|
සෙංකඩගල රාජසිංහ රජ මැදුරේදී වැඩ අරඹයි
පාරිශුද්ධත්වයෙන් සුපෝෂිත වූ පින්බර මහනුවර මධ්‍යයෙහි පිහිටි ජනපති නිල නිවස අද වෙනදාටත් වඩා ප්‍රතාපවත්ය. රජ කල සිරි අසිරිය මවමින් හේවායන් සමූහය ජනපති මැදුර වටා පෙළ ගැසෙමින්ය. බැලූ බැල්මටම පෙනෙන්නේ එදා මහනුවර රාජධානියේ තේජාන්විතයයි. කවදත් කලාවට මෙන්ම කලාකරුවනට අත හිත දෙන රාජ්‍ය නායකයාණන්ගේ නිල නිවස මේ සූදානම් වන්නේ කලා කටයුත්තක සුබ ආරම්භයක් වෙනුවෙනි. එදා සෙංකඩගල රාජධානිය රජ කළ රාජසිංහ රජුගේ කතාන්දරය මෙවර තිරයට නඟන්නේ සුදත් රෝහණ විසිනි. මහනුවර රජ මැදුර මේ සැරැසී ඇත්තේ සෙංකඩගල රාජසිංහ නම් වූ ඒ සිනමා කෘතියේ මුහුරත් උළෙල සඳහායි. කෘතහස්ථ සිනමාවේදී තිස්ස අබේසේකරයන් විසින් තිර රචනා කළ මෙය සුදත්ගේ දෙවැනි සිනමා නිර්මාණයයි. මෙහි රාජසිංහ රජුගේ චරිතයට බිමල් ජයකොඩි සහ පිළිමතලාවේ නිළමෙගේ චරිතයට සනත් ගුණතිලකව මේ වන විට තෝරා ගෙන තිබේ. ළඟදීම රූගත කිරීම් ඇරැඹෙන සෙංකඩගල රාජසිංහ හි කැමරාව චන්න දේශප්‍රිය මෙහෙයවයි. වෙලේගෙදර රණසිංහගේ කලා අධ්‍යක්ෂණයකි. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතය මෙහෙයවයි. නිමල් විජේසිංහ සහ රාජා රණසිංහ නිෂ්පාදන කළමනාකරුවන්ය. අශෝක ආතවුදහෙට්ටි සහාය අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රසන්න වීරක්කොඩි ඇඳුම් නිර්මාණයෙන් ද මෙයට එක්වෙති. සෙංකඩගල රාජසිංහ සෙරනිටි වෙනුවෙන් එච්. ඩී. ප්‍රේමසිරි ඇතුළු පිරිසගේ නිෂ්පාදනයකි.
තිස්ස අබේසේකරයන් රචනා කළ සෙංකඩගල රාජසිංහ පිටපත නිලවශයෙන් ජනාධිපතිතුමන් අධ්‍යක්‍ෂවරයාට භාරදුන් මොහොත. නිෂ්පාදක එච්. ඩී. ප්‍රේමසිරි මෙන්ම අසංකා අබේසේකර මහත්මිය ද ඡායාරූපයේ වෙති.
රාජසිංහ රජුට පණපොවන බිමල් ජයකොඩි
එදා සිරිසර මැවූ අයුරු
ජැක්සන් ඇන්තනි
|