍යා, කොහොමද අලුත් ජීවිතේ?

බොහොම සුන්දරව සතුටින් ගෙවනවා. කෞශාල් මට ගොඩක් ආදරෙයි. ඒ වගේ ආදරයක් ලබන්න මං සෑහෙන්න පින් කරලා තියෙනවා. ඔහු වගේ ළබැඳියෙක් මගෙ ජීවිතයට එකතුවීම මගේ පෙර වාසනාවක්.

කෞශාල් සහ ඔබගේ පළමු හමුවීම මතකද?

මොකද නැත්තේ. අද වගේ මතකයි. උත්සවයකදියි ඔහුව මට මුණ ගැහුණෙ. අකලංක ගනේගමයි මට කෞශාල්ව හඳුන්වා දුන්නේ. පළමු හමුවීමෙන්ම අපි ගොඩක් හිතවත් වුණා. දුරකථනයෙන් නිතරම වගේ කතා කළා.

කාගේ හිතේද මුලින්ම ආදරයක් ඇති වුණේ?

මං හිතන්නේ අපි දෙන්නට දෙන්නා නොදැනීම පෙම්වතුන් වුණා. මං එයා ආදරේ ප්‍රකාශ කරනකම් බලාගෙන හිටියා. මං දන්නවා කෞශාල් එහෙම කියයි කියලා.

කෞශාල් ආදරෙයි කිව්වට පස්සෙ ඔබ මොකද කිව්වේ?

මං බලාපාරොත්තුවෙන් හිටිය වචනෙ ඇහැව්වට පස්සෙ මොනවා කියන්නද ‘මමත් ආදරෙයි’ නොකියා.

ඔබ දෙපළගේ මවුපියන්ගෙන් මේ සම්බන්ධයට මොනවගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ?

අපිට ආශිර්වාද කළා. අපි දෙන්නගෙ වෘත්තීන් එළිපිට සිදුවන ඒවා නිසා අපි ගැන දැනගෙන හිටියා දෙපාර්ශවයෙන්ම.

කෞශාල් කැමැතිද ඔබේ නිළි වෘත්තියට?

ඔව්, එයා මං ඉන්න නිර්මාණ නරඹලා මට ගුණදොස් කියනවා. කෞශාල් තමයි දැන් මගේ හොඳම විචාරකයා.

ඔබ පෙම්වතියගේ චරිතය රඟපාද්දි ඔහුට ඊර්ෂ්‍යාවක් ඇතිවනවා ඇති.?

මන්දා, හැබැයි ඔහු මේ වෙනකම් මට වාරණයක් දාලා නැහැ පෙම්වතියගේ චරිතය කරන්න එපා කියලා. අනික මගේ වයසේ හැටියට පෙම්වතියගේ චරිතය මිසක් අම්මගෙ චරිතය කරන්න බැහැනේ.

ක්‍රිකට් ක්‍රීඩකයො කියන්නේ නිබඳව තරුණියන්ගේ ආකර්ෂණයට ලක්වන පිරිසක්. කෞශාල්ටත් එහෙමයි?

කෞශාල් වැරැදි දේවල්වලට යොමු වන්නේ නැහැ කියලා මට විශ්වාසයි. මේ වෙනකම් ඔහු ඒ විශ්වාසය බිඳලා නැහැ.

කොහෙද දැන් දෙන්නා පදිංචි වෙන්න හිතාගෙන ඉන්නෙ?

අපි දෙන්නා එකතුවෙලා තලවතුගොඩ ගෙයක් හැදුවා. එහෙ තමයි ඉන්න හිතාගෙන ඉන්නෙ.

භාග්‍යාට උයන්න පුළුවන්ද?

ඔව්, මගෙ අතිනුයි කෞශාල්ට මින් ඉදිරියට කන්න හදලා දෙන්නේ. ඔහු ආස කෑම හදලා දෙනවා.

බැරිවෙලාවත් කෞශාල්ට රඟපාන්න කතා කළොත් යවනවද?

බුදු අම්මෝ, එයාව රඟපාන්න නම් යවන්නේ නැහැ.

ඒ මොකද?

එයා දන්නේ ක්‍රිකට් ගහන්නනේ. දන්නදේ විතරක් කරගෙන හිටියොත් මට ඒ ඇති.

අඩුම ගානෙ වෙළෙඳ දැන්වීමකටවත් කතා කළොත්?

නැහැ යවන්නෙ නැහැ. එයාට රඟපන්න තහනම්.

ඕකට තමයි භාග්‍යා කියන්නෙ පැහැදිලි ඊර්ෂ්‍යාව කියලා?

පිස්සුද අයියේ, ඊර්ෂ්‍යාවකට නෙවෙයි. එයා ක්‍රිකට්වලින් ඉස්සරහටම යන්න ඕන. මං රංගනයෙන් ඉදිරියට යද්දි ඔහු ක්‍රිකට්වලින් මුළු ලොවම දිනන්න ඕන. කෞශාල් රංගනයට ආවොත් ඒ තත්ත්වය උදාකරගන්න බැරිවේවි කියලා මට දැනෙනවා.

කෞශාල් සතු නරකම ගතිගුණය මොකක්ද?

එයා ඉතාම ඉක්මනින් මිනිස්සුන්ව විශ්වාස කරනවා. එයාගේ ඒ ගතිගුණයට මං ආසා නැහැ. ඒ වගේම කෞශාල් ඉක්මනින් තීරණ ගන්නවා. මං නිතරම කියනවා එහෙම කරන්න එපා කියලා.

ඇයි ඔබ කෞශාල්ට කැමැති වුණේ?

කෞශාල් වැඩිය කලබල නැහැ. අනිත් අයට උදව් කරන කෙනෙක්. මට ගොඩක් ආදරේ වේයැයි කියලා දැණුනා. මේ කරුණු කාරණා මතයි ඔහුට මම කැමැති වුණේ.

කෞශාල්ව ඔබ අවසන් වතාවට කේන්ති ගැස්සුවෙ කවදද?

එයාට නෙවෙයි මටයි ඉක්මනින් කේන්ති යන්නෙ. එයාට කේන්ති යන්නෙම නැති තරම්. මට කේන්ති ගියාම කතා නොකර ඉන්නවා. කතා නොකර ඉන්නකොට එයත් දන්නවා මට කේන්ති ගිහින් කියලා.