වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




රියැලිටියේ ෆැන්ටසිය ‘නිනෝ ලයිව්’

රියැලිටියේ ෆැන්ටසිය ‘නිනෝ ලයිව්’

ළඟදී තිරගත වන චිත්‍රපට කතා ඇසුරෙන් සරසවිය සතිපතා ගෙන එන ඒකාංගික කතා මාලාව

නිනෝ සිටියේ තම නෙතු අද්දර දඟ කළ ඒ යුවතිය කවුරුන්දැයි සිතමිනි. ඇගේ උවනෙහි නැඟෙන සොඳුරු කැල්ම තම සිත ඇයට ආශක්ත කළ වග පමණක් ඔහුට මතකය. යළි යළිත් ඇය සොයා යෑමේ නොතිත් ආශාවකින් සිත පෙරළි කරන වග ඔහුට දැනිණි. එහෙත් නොසිතූ මොහොතක සිය හදවත බැඳි ඇයට කුමක් නම් සිදුවීද?

ඔහු අත රැඳි ඇගේ සොඳුරු රුව දෙස තවත් වරක් නිනෝ බලා සිටියේය.

‘මට මෙයාව හොයා ගන්න ඕනෑ. අම්මා අඳුනනවද මෙයාව’

නිනෝ විමසා සිටියේ සිය මවගෙනි. කිසිවක් නොපවසන ඇගේ උවන දෙස බලා සිටි නිනෝ යළිත් වරක් එයම මවගෙන් විමසූයේ කඳුළු පිරි දෙනෙතිනි. ඊට කිසිවෙකුගෙන් පිළිතුරක් බලාපොරොත්තු විය නොහැකි බව නිනෝ දනියි. ඔහු ඈ හමු වූ මොහොතෙහි පටන් වූ සිදුවීම්දාමය මෙනෙහි කිරීමෙහි යෙදුණේය.

‘මට ඔයාව අතහරින්න බෑ නිනෝ. මම ඔයාට ආදරෙයි’

ඈ අතුරුදන් වීමට දින කිහිපයකට පෙර හමු වූ මොහොතෙහි එසේ කියමින් ඔහුගේ දෙවුර මත ඇද වැටුණු අයුරු නිනෝට සිහිපත් වුයේ එවිටය.

‘ඇයි නුනූ මේ ඇයි’

නිනෝ ඇගෙන් ප්‍රශ්න කළ ද ඔහුට පිළිතුරක් ලෙස ලැබුණේ ඇගේ ඉකිබිඳුම් හඬ පමණි.

නුනූූගේත් ඔහුගේත් ආදර අන්දරයෙහි වූ බැඳීම දිනෙන් දිනම ගලා ගියේ මේ තරම් ඉක්මනින් සමුගන්නදැයි නිනෝට සිතුණේ ඉබේමය. ඇගෙත්, ඔහුගේත් ආදර සංවාදයකදී වෙනත් ලොවක් ගැන ඈ කියන්නට තැතනූ අයුරු නිනෝට සිහිපත් වූයේ නිතැතිනි. ඈ අතුරුදන් වූයේ ඊට පසුවය.

නිරන්තරයෙන්ම ඈ පිළිබඳ නිනෝ සිටියේ විමසිල්ලෙනි. එක්වරම නිනෝ ඔහුගේ මිතුරා යතුරු පැදියට නංවා ගත්තේ ද කලබලයෙනි.

‘කොහෙද බං යන්නේ දැන්’

කිසිවක් නොදත් මිතුරා කෑ ගසා ඇසුවේය.

‘යනවා බං’

වේගයෙන් ඇදී යන යතුරු පැදියේ හඬ අතරෙන් නිනෝගේ ස්වරය ඇසුණේ ඇසෙන නෑසෙන තරම් සෙමිනි.

‘නුනූව කවුද ගෙනිච්චෙ බං’

නිනෝගේ ස්වරය නැවතත් ඇසී නෑසී ගියේය.

‘කවුද බං අරන් ගියේ’

ඔහුගේ කියුම් හා කෙරුම් මිතුරාට සිව්පද ප්‍රහේලිකාවකි. එක්වරම ඇයව නිනෝට මුණ නෙගැසුන බව සැබවි. එනමුදු සිය පෙම්වතිය සොයන අදහස මොහොතකට ද අමතක නොකරන ඔහු මෙපමණ කලක් හිර වී සිටි චිත්‍රාගාරයෙන් එළියට පැමිණෙන්නේ මේ අතරය.

සිය පුතුගේ රහසිගත ජීවිතය දිගු කලක් ආරක්ෂා කළ නෝමන් දිසානායකට තිබුණේ අමුතුම සිතුවිලි රැසකි. ඔහු සිය පුතුව ඇති දැඩි කළේ වෙනම රූපවාහිනි චිත්‍රාගාරයකය. නිනෝ ඉපදුණේත්, උස් මහත් වූයේත් එහිමය. ඉන් එහා ලෝකයක් ගැන කිසිවක් නොදත් නිනෝගේ ජීවිතය නෝමන් රියැලිටි ෂෝ එකක් ලෙස රූපවාහිනියට ඉදිරිපත් කළේ සිය සිතෙහි කලක පටන් තිබූ සිතුවිල්ලක් සැබෑ කරමිනි.

‘නිනෝ ලයිව්’

‘නිනෝ ලයිව්’ වැඩසටහන බොහෝ දෙනාගේ ප්‍රියතම වැඩසටහන බවට පත්වීමට ගත වූයේ බොහොම කෙටි කාලයකි. ඒ විදියට මේ වැඩසටහනට පිස්සුවෙන් මෙන් ආදරය කළ යුවතියක් සිටියාය. ඇය ‘නිනෝ ලයිව්’ වැඩසටහන තම ජීවිතයට ඇඳා ගන්නට උත්සාහයක යෙදුණාය. මේ අතර ‘නිනෝ ලයිව්’ වැඩසටහන නතර වන්නේ හදිසියේමය. ඒ නිනෝ චිත්‍රාගාරය අතහැර නුනූ සොයා යෑමෙනි.

නිනෝට මේ අපූරු ලෝකයේදී නුනූ මුණ ගැසේද? රූපවාහිනි නරඹන්නන් බොහොම කැමැත්තෙන් නැරැඹූ ‘නිනෝ ලයිව්’ වැඩසටහනට මින් පසු කුමක් වේද? මේ ආදී ගැටලුවලට පිළිතුරු රැඳී ඇත්තේ තිසර ඉඹුලානගේ ‘නිනෝ ලයිව්’ චිත්‍රපටයේය. ඉදිරියේදී වෙනස්ම මුහුණුවරකින් ඔබ හමුවට පැමිණීමට නියමිත ‘නිනෝ ලයිව්’ වෙනස්ම ආරක සිනමාපටයකි.

තිර රචනය සහ අධ්‍යක්ෂණය – තිසර ඉඹුලාන
නිෂ්පාදනය - සාහිල් ගුප්තා
රේඛීය නිෂ්පාදනය – ඉරන්ති අබේසිංහ
කැමරාකරණය – චන්න දේශප්‍රිය
නිර්මාණාත්මක අධ්‍යක්ෂණය – තිසර මංගල බණ්ඩාර
ආරාධිත අධ්‍යක්ෂණය – චන්දන ප්‍රසන්න
නිර්මාණාත්මක සැලසුම්කරණය - ලකී විජේවර්ධන
අංග රචනය හා කොණ්ඩා සැකසුම් – ඉන්දික උදාර ලංකා
සංස්කරණය - දුමින්ද සිල්වා
ශබ්ද පරිපාලනය – බිනුරසර පලවින්න
සංගීතය - සංඛ දිනෙත්
ගායනය - සංඛ දිනෙත්, උමාලි තිලකරත්න, අමිල සඳරුවන්, නුවන්දි එරංගා
පද රචනය – රවිනාථ ජයසූරිය, අමිල සඳරුවන්, නන්දන වික්‍රමගේ, චින්තන ධර්මදාස
රංගනය – නිනෝ ජයකොඩි, ස්ටීව් ඩී. ලා සිල්වා, උමාලි තිලකරත්න, යුරේනි නොෂිකා, දසුන් පතිරණ, කිංස්ලි රත්නායක, චාන්දනී සෙනෙවිරත්න, බන්දුල විතානගේ, ජගත් මනුවර්ණ, චාමර ප්‍රසාද්, රුචී දිසානායක, තුසිත ලක්නාත්, තිලක් ශාන්ත