වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




කුසුම් ගේ චරිතයට ලෙස්ටර් නිවහනට

කුසුම් ගේ චරිතයට ලෙස්ටර් නිවහනට

සිංහල සිනමාවේ මුදුන්මල්කඩ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශ්‍රීමතාණන්ගේ අනූපස් වැනි උපන්දිනය සමරන මේ මොහොතට සහභාගි වන්නට ලැබීම කෙතරම් ප්‍රීතියක්ද? තම ජීවිත කාලයම සිනමාව වෙනුවෙන් කැප කරලා තමා උපන් මව්බිම මුළු ලෝකයේම අවධානයට යොමු කරලා සම්මාන කිර්ති ප්‍රශංසා හිමි කර දීලා වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පිරුණු ආදර්ශවත් දිවි පෙවෙතක් ගත කරන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශ්‍රීමතාණන් සහ සුමිත්‍රා පීරිස් මැතිනිය ඇසුරු කරන්නට ලැබීම මොන තරම් භාග්‍යයක්ද?

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ උපහාර උළෙලකදී මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ඉතාම හරබර රසවත් දේශනයක් පැවැත්වූවා. එහි මට මතක තියෙන විශේෂම කොටස ඔවුන්ගේ විවාහ ජීවිතය ගැන පැවසූ දෙයයි.

ලෙස්ටර් සුමිත්‍රා කියන්නේ බලපු ගමන් කිසිම විධියකින් නොගැළපෙන දෙදෙනෙක්. බලන්න නම් දෙක, ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන්නේ එහෙම පිටින්ම ශ්‍රී ලාංකික නොවන පෘතුගීසි නමක්නේ. සුමිත්‍රා ගුණවර්ධන කියන්නේ තම රට, ජාතිය ගැන බොහොම ආඩම්බර වුණ පිලිප් ගුණවර්ධන පරම්පරාවෙන් පැවතෙන සිංහල කුල කාන්තාවක්නෙ.

ආගම – එක් කෙනෙක්ගෙ රෝමානු කතෝලික.

අනිත් එක්කෙනා - සිංහළ බෞද්ධ. වයස - කිසිම ගැළපීමක් නැහැ. අවුරුදු පහළවක පමණ වෙනසක්. ඉතින් කවුරුවත් මේ දෙන්නා දැක්කමත් කියයි ද මේ දෙන්නගෙ ස්වරූපය අනුව ගැළපීමක් තියෙනවා කියලා. ඒත් නැහැනේ.

ඒත් මුළු ලෝකෙන්ම හොයාගන්න පුළුවන් ද විවාහ වුණ දවසේ ඉඳලා කවදාවත් හිත රිදෙන වචනයක්වත් නොකීව, ඉතාම ආදරෙන් සතුටෙන් අද වෙනතුරු ජීවත්වෙන ස්වාමිපුරුෂයෙකුත් බිරිඳකුත් - සිනමාවේ තිබ්බ වාර්තා වගේම විවාහ ජීවිතේදී තිබ්බ වාර්තාවත් ලෝක වාර්තාවක්. ඒක කඩන්න කාටවත්ම බැරි වෙයි.’

සුනිල් ආරියරත්න මහතා මීට වඩා ලස්නට හරබරව කියපු ඒ කතාව ඉතාමත්ම රසවත්. ප්‍රේක්ෂකාගාරයේ සියලු දෙනාම අත්පොලසන් දුන්නේ පුදුම සතුටකින්.

මමයි රවියි ලෙස්ටර් සර්ගේ ගෙදරට යන මොහොතෙම ජනාධිපතිතුමා පැමිණියා. අපිට නිවෙසට ඇතුල්වෙන්න පුංචි ප්‍රමාදයක් වුණා. ජනාධිපතිතුමාවත්, ලෙස්ටර් සර්වත් වට කරගෙන විශාල පිරිසක් සිටිය නිසා මම ටිකක් ඈතට වෙලා හිටියා. කේක් කපලා උපන් දින ගීතය ගායනා කරලා ටික වෙලාවකට පස්සේ තදබදය අඩු වුණාම රවී මාව හොයාගෙන ඇවිත් ඇහැව්වා,

‘ඇයි සර්ට කතා කරන්නෙ නැද්ද’ කියලා.

‘තාම ජනාධිපතිතුමාත් ඉන්නව නේද?’

‘ඒකට මොකද ගිහින් කතා කරන්න.’

ජනාධිපතිතුමා, මැති ඇමැතිවරු ඉන්න අතරේ මම එතනට යන එක හරිද මන්දා කියලා හිතුණත්, කලාකරුවෙක්ගේ උපන් දිනයට ගෙදරටම ඇවිත් සුබපතන්න තරම් ලෙංගතු, නිහතමානී, සංවේදී හදවතක් තියෙන ජනාධිපති කෙනෙක් අපේ රටට ලැබීම, එවන් මොහොතක් මම ජීවත්ව ඉන්න කාලෙදීම සියැසින් දැකගන්න ලැබීම මොන තරම් වාසනාවක් ද කියලා හිතලා මම ලෙස්ටර් සර්ට සුබපතන්න ගියා. මම සර්ව කාලෙකින් දැකල තිබුණ නැති නිසා මාව අඳුරගන්න පුළුවන් වෙයි ද කියලා සැකයකුත් තිබුණා.

මම සර්ට වැඳලා ආචාර කරලා අත් දෙක අල්ලලා සුබ පැතුවා. සුමිත්‍රා ඇන්ටි ඇහැව්වා, කවුද කියලා අඳුරනවාද කියලා.

සර් මගේ දිහා බලලා හිනා වෙලා කිව්වා, මේ ප්‍රීතිනේ කියලා. ඒ පිරිසිදු මතක ශක්තිය මොන තරම් වාසනාවක්ද, අපේ අයුෂත් අරගෙ ඔහු තව චිරාත් කාලයක් නීරෝගීව ජීවත් වේවා.

ඒ මොහොතේ අවට පරිසරයේ තිබුණු පැරැණි ගෘහ භාණ්ඩ කැටයම් කළ එල්ලෙන විදුලි පහන් දැක්කම මගේ හිත අවුරුදු හතළිස් ගාණක් ඈත අතීතයට ගියා. මේ විදුලි පහන දැකපු පළමු දවසේ මගේ හිත නතර වුණා.

ජනාධිපතිතුමා, මැති ඇමතිවරු ප්‍රභූවරු, උගත්තු, විද්වත්තු, සුප්‍රසිද්ධ කලාකරුවන් මේ සියලු දෙනා සමඟ මේ මෙහොත මට ගත කරන්න ලැබුණේ අවුරුදු හතළිහකට ප්‍රථම එක් සන්ධ්‍යා යාමයක මේ ගෙදරට ගොඩ වැදුණ නිසා නේද කියලා මට හිතුණා.

කෙනකුගේ දෛවය කියන්නේ කොයි තරම් පුදුම දෙයක්ද? එක මොහොතක ඉතාම සුළු සිදුවීමකින් ඒ කෙනාගේ ජීවිතය මොන තරම් වෙනස් කරන්න පුළුවන්ද? රඟපෑමට තිබුණ සියුම් ආශාව නිසා අවුරුදු දහඅටක ලාබාල තරුණියක් වශයෙන් මම එදා මේ ගෙදරට පය තිබ්බේ සිනමාවේ පතාක යෝධයෙක් දකින්න යන කුරුමිට්ටෙක් වගේ බයේ ගැහි ගැහී. පවුල් පසුබිමෙන් තොර පිටස්තර ලෝකය ගැන අවබෝධයක්, දැනුම් තේරුමක් නොතිබුණ මට ඒ වෙලාවේ මම කවදා හරි නිළියක් වෙනවා කියලා විශාල බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. තිබුණ එකම හැඟීම බයත්, ලැජ්ජාවත් පමණයි. මම කවදාවත් හිතුවේ නැහැ ඒ හමුවීම මගේ ජීවන සහකරු සොයා ආ ගමනක් පමණක්ම බව.

1972 වසරේ සුමිත්ත අමරසිංහ මහතාගේ කැමරාවේ සටහන් වුණ මගේ ඡායාරූපයක් දැකපු සුමිත්‍රා පීරිස් මහත්මිය මට පණිවිඩයක් එවලා තිබුණා ඇවිත් මුණ ගැහෙන්න කියලා.

සුමිත්‍රා පීරිස් මහත්මියව මුණ ගැහෙන්න මම ගියේ මගේ ඥාති සොයුරු ලක්ෂ්මන් විජේසේකරත් එක්ක. මම බොහොම ලැජ්ජාවෙන් බයෙන් ආවට ලෙස්ටර් සර් සහ සුමිත්‍රා මහත්මියයි අපිව හොඳට දන්න අඳුනන කෙනෙක් දැක්කා වගේ ආදරෙන් පිළිඅරගෙන එන්න එන්න ඇතුළටම එන්න කියලා සාලේ කොනටම එක්කරගෙන ගියා. යන ගමන් සුමිත්‍රා පීරිස් මහත්මිය මගේ උඩ ඉඳන් පහළටම බලලා හරියට අඳුරන කෙනෙක් එක්ක කතා කරනවා වගේ අනේ ඔයාට ලස්සන දිග කොණ්ඩෙකුත් තියෙනවානේ කිව්වම මගේ හිතේ තිබුණ බය ගතිය ටිකක් විතර අඩු වුණා.

සාලේ කෙළවරේම තිබුණු කවිච්චියේ මටයි අයියටයි වාඩි වෙන්න කිව්වා. මට වාඩි වෙන්න කියපු තැන මගේ ඉහට උඩින් අර කැටයම් කරපු විදුලි ලාම්පුව එල්ලෙමින් තිබුණා. ලාම්පුව එයාගෙ ආලෝකය මගේ මූණටම එල්ල කරලා මාව හරිම අපහසුතාවයකට පත් කළා. පීරිස් යුවළ මගේ දිහා ඉතාම විමසිල්ලෙන් බලන නිසා මට හිතුණා අනේ මේ විදුලි පහන නොපෙනෙන තැනක මාව වාඩි කෙරෙව්ව නම් කියලා. මට මතකයි ඉතාම ලැජ්ජාවෙන් ගත කරපු ඒ මොහොතේම තිස්ස අබේසේකර මහත්තයත් නිවසට පැමිණියා. ඔහුටත් පීරිස් යුවළ අපිව අඳුන්නල දීලා මට එන්න කියපු කාරණය පීරිස් මහත්මිය පැහැදිලි කරලා දුන්නා.

‘මම ගැහැනු ළමයි කියලා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න දැනට මූලික වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා. ඒකේ ප්‍රධාන චරිතයට හුඟාක් ගැහැනු ළමයින්ව බැලුවත් මගේ හිතේ ඉන්න කෙනාව තාම හමු වුණේ නැහැ. ඒ නිසා තමයි ඔයාට මම අද එන්න කිව්වේ. රූපගත කිරීම් පටන් ගන්න නම් තව ටික කාලයක් යාවි.’

එතකොට ලෙස්ටර සර් කිව්වා, ‘එතකන් පුරුදු වෙන්නත් එක්ක දෑස නිසා චිත්‍රපටයේ රූපගත කිරීම්වලට ඇවිත් කැමරාවට කොහොමද මුහුණ දෙන්නේ කියලා පුරුදු වෙන්න’ කියලා. ඒ වෙන කොට දෑස නිසා චිත්‍රපටයේ සියලුම චරිතවලට නළු නිළියන් තෝරා ගෙන අවසන් වුණත් පොඩි චරිතයකට හරි ඉදිරිපත් වෙන්න කිව්වා.

තිස්ස අබේසේකර මහත්තයා ඔහු අධ්‍යක්ෂණය කරන කෙටි චිත්‍රපටයෙත් ප්‍රධාන නිළි චරිතයට ආරාධනා කළා.

සුමිත්‍රා පීරිස් මහත්මිය, ලක්ෂ්මන් අයියගේ පැත්තට හැරිලා කිව්වා ‘ඔයාටත් පුළුවන්නේ මගේ චිත්‍රපටයේ රඟපාන්න කියලා.’ ‘අනේ මැඩම් මම නම් රගපාන්න හිතාගෙන ආවේ නැහැ. නංගි තමයි ගෙදර හැමෝටම රඟපාලා පෙන්නන්නේ. එයා රඟපෑවම මදැයි.’

එදා එහෙම කියපු ලක්ෂ්මන් අයියා පසු කාලෙක ප්‍රසිද්ධ ගායකයෙක් වගේම නළුවෙකුත් වුණා.

මම එදා නිවසින් පිටත් වුණාම පසු කලෙක ලෙස්ටර් සර් කියපු කතාවක් සුමිත්‍රා පීරිස් මහත්මියත් ,තිස්ස අබේසේකර මහතාත් මට පැවසුවා.

‘සුමිත්‍රා දැන් ඔය කෙල්ලො හොයන එක අදින් නවත්වන්න. ඔය යන්නේ ගැහැනු ළමයි නවකතාවේ ඉන්න කුසුම්ම තමයි. ඊට වැඩිය කුසුම් කෙනෙක් ඔයාට ලැබෙන්නේ නැහැ.’

ලෙස්ටර් සර් එහෙම කිව්වත් මගේ ඉරණමේ ලියවිලා තිබුණේ වෙනම කතාවක්. ඒ මම නිළියක් නොවී නළුවෙක්ගේ බිරිඳක් විය යුතුයි කියලා. එක එක්කෙනා සංසාරේ පතාගෙන ආපු දේවල් වෙනස් කරන්න, සංසාරගත බැඳීම් නවත්වන්න කාටවත් බැහැයිලුනේ. ඒ නිසා ඒ දේවල්, ඒ විදියටම සිද්ධ වෙන්නෙ. මම ලෙස්ටර් සර්ගේ දෑස නිසා චිත්‍රපටයේ රූපගත කිරීම්වලට ගිහින් මගේ ස්වාමි පුරුෂයාව හොයා ගත්තා. නිළියක් වෙන්න ආපු මම නළුවෙක්ගේ බිරිඳ වෙන කොට ලෙස්ටර් සර්ම සාක්කියට අත්සන් කරන්න සිද්ධ වුණා පමණක්ම නෙවෙයි අපි දෙන්ගෙ පුතාගේ විවාහයටත් ඔහුගේ අත්සන ලබා ගන්න තරම් අපි වාසනාවන්ත වුණා.

ඒක තමයි දෛවය කියන්නේ.

ප්‍රීති රන්දෙණිය