වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




රතු සාරියක් ඇඳ අවසන් ගමන් ගිය ඩොරින්

රතු සාරියක් ඇඳ අවසන් ගමන් ගිය ඩොරින්

අප්‍රසිද්ධියේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය ගායිකාවක වූ ඈ කවදත් සිනහවෙන් මුව සරසාගෙන සිටි තැනැත්තියක් වූවාය.

තමන් මෙන්ම අන් අයද ලස්සනට ඇඳ පැළඳ සිටිනවා දැකීමට වඩාත් කැමැත්තක් දැක් වූ ඈ ජීවත්ව සිටියදී කර තිබූ අවසන් ඉල්ලිම ද අපූරු ආකාරයේ එකක් විය.

ඈ මියගිය පසු දේහයට රතු මිශ්‍ර ලස්සන සාරියක් අන්දවන ලෙස ඈ කර තිබූ අවසන් ඉල්ලීම විය.

එය ඒ අයුරින්ම ඇගේ සැමියාත් දරුවනුත් ඉටු කරනු ලැබීය. මීට තෙමසකට පෙර අප අතරින් විවයෝ වූ ඈ වේදිකා නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගායිකාවක වූ ඩොරින් පෙරේරාය.

කුඩා කල පටන්ම කලාවට පෙම් බැඳි ඈ කොළඹ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවාය. ඩොරින් කුඩා කළ පටන් විද්‍යාලයේ නාට්‍ය හා සංගීත ප්‍රසංග සඳහා ඉදිරිපත් වූවාය.

ප්‍රසිද්ධ නර්තන ශිල්පියෙකු වූ ශාන්ති විරාජ්ගෙන් නැටුම් විෂය ප්‍රගුණ කළ ඩොරින් ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ ගී ගායනයට ද එක් වූවාය.

එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, මොරිස් දහනායක ආදීන් සමඟ ද ගුවන් විදුලියේ ගී ගැයූ ඈ කාලගෝල ආදී වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වූවාය.

ප්‍රසිද්ධ වයලීන් වාදකයකු මෙන්ම ලංකාවේ ප්‍රථම නිහඬ චිත්‍රපටය වූ ‘පලිගැනීම’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ ඩොන් එඩ්වඩ් ඩොරින්ගේ පියාණන් විය. බණ්ඩා නගරයට පැමිණීම, ආශෝකමාලා ආදී චිත්‍රපටවලද ඇගේ පියා රංගනයෙන් දායක විය.

වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු, අධ්‍යක්ෂවරයකු මෙන්ම දක්ෂ කැමරා ශිල්පියෙකු වන ජිනදාස පෙරේරා සමඟ විවාහ වූ ඩොරින් දූ දරුවන් සත් දෙනෙකුගේ මවක් වීමට වාසනාවන්ත වූවාය.

විවාහයත් සමඟ ගීත ගායනයෙන් ඈත් වූ ඈ විටෙක පංච කළ්‍යාණි රූප සුන්දරී තරගයට ද තරඟ කළාය.