වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




දෙපාරක් තුන් පාරක් ට්‍රයි කළා බැරිම තැන පැනල ගියා

දෙපාරක් තුන් පාරක් ට්‍රයි කළා බැරිම තැන පැනල ගියා

පරාවළලු ටෙලි සිතුවමේ දේවිකාව ඔබ හඳුනනවාද? මේ ඉන්නේ ඇය. අසන්තිකා රණසිංහ තමයි ඇගේ ඇත්ත නම. ඊයේ පෙරේදා ඉඳලා ටෙලි සිතුවම් රැසකින් ඔබ හමුවට එනවා. ඇය රංගනයට පිවිසෙන්නේ 1998 අවුරුද්දේ. ඒ කඳපොළ කුමාරතුංගගේ නොහඬන් අම්මේ චිත්‍රපටයෙන්. එහි ප්‍රධාන චරිතය වූ ගැමි දැරියට පණ පෙව්වේ අසන්තිකා.

මං ඉතින් පළමුව ඇයගේ ඒ ඉතිහාසය විමසා සිටියා.

ස්වර්ණවාහිනිය පටන් ගත්තු කාලේ මං එහෙට යනවා එනවා විවිධ වැඩසටහන්වලට සහභාගී වෙන්න. එහිදී මාව දැකලා චිත්‍රපටයකට කතා කළා. එතකොට මං පාසල් යනවා.

* රංගනයට පළමු ඇරැයුම ඒකද?

නැහැ. ඊට කලින් අධ්‍යක්ෂවරු මාව දැකලා රංගනයට ඇරැයුම් කරලා තිබුණා. ඉන්දියාවේ නිර්මාණයකට පවා කතා කළා. ඒත් මං ගියේ නැහැ ඉගෙනුම් කටයුතු නිසා. මාව දැකපු බොහෝ දෙනෙකුගෙන් රංගනයට පැමිණි ආරාධනා අනන්තයි. මං දන්නේ නැහැ මොකක් ද ඊට හේතුව කියලා. මං හිතන්නේ මගේ රූපය නිසා වෙන්න ඇති.

* නොහඬන් අම්මේ චිත්‍රපටයෙන් පසුව?

චෙරියෝ හොල්මන් චිත්‍රපටයට දායක වුණා. මගේ පළමු නාට්‍ය වුණේ නිහාල් ප්‍රනාන්දුගේ දෙහදක් අතර. හිත ගොඩක් කලකිරුණා ඒ නාට්‍යයෙන් පස්සේ.

* ඒ මොකෝ?

දෙහදක් අතර නාට්‍යය අපි කළේ හරිම කැපවීමෙන්. එයට වෙච්ච මහන්සිය ගැන දන්නේ අපි විතරයි. එච්චර අමාරුවෙන් කරපු නාට්‍යය වාරණ මණ්ඩලයට හසුවෙලා පෙන්න්න බැහැ කියලා තීරණය වුණා. මට ඒක හින්දා සමස්ථ නාට්‍ය කලාවම එපා වුණා.

* ඔබ කාලයක් නිහඬ වන්නේ ඒ හේතුව නිසාද?

ඔව්.

* නැවතත් ඔබ රඟපාන්න එන්නේ?

චාමර ජයවීරගේ සිහින කුමරියක් නාට්‍යයෙන්. ඊට පසුව දූවරු, තරු අහසට ආදරෙයි, මුතු පලස සහ පාරාවළලු.

* ඔබ නිර්මාණ ගණනාවකටම සම්බන්ධ වී හිටියත් ඔබේ පුවත්පත් සාකච්ඡාවක් කිසිදු පත්තරේක මං දැකලා නැහැ?

පුංචි ලිපි දෙක තුනක් නම් ගිහිල්ලා තියෙනවා. ‘සරසවිය’ට කරන මගේ පළමු ලිපියත් මේකයි.

* එහෙම හමුවන රසික රසිකාවන් ඔබව මනින්නේ ඔබව දකින චරිතයකින්. නමුත් පුවත්පත් ලිපියකින් ඔබ කවුද කියලා හරියටම දැනගන්නවා නොවේද?

මං හිතන්නේ ඔබ ඔහොම කිව්වට මට කවුරුවත් බනින්නේ නැහැ. පාරාවළලු මගේ චරිතය කතාවට අනුව මුලදි නපුරුයි. ඉතින් එහෙම නම් මට මිනිස්සු දොස් කියන්න එපායැ. නමුත් මේවනකම් එහෙම වෙලා නැහැ.

* මා දන්නා විදිහට ඔබ රැකියාවක් කළා?

ඔව්. පෞද්ගලික ආයතනයක තාක්ෂණික උපදේශකවරියක් ලෙස සේවය කළා. නමුත් ඒ රැකියාවට අනුව නිතර විදෙස්ගත වෙන්න සිදු වෙනවා. ඒ හින්දා මා ඉන් අයින් වුණා.

* මං ඔබේ පෞද්ගලික විස්තර ටිකක් ඇහැව්වොත්?

අහන්න හැබැයි මම මගේ සීමාවේ ඉඳලා උත්තර දෙන්නම්.

* ආදරය ගැන මොකද හිතෙන්නේ?

හොඳයි, සුන්දරයි.

* ආදරයෙන් පැරදිලා තියෙනවාද?

ඒකට ඔව් කියන්නත් බැහැ, නැහැ කියන්නත් බැහැ.

* ඒ කිව්වේ?

මට ආදරවන්තයෙක් හිටියා.

* ක්ෂේත්‍රයේ කෙනෙක්ද?

මට හමුවෙන කොට නම් එයා ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. නමුත් අද වන විට ඔහු නළුවෙක්.

* මොකද ඒ ආදරයට වුණේ?

නවත්වන්න සිද්ධ වුණා.

* ගෙදරින් අකැමැති වුණාද?

නැහැ. වයසෙ ප්‍රශ්නයක්.

* ඔහු ඔබට වැඩිය ගොඩක් වැඩිමහල්ද?

එහෙම නම් කමක් නැහැ. ඒත් එයා මට වැඩිය බාලයි.

* ඔබ සහ ඔහු එකට රඟපාලා තියෙනවාද?

තවම නැහැ. ඒ අවස්ථාව උදාවෙන්නත් එපා.

* අසන්තිකා සාමාන්‍යයෙන් චිත්‍රපට නරඹනවාද?

ලංකාවේ ඒවට වඩා මං විදෙස් චිත්‍රපටයි නරඹන්නේ.

* ලංකාවේ චිත්‍රපටවලට ආස නැතිද?

මම හිතන්නේ ලංකාවේ චිත්‍රපටවලට වැඩිය විදෙස් චිත්‍රපටයකින් ඉගෙන ගන්න පුළුවන් අවස්ථා වැඩියි.

* අසන්තිකා ක්ෂේත්‍රයේ වැඩිපුරම ළඟින් ඇසුරු කරන්නේ කාවද?

රෙබෙකා නිර්මලී අක්කව මං දිගු කාලයක් තිස්සේ අතිශය ළඟින් ඇසුරු කළා. අද ඇය නැහැ කියලා දැනෙද්දී තවමත් හිත වාවන්නේ නැහැ.

* ඔබ රංගනයට මෙන්ම නිවේදනයට ද ඇරැයුම් ලැබුණා කියලා ආරංචියි?

ලැබුණා, ලැබුණා. ඒත් මං ස්ටුඩියෝ එකෙන් පැනලා ගෙදර ආවා.

* කාටවත් කියන්නේ නැතුව?

ඔව්. මට ස්ක්‍රිප්ට් එකක් දීලා එයාලා මට එනවුසිං කරන්න කිව්වා. දෙපාරක් තුන් පාරක් ට්‍රයි කළා. බැරි වුණා. අන්තිමේ කාටවත්ම බායිවත් නොකියා හොරෙන් පැනලා ගෙදර ගියා. මට ස්ක්‍රිප්ට්වලට එනවුසිං කරන්න බැහැ.

* ඒත් රඟපාන කොට පිටපතකට අනුව නේද රඟපාන්න වෙන්නේ?

ඒ රඟපාන කොටනෙ. මට එතකොට නම් දෙබස් මතක තියා ගන්න පුළුවන්.

* අසන්තිකාගේ ගෙවල් කොහෙද?

මම අතුරුගිරියෙ.

* පාසල?

කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලය.

* උපන් දිනය?

ජනවාරි විසි එක.

* පවුලේ තොරතුරු?

අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි මල්ලියි. තාත්තා ව්‍යාපාරිකයෙක්.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වමු?

මම මිනිස්සුන්ට උදව් කරන කෙනෙක්.