වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සමන් පිච්ච මල් අරණක කවි, ගී පබැඳූ ගාමිණී...

සමන් පිච්ච මල් අරණක කවි, ගී පබැඳූ ගාමිණී...

ගාමිණී ෆොන්සේකා නමැති කවියා, ගී පද රචකයා, සිත්තරා පිළිබඳ මහාචාර්ය සුනිල් ආරියරත්න මතක වත . . .

ගාමිණී ෆොන්සේකා, හෙළ සිනමාවේ ‘සක්විති’ වූයේ රංගනයෙන් හා අධ්‍යක්ෂණයෙන් ඔහු පෑ විශිෂ්ට ප්‍රතිභාව නිසාවෙනි. එහෙත් එතුමන්ගේ කලා හැකියාවන් තවත් ඉසව් කිහිපයකම විසිරී පැතිරී තිබූ බව අපට රහසක් නොවේ. චිත්‍ර කලාවට, මෙන්ම කවියට හා ගී පද රචනයට බෙහෙවින්ම ඇළුම් කළ ඔහු විටෙන් විට එකී මාධ්‍යයන් ඔස්සේ සිය නිසඟ ප්‍රතිභාව විදහාලූයේ ගාමිණී ෆොන්සේකා මුද්‍රාව එහි සළකුණු කරමිනි.

‘ගාමිණී ගී මිණි’ කවියෙන් ගීතයෙන් හා සිතුවමෙන් ඔහු පෑ සුරුවිරුකම් එක්තැන් කළ අපූර්ව ග්‍රන්ථයකි. ඔහුගේ දස වැනි ගුණ සමරුවට සමගාමීව එය එළි දැක්වෙන්නේ මේ මහා කලාකරුවාණන්ට උපහාර පිණිසය.

මෙරට විශිෂ්ටතම ගේය පද රචකයා ලෙස මහාචාර්ය සුචරිත ගම්ලතුන් හඳුන්වා දුන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අප හා මෙසේ එක් වන්නේ ගාමිණී නමැති සොඳුරු කවියා, ගී පද රචකයා පිළිබඳ අපූර්ව තොරතුරු ඔහුගේ අත්දැකීම් ඔස්සේ අප වෙත ගෙන එන්නටය.

ගාමිණී ෆොන්සේකා මගේ ජීවිතයට වඩාත් සමීප වුණේ නළුවෙක් හැටියට නෙවෙයි, කවියකු හැටියට. ඔහුත්, මාත් අතර ප්‍රථම හමුව සිදු වුණේ ‘සරුංගලේ’ චිත්‍රපටය ඔස්සේයි. ඒ ඔහු කවි කුරුටු ගෑ යුගයක්. ඒ කාලේ රත්මලානේ ඔහුගේ නිවසේ ඔහුත් සමඟ රාත්‍රීන් විශාල ප්‍රමාණයක් ගත කරලා තියෙනවා නොයෙකුත් සාහිත්‍ය හා කලාව පිළිබඳ කතාබහත් එක්ක.

ඇත්තටම ‘සරුංගලේ’ චිත්‍රපටයේ ආකෘතිය ඔහුගේ යෝජනාවක්. මම යාපනය විශ්ව විද්‍යාලයේ ඉන්න බව දැනගෙන තමයි ‘සරුංගලේ’ චිත්‍රපටයේ සැකිල්ල ඔහු මට කියන්නේ. ඒ කතාව කෙටි චිත්‍රපටයකට නගන්න අතීතයේ දවසක ඔහු කේ. ගුණරත්නම් මහත්මයා එක්ක සැළසුම් කර තිබී තියෙනවා ‘සිනමාස්’ සමාගම වෙනුවෙන්. ඒක කෙරුණේ නෑ. ඊට අවුරුදු පහළොවකට විතර පස්සේ තමයි ඔහු මට මේ යෝජනාව ගෙනෙන්නේ. ඒ අනුව තමයි ‘සරුංගලේ’ නිර්මාණය වුණේ.

ඒ කාලේ ගාමිණී නිරන්තරයෙන්ම මට උදේ පාන්දර දුරකතන ඇමතුම් ලබා දෙනවා. මම ජීවිතයේ දීර්ඝතම දුරකථන ඇමතුමකට සවන් දීලා තියෙනවා නම් ඒ ඔහුගේ දුරකථන ඇමතුමකට. ඒ හුඟක් වෙලාවට කලාව හා සම්බන්ධ දේවල්වලිනුත් ඔහු කතා කළේ කවිය ගැන. ඔහුට රාත්‍රී කාලයේ යම්කිසි කවියක් ලියැවුණොත් එක්කෝ මම ඒ ගැන කතා කරන්න ඔහුගේ නිවසට යා යුතුයි. එහෙම නැතිනම් මේ කවිය ලියැවුණ හැටි දුරකතනයෙන් පැය ගාණක් ඔහු මට කියනවා.

ඊටත් පෙර තමයි ගාමිණී මයුරිගේ කතාව චිත්‍රපටයට අමරදේවයන් ගයන ‘සුදෝ මම ආදරෙයි’ ගීතය ලියා තිබුණේ. දෙදෙනකුගේ ආදරයට මැදි වූ තරුණියකගේ වේදනානත්මක දෝංකාරය ඒ ගීතයේ තිබුණා.

ඔහු කවියක් හෝ ගීතයක් ලිව්වට පස්සේ ඒ ගැන කතා කරලා, අදහස් විමසලා ඊට පස්සේ ඒක පොඩි කරලා කුණු කූඩයට දමනවා. එහෙම පුරුද්දක් ඔහුට තිබුණා. ‘මේක මහා අපරාධයක්, ඇයි මේ විදිහට කරන්නේ’ කියා මා ඔහුගෙන් අහපුවාම ඔහු කියනවා ‘නෑ මේවා මම ලියන්නේ එකතු කරලා ළඟ තියා ගන්න නෙවේ. හිතට වද දෙන දේවල් තමයි එහෙම ලියන්නේ’ කියලා. ඕනෑම කවියකු, නිර්මාණකරුවකු ඔහුගේ සිතට වද දෙන දේවල් තමයි ලියන්න පටන් ගන්නේ. දැන් ගාමිණී ෆොන්සේකාගේ කවිත් එහෙමයි. ඔහුගේ හිතට වද දුන් දේවල් ඔහු පත් ඉරුවක් මත නිරන්තරයෙන් කුරුටු ගෑවා.

තවත් විශේෂ කාරණාවක් තමයි ඔහු ලියන කවියක් හෝ ගීතයක් සංශෝධනය කරනවාට ඔහු කැමැති නෑ. මොකද පසු කලෙක ඔහු ඉතාම හිතවත් වුණාට පස්සේ දවසක් මම කිව්වා ‘සුදෝ මම ආදරෙයි’ කියන වචන පේළියට එච්චර කැමැති නෑ කියලා. එතකොට ඔහු ඇහුවා ඇයි අකැමැති කියලා. ඒ වදන්වල බොළඳ ගතියක් තිබෙන බව මා පැවසූ විට ඔහු මට දුන්නේ අපූරු පිළිතුරක්. ‘නෑ ඕකෙ වැරැද්දක් නෑ. මගේ ගුරුවරයා අරිසෙන් අහුබුදු. එතුමා ලියලා තියෙනවනේ ‘මාගෙ සුදා මාගෙ සුදා තාම නෑ’ කියලා. ‘සංදේශය’ චිත්‍රපටයේ ලතා වල්පොල ගැයූ ‘රෑන ගිරා රෑන අඹේ මී බිබී’ කියන ගීතයේ කොටසක් එය. ‘සුදා’ කියන වචනය එහෙම බොළඳ එකක් කියලා පිළිගන්නේ නෑ කියලා ඔහු කිව්වා.

කලා නිර්මාණවලදී ඔහු ඒ වගේ හරිම මුරණ්ඩුයි. ඇත්තටම මම ‘සරුංගලේ’ චිත්‍රපටයේ ‘බඹරිදු, බඹරිදු’ ගීතයේ වචන මේ මේ විදිහට යොදමුද කියා ඔහුට යෝජනා කළා ගීත රචකයෙක් හැටියට. ඒත් ඔහු ඒ එක වචනයක්වත්, එක අකුරක්වත් එහා මෙහා කරන්න කැමැති වුණේ නැහැ. ‘සරුංගලේ’ කරන කාලේ අපි යාපනයේ නැවතී හිටියේ. දවසක් ඔය ගී පද රචනය මට දීලා ඔහු ඇහුවා ‘මේක මොකක් ද කියලා හිතාගන්න පුළුවන් ද’ කියලා. මේ ගීතයෙන් කියැවෙන්නේ මල් සහ බඹරුන් ගැන. ඒ කියන්නේ දෙපාර්ශවයක් අතර තිබෙන මිත්‍රත්වය, සහයෝගීතාව. ‘මේ සරුංගලේ චිත්‍රපටයේ කතාවනේ’ කියා මං ඔහුට පැවසුවා. ඔහු කියපු දේ තමයි මම ඕක ලිව්වේ මේ චිත්‍රපටයට තමයි. කැමැති නම් ගන්න’ කියලා.

‘සක්විති සුවය’ චිත්‍රපටයට ඔහු ටැක්සිකාරයෙක් ගැන ගීතයක් ලිව්වා. ‘නොමියෙන මිනිසුන්’ චිත්‍රපටයේ තේමා ගීතය ලිව්වා. එය ගායනය කළේ පණ්ඩිත් අමරදේවයන්. ඒ අතරේ ඔහු කවිත් ලියාගෙන ගියා. ඔහු ප්‍රිය කළ සංගීතඥයන් අතරෙන් කෙනෙක් වික්ටර් රත්නායක. ඒ අනුව වික්ටර්ට මම ගාමිණී ලියූ ගී පදමාලා කිහිපයක් ලබා දෙනවා. මම මුලින්ම ඇහුවේ ‘සුදෝ මම ආදරෙයි’ ගීතය වුණාට ඔහු මුලින්ම ලියා තිබුණේ ‘සොඳුර නුඹ මට මව් වෙයන්’ කියන ගීතය. ඒක හරි අපූරු අදහසක්. ඔහු මේ මගේ මව වෙන්න කියන්නේ තමන්ගේ බිරියට. ඉතාම අපූරු කාව්‍යමය සංකල්පයක්.

ඒ වගේම තමයි ඔහු වික්ටර් රත්නායකයන්ට ලියූ ‘අහිමි වුණත් නුඹ ළඳේ’ ගීතය. ඇත්තෙන්ම ඒ ගී තනු පවා නිර්මාණය කරන්නේ අපි එකට එකතු වෙලා. ගාමිණී ෆොන්සේකා, මම, වික්ටර් රත්නායක අපි එකට ඉඳගෙනයි මේ තනු නිර්මාණය කරන්නේ. ගාමිණී පුදුම සෞන්දර්යකාමියෙක්. ඔහුගේ රත්මලානේ නිවසේ ඔහු ඒ සඳහා සූදානම් වන්නේ ඔහුගේ කාමරය පුරා සමන් පිච්ච මල් අතුරලා, හඳුන්කූරු පත්තු කරලා. වෙනම පේවෙලා. එහෙම තමයි ඔහු අපේ සංගීත සාකච්ඡා, ගී තනු නිර්මාණය කරපු අවස්ථා සූදානම් කළේ. සිය කාමරය ‘ගඳ කිළියක්’ බවට පත් කරලා තමයි ඔහු ඒ කාර්යයට අත ගැසුවේ.

ගාමිණීට සංගීතය පිළිබඳ හොඳ ඉවක් තිබුණා. ගුවන් විදුලියට ඔහු ගායනා කළ ගීතයක් හෝ දෙකක් තියෙනවා. නමුත් ඇත්තටම මම ඒ ගීත අහලා නෑ. ඔහු එහෙම ප්‍රසිද්ධියේ ගීත ගායනා කළේ නෑ. ඒ ඇයි කියලා ඔහු කිව්වෙත් නෑ. මම ඇහුවෙත් නෑ. ඔහුට පියානෝ වාදනය කිරීමේ හැකියාවකුත් තිබුණා. ඒ නිවසේ පියානෝවක් තිබුණා. ඒ නිසා ඇත්තටම ගාමිණීට ගී පද රචනා කලාව, කවි කලාව වගේම සංගීතය පිළිබඳවත් යම් ඉවක්, දැනුමක් තිබුණා.

පසු කලෙක මම ඔහුගේ නිවසට ආ ගිය වෙලාවලදී ඔහු විසි කරපු කවි, ගී, ලිපි ගොනුවක එකතු කළා. මම කිව්වා දවසක අපි මේ කවි ටික මුද්‍රණය කරමු කියලා. ඒ නිසා පසු කලෙක ඔහුට අදහසක් තිබුණා ඒ කාර්යය කරන්න. වරෙක ඔහු මට අත් පිටපතක් පවා පෙන්නුවා. ඔහුට සිංහල බස ඉගැන් වූ අරිසෙන් අහුබුදුවන්ටත් මේ කවි ගීත ඉරා විසි කරන එක මහා පවක් කියා පෙන්වා දුන් සුනිල් ආරියරත්නයන්ටත් කියා තමයි ඔහු මේ පොත පුදලා තිබුණේ.

ඔහු ලියූ කවි අතර සදැස් හා නිසදැස් කාව්‍ය දෙවර්ගයම තිබුණා. ඇත්තෙන්ම ඔහුගේ මේ කවි කලාව ඔහු නළුවෙක් වුණාට පස්සේ ආරම්භ කළ දෙයක් නෙවේ. මොකද දැන් මේ පොතේ සඳහන් වෙනවා අරිසෙන් අහුබුදු ශූරීන් ළඟ තබා ගත්ත, පාසල් සමසයේදී ගාමිණී ලියූ කවි පංතියක්. එය සමුද්‍රඝෝෂ විරිතෙන් ලියා තිබූ සිව්පද කවි රචනයක්. ඒක ඇත්තටම පාසල් සාහිත්‍ය තරගයකදී ජයග්‍රහණය කළ රචනාවක්. අරිසෙන් අහුබුදුවන්, ගාමිණී ෆොන්සේකා ශිල්පියාට, තමන්ගේ ගෝලයාට දැක් වූ ආදරය නිසා මේ කවි පෙළ ආරක්ෂා කරගෙන ඉඳලා මේ පොතට ඇතුළත් කරලා ඒ ග්‍රන්ථයට නමක් යෙදුවා ‘ගාමිණී – ගී මිණි’ කියලා. ඒ විතරක් නෙවේ මේ ලිපි ගොනුව ශුද්ධ පවිත්‍ර කරලා, අක්ෂර වින්‍යාස දෝෂ දුරු කරලා එය සංස්කරණය කරන්නට පෙළඹුණේ අරිසෙන් අහුබුදුවන්. ඇත්තටම ගාමිණී ෆොන්සේකා පදනමේ සභාපති දමිත් ෆොන්සේකාට අවශ්‍ය වුණා මේ කෘතිය අරිසෙන් අහුබුදුවන් ජීවත්ව සිටි කාලයේ එළි දක්වන්න. එය නොහැකි වුණා. ඊළඟට ඔහුට අවශ්‍ය වුණා සුමිත්‍රා ෆොන්සේකා මහත්මිය ජීවත්ව සිටියදී මෙය එළි දක්වන්න. එයත් බැරි වුණා.

ගාමිණී ෆොන්සේකා රචිත කවි, ගී මෙන්ම ඔහුගේ චිත්‍ර කිහිපයකුත් මේ කෘතියට ඇතුළත් වෙනවා. ඇත්තටම ගාමිණී ෆොන්සේකා අතීතයේදී චිත්‍ර කලාව ඉගෙන ගෙන තියෙනවා ප්‍රවීණ චිත්‍ර ශිල්පී සුසිල් ප්‍රේමරත්නයන්ගෙන්. ඒ නිසා ඔහු චිත්‍රත් ඇන්දා. සමහර වෙලාවට ඔහු ටෙලිෆෝනයෙන් කා සමග හෝ කතා කරමින් කුරුටු ගෑ චිත්‍රයකින්, කවියකින් ඔහු තමන්ගේ කාන්සිය, හුදෙකලාව මකා ගන්න උත්සාහ කරන්නට ඇති. එබඳු වෑයමක ප්‍රතිඵලය තමයි මේ නිර්මාණ එකතුව. නමුත් ඒවා ජනගත කිරීමට ඔහුට අවශ්‍ය වුණේ නෑ මුලදී. පසු කලෙක මගේ බලකිරීම උඩ තමයි ඒ ගැන යම් උනන්දුවක් ඇල්මක් ඔහුට ඇති වුණේ. ඔහු මැරෙන තුරාම කවි ලිව්වා. රුක්මණී දේවි මිය ගිය අවස්ථාවේදී, ඒ වගේම මහගමසේකර මියගිය අවස්ථාවේදී කවි සටහන් තබා තිබෙනවා. තමන්ගේ හිතට වේදනාවක් ඇති වූ වෙලාවලදී ඔහු ගීත ලිව්වා. ඒ හැර ඔහු ඉංග්‍රීසි බසින් තමන්ගේ දියණියට, තමන්ගේ පුතණුවන්ට, තමන්ගේ ගුරුවරයකු වූ ප්‍රේමනාත් මොරායස් මහතාට කවි රචනා කළා. ඒ වගේම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන්. ඒ ඉංග්‍රීසි කවිත් මේ පොතට ඇතුළත් වෙලා තියෙනවා.

ඔහු මහා කවීත්වයකින් හෙබි ශ්‍රේෂ්ඨ කවියකු ලෙස මා හඳුන්වා දෙන්නේ නැහැ. ඔහු මෙරට බිහි වෙච්ච අග්‍රගණ්‍ය නළුවා. එතකොට මේ නළුවා තුළ ගීත රචකයකු හා චිත්‍ර ශිල්පියෙකු සිටීම ඔහුගේ රංගන කාර්යයට මොන තරම් පිටුබලයක් වුණා ද කියා මට හිතෙනවා. ඇත්තටම කලාකරුවෙක් කියන්නේ අනිවාර්යයෙන්ම කවියෙක්. හොඳ සිනමාකරුවෙක් කියන්නේ කවියෙක්. හොඳ චිත්‍ර ශිල්පියෙක් කියන්නේ කවියෙක්. ඒ නිසා කවීත්වය කියන එක ඕනෑම විශිෂ්ට කලාකරුවකු තුළ පැවැතිය යුතු ගුණාංගයක්. අන්න ඒ විශිෂ්්ටත්වය තමයි මම ඔහුගෙන් දකින්නේ. කවිකම කියන එක ඔහු තුළ තිබුණා. නමුත් ඔහුට එය වැඩි දියුණු කරගෙන කවියකු හැටියට ඉදිරියට යන්න වුවමනාවක් තිබුණේ නැහැ. එතනදි වැදගත් වෙන්නේ ගාමිණී ෆොන්සේකා කියන කවියා. ගාමිණී ෆොන්සේකා කියන ගීත රචකයා, චිත්‍ර ශිල්පියා. ඔහු වෙනත් කවීන් හා චිත්‍ර ශිල්පීන් සමඟ සසඳන්නට යාම නිශ්ඵල ක්‍රියාවක් විදිහටයි මම දකින්නේ.