වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




අපි නිර්මාණය කරන්නේ හැමෝටම නැරැඹිය හැකි ටෙලි නිර්මාණ

අපි නිර්මාණය කරන්නේ හැමෝටම නැරැඹිය හැකි ටෙලි නිර්මාණ

ආනන්ද අබේනායක

වර්තමානය වන විට ටෙලිවිෂනයේ වැඩි කාල වේලාවක් වගේම ප්‍රේක්ෂක ආකර්ෂණයත් දිනා ගැනීමේ සටනක නිරතව සිටින්නේ ටෙලි නාට්‍යයි.

විවිධාකාර වූ කතා තේමාවන් රැගත් එකිනෙකට සමාන වූ, වරෙක අසමාන වූ ද මේ ටෙලි නාට්‍ය අද විකාශය වෙනුවෙන් පෝලිම් ගැසී තරඟයක නියැලී සිටිති. එහෙත් එවායේ හරවත් බව පිළිබඳ අද බොහෝ දෙනාට ඇත්තේ විශාල ගැටළුවකි.

එහෙත් එය වෙනස් වන එක් දිනයක් ද වෙයි. ඒ පොහොය දිනයයි. ඒ එදිනට ජීවිතයට යථාවබෝධය ද රැගෙන ‘සංසාරේ පිය සටහන්’ පැමිණීම හේතුවෙනි. මිනිස් ජීවිතයට ආදර්ශයක් වෙමින් අගනා නිර්මාණ සමඟින් සංසාරේ පිය සටහන් සෑම පොහොය දිනකම රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ ඔබ හමුවට පැමිණේ.

එම පැමිණීම අද තවත් කඩඉමකට පැමිණි අවස්ථාවයි මේ. එනම් ජීවිතයට මඟ පෙන් වු ආදර්ශයක් වූ සංසාරේ පිය සටහන් විසි එක් වසරක සැමරුමයි.

මෙවැනි වූ ආදර්ශවත් දේ තිළිණ කරන්නට පුරෝගාමී වූවන් අතර සංසාරේ පිය සටහන් අධ්‍යක්ෂණයට උර දෙන ආනන්ද අබේනායක සමඟින් අද අපි කතාබහක නියැළෙමු.

* සංසාරේ පිය සටහන් සමාරම්භය සිහිපත් කරමින් මේ කතාබහ ආරම්භ කරමු?

සමාජයට යහපත් පණිවුඩ ලබාදීමේ පරමාර්ථය පෙරදැරිවයි අපි මේ කාර්යය ආරම්භ කරන්න යෙදුණේ. එදා මමත් සමඟින් සෝමවීර සේනානායක සහ රාජා අබේනායක ද මේ වෙනුවෙන් පුරෝගාමීව කටයුතු කළා. සංසාරේ පිය සටහන් සමාරම්භක ටෙලි නාට්‍ය වූයේ ‘තවත් පෙරහැරක්’.

එහි පිටපත රචනය වුණේ සෝමවීර සේනානායක අතින්. සංගීතය රෝහණ වීරසිංහ ද, සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේ, කලා අධ්‍යක්ෂණය රොහාන් සමරදිවාකර සහ කැමරාකරණය සමන් සිගේරා අතින් සිදු කෙරුණා. මෙලෙස නිර්මාණය වූ සංසාරේ පිය සටහන් පෝදා ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රථම ටෙලි නාට්‍ය 1993 නොවැම්බර් පුන් පොහෝ දින විකාශය වුණා. ඒ සඳහා රංගනයෙන් දායක වුණේ ජයලත් මනෝරත්න සමඟින් චාන්දනී සෙනෙවිරත්නයි.

* සංසාරේ පිය සටහන් අනෙකුත් ටෙලි නාට්‍ය අතරේ සුවිශේෂ වෙන්නක්?

ඇත්තටම ඔව්. සංසාරේ පිය සටහන් බෞද්ධ චින්තනය මූලික කර ගනිමින් නිර්මාණය කෙරෙන ටෙලි නිර්මාණයක්. ටෙලි නිර්මාණයක් ජනතාවට ප්‍ර‍්‍රදර්ශනය කරනවාට වඩා එහා ගිය පරමාර්ථයක් එය හා සම්බන්ධ වෙනවා. සමාජයට ආදර්ශවත් පණිවිඩ ලබා දෙමින් ජීවිතයේ සාර්ථකත්වයට අත්වැලක් වීම අපි අරමුණු කර ගත්තා. මේ නාට්‍යයට පාදක වුණේ අපේ වටපිටාවයි. අපි ජීවත්වන සමාජයයි. එහිදී මිනිසුන් මුහුණ දෙන ගැටළු, ඒවාට උපදෙස්, ආදර්ශ ඒ පිළිබඳ බෞද්ධ ආකල්ප ද සමඟින් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමයි සංසාරේ පිය සටහන් තුළින් අපි කළේ. ජනතාව එය පිළිගත්තා.

* මේ වෙනුවෙන් කතා තේමා තේරා ගන්නේ කොහොමද?

සංසාරේ පිය සටහන් ටෙලි නාට්‍ය මාලාවට තේමා වෙන්නේ බෞද්ධ ආකල්ප. දහම් පණිවුඩ ජනතාවට ආදර්ශවත් ලෙසින් සමීප කරවන්න සංසාරේ පිය සටහන් තුළින් අපි බලාපොරොත්තු වෙනවා. මුල් කාලයේදී පිටපත් රචනා කළේ සෝමවීර සේනානායක විසින්. වර්තමානයේ තවත් අය විසින් ද මේ වෙනුවෙන් පිටපත් රචනා කරනවා. පිටතින් එවන අයගේ ද පිටපත් සුදුසු නම් තෝරා ගැනෙනවා. කෙසේ වෙතත් ජනතාවට අවබෝධ කරගත හැකි පරිදි ඔවුන්ගේ මනස සුවපත් කරන ධර්මාන්විත කරුණු සමාජගත කිරීමටයි සංසාරේ පිය සටහන් තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ.

* වර්තමානයේ වාණිජ පරමාර්ථ මූලිකව ඇති ටෙලි නාට්‍ය කලාව තුළ එයට අනුගත නොවී මේ තරම් කාලයක් පුරා සාර්ථකව පැමිණීමට හේතු ලෙස ඔබ සිතන්නේ?

මැලිබන් සමාගමේ අනුග්‍රහයෙන් තමයි එදා අපි මෙය ආරම්භ කළේ. ඔවුන් අපට වසර ගණනාවක් පුරා දැවැන්ත දායකත්වයක් ලබා දුන්නා. පසුකාලීනව තවත් අනුග්‍රාහකයන් දායක වුණා. ජාතික ලොතරැයි මණ්ඩලය, සම්පත් බැංකුව ආදී අනුග්‍රාහකයන්ගේ වටිනා අනුග්‍රහය මත මේ දක්වා සාර්ථකව දශක දෙකකට වැඩි කාලයක් සාර්ථක ගමනක යෙදෙන්න හැකි වුණා. ඒ වගේම සංසාරේ පිය සටහන් හි හරවත් බව ජනතාව අවබෝධ කර ගැනීමත් මෙහි එක කොටසක්. ප්‍රේක්ෂක ප්‍රතිචාරත් මේ සාර්ථකත්වයට සවියක්.

* සංසාරේ පිය සටහන් හි ඉලක්ක ගත විශේෂ ප්‍රේක්ෂක කොට්ඨාශයක් සිටිනවාද?

පොදුවේ අපි හැමෝටම අවබෝධ කරගත හැකි පරිදි ආදර්ශවත් පණිවුඩ නිර්මාණශිලීව ගෙන ඒමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි නිර්මාණය කරන්නේ හැමෝටම නැරඹිය හැකි ටෙලි නිර්මාණ. බොහොමයක් දෙමාපියන් තම දරුවන්ට මේ සඳහා උනන්දු කරවන බව අපි දන්නවා. දෙමව්පියන් හැම විටම දරුවන්ට ලබා දෙන්නේ හොඳ දේවල්. සංසාරේ පිය සටහන් බාල, වැඩිහිටි, මහළු කාහටත් හොඳ ආදර්ශයක්.

* ඔබ මෙහිදී ඉතා අඩු ශිල්පීන් සංඛ්‍යාවක් සේම නව මුහුණු යොදා ගැනිම සුවිශේෂ වෙනවා?

මෙය ඒකාංගික ටෙලි නාට්‍යයක්. අපට ලැබෙන්නේ මිනිත්තු 20 ක පමණ විකාශන කාලයක්. මේ කාලය පුරා අප දෙන පණිවුඩය සාර්ථකව ජනතාව වෙත ගෙන යා යුතු වෙනවා. අනෙකුත් ටෙලි නාට්‍යවලදී මෙන් නොව අපට චරිතයක් හඳුන්වාදීමට ලැබෙන්නේ විනාඩි 5 ක් වගේ කාලයක් පමණයි. ඒ නිසා වැඩි චරිත සංඛ්‍යාවක් අපට මේ වෙනුවෙන් යොදා ගන්න හැකි වෙන්නේ නැහැ.

ඒ වගේමයි අපි මේ තුළින් නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් පුංචි තිරයට ගෙන එන්න උත්සාහ කරනවා. මේ හරහා පැමින අද රංගන ක්ෂේත්‍රයේ ඉහළ තලයේ රැඳී සිටින ශිල්පින් ශිල්පිනියන් රැසක් සිටිනවා. නවක දක්ෂයන්ට සංසාරේ පිය සටහන් හි ඉඩකඩ වෙන්වන බව ඉතා කැමැත්තෙන් පවසන්න කැමැතියි.

* සංසාරේ පිය සටහන් කියන්නේ මෙරටදී වගේම ජාත්‍යන්තර වශයෙනුත් සම්මානනීය වූ ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවක්?

එදා මෙදාතුර සම්මානනීය වූ අවස්ථා ගොඩක් තියෙනවා. 1996 වසරේ විකාශය වූ හරිජනයෝ සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය ලෙසින් සම්මාන දිනා ආරම්භ වූ එය සිල් සුවඳ (2001), ජීවිතය දුටුවෙමි (2002), මගියා (2003), හොඳම ගුරුතුමී (2005), ඔහු මිය ගියේය (2006), හිමිදිරි කළුවර (2006), පුංචි උපාසිකාව (2007), ඔලොගුව (2007), උණුසුම (2008), මිනිස්සු (2009), ගිජු (2009), ජීවිතයට අමුත්තෙක් (2010), ස්නේහය (2010), කම්පන (2011), වැඩිහිටියෝ (2012), බුද්ධ (2012) සහ සංක්‍රාන්තිය (2012) රාජ්‍ය ටෙලි සම්මාන, සුමති හා රයිගම් සම්මාන උළෙලවල හොඳම ඒකාංගික ටෙලි නාට්‍යයට හිමි සම්මාන දිනා ගත්තා.

1999 වසරේ විකාශනය වූ කොහොඹ යක්කු ටෙලි නාට්‍ය ජපන් ප්‍රයිස් ජාත්‍යන්තර සම්මාන උළෙලේ විශිෂ්ටතම වැඩසටහන සඳහා ජූරියේ සම්මානය ද, ජර්මනියේ සහ චෙකොස්ලොවැකියාවේ සහ අමෙරිකාවේ පැවැති ජාත්‍යන්තර සම්මාන උළෙලවල අවසන් වටයේ නිර්දේශිත ටෙලි නාට්‍ය අතරට ඇතුළත් වුණා. 2008 වසරේ වීර්ය ටෙලි නාට්‍ය ජපන් ප්‍රයිස් ජාත්‍යන්තර සම්මාන උළෙලේ හොඳම වැඩසටහන් යෝජනාව ලෙස ප්‍රථම ස්ථානයත් 2002 වසරේ එතැන් සිට නාට්‍ය ජර්මනියේ ප්‍රි ජුනෙස් ජාත්‍යන්තර සම්මාන උළෙලේ අවසන් වටයටත් නිර්දේශ වීම සංසාරේ පිය සටහන් ලද සුවිශේෂ ජයග්‍රහණයන්.

ඒ වගේමයි ජර්මනියේ පැවැති ප්‍රි ජුනෙස් ජාත්‍යන්තර සම්මාන උළෙලේදී ‘එතැන් සිට’ ටෙලි නාට්‍ය ප්‍රදර්ශනයෙන් අනතුරුව අමෙරිකාව, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක්ම එහි ඩීවීඩී පට අපෙන් ඉල්ලා සිටියා. ඒ එරට පාසල්වල පෙන්වන්න. බෞද්ධ පණිවුඩයක් එවැනි රටවලට යවන්න ලද ඒ අවස්ථාව ගැන තියෙන්නේ ලොකු සතුටක්.

* සංසාරේ පිය සටහන් 21 වැනි වසර සැමරුම පිළිබඳත් සටහනක් තබමු?

විසි එක් වැනි වසර නිමිත්තෙන් චාම් උත්සවයක් ලබන 28 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ බී කමිටු ශාලාවේදී පවත්වන්න කටයුතු සූදානම් කර තිබෙනවා. බෙල්ලන්විල විමලරතන නායක හිමිගේ මූලාසනයෙන් ඇරඹෙන එහි ප්‍රධාන දේශනය පවත්වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින්. එදින සංසාරේ පිය සටහන් හි පළමු ටෙලි නාට්‍ය ‘තවත් පෙරහැරක්’ සහ විශේෂිත නිර්මාණයක් වූ ‘බුද්ධ’ ටෙලි නාට්‍යයත් විකාශය කරන්න සූදානම්. එසේම පසුගිය විසි එක් වසර පුරාවටම නිර්මාණශීලී දායකත්වය ලබා දුන් ශිල්පීන්ට හා අනුග්‍රාහක ආයතනවලට සම්මාන ප්‍රදානයත් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.