වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාත්මක නොවන නිසා ගවේෂණාත්මක චිත්‍රපටයක් කළා

සිනමාත්මක නොවන නිසා ගවේෂණාත්මක චිත්‍රපටයක් කළා

සනත් අබේසේකර

වර්තමාන සිනමාවේ බිහි වී ඇති අලුත්ම රැල්ල වන්නේ ඓතිහාසික සිදුවීම් සිනමාවට නැඟීමයි. ඒ රැල්ලට පිවිසෙමින් මහින්දාගමනය, සිරි දළඳා ගමනය යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකරගේ නවතම චිත්‍රපටය “අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝයි”. මේ දිනවල එම්.පී.අයි. මණඩලයේ සිනමාහල්වල තිරගත වන අනගාරික ධර්මපාලතුමාගේ චරිතය ආශ්‍රය කර ගනිමින් නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය පිළිබඳ සනත් අබේසේකර සමඟ කළ සාකච්ඡාවකි මේ.

අනගාරික ධර්මපාලතුමා ගැන චිත්‍රපටයක් කරන්න හිතුවේ ඇයි?

මේ නිර්මාණය කළේ අනගාරික ධර්මපාලතුමාව අගය කිරීමක් වශයෙන් වගේම එතුමාට කරන ගෞරවයක් වශයෙන්. ඒ වගේම ගවේෂණාත්මක චිත්‍රපටයක් ලෙස මේ නිර්මාණය කරන්නට ලැබීම මා ලැබූ භාග්‍යයක්. මේ වන විට එය MPI මණ්ඩලයේ සිනමාශාලා හතළිස් හයක තිරගත වෙනවා.

මේ චිත්‍රපටය ඔබ අධ්‍යක්ෂණය කළ අනෙක් චිත්‍රපටවලින් කොහොමද වෙනස් වෙන්නේ?

මට මේ සිනමා කෘතිය අධ්‍යක්ෂණය කිරීමේදී අවධානය ලබාදීමට සිදුවී තිබුණේ සිනමාරූපී බවට වඩා ගවේෂණාත්මක කාර්යයටයි. මොකද මෙහි මූලික අරමුණ වුණේ අනගාරික ධර්මපාලතුමාගේ චරිතය ඉස්මතු කිරීමයි. ඒ අරමුණත් සමඟ ගත් උත්සහයක් ලෙසයි මා මෙම චිත්‍රපටය දකින්නේ.

ඒ අරමුණ සාර්ථක වුණාද?

අරමුණ සාර්ථක වුණා කියන්නේ අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් සිනමාකරුවෙක් විදියට කරන්න හැකි සෑම දෙයම මම හැකි අයුරෙන් කළා. එය මා සලකන්නේ ගෞරවයක් ලෙසයි. ඒත් සමඟම මේ නිර්මාණය කළේ පාසල් දරු දැරියන් සඳහායි. අපේ තවත් අරමුණක් වුණේ අනගාරික ධර්මපාලතුමා පිළිබඳව ඒ ළමයින්ව දැනුවත් කිරීමයි. එය මේ වන විට ඉෂ්ට සිද්ධ වී තිබෙනවා. දැනට පාසල් ශිෂ්‍ය - ශිෂ්‍යාවන් 50 000ක් පමණ චිත්‍රපටය නරඹලා අවසානයි. මේ වන විටත් පාසල්වල සිටින විදුහල්පතිවරු අපේ සංවිධායකයන්ට කතා කරලා ඉදිරි කාලය වෙන් කරගෙන තිබෙන බව සතුටෙන් කියන්න ඕනෑ. ඒක අප ලැබූ ලොකු ජයග්‍රහණයක්.

චරිතයක් සිනමාවට නැගීමත්, වෙනත් ප්‍රස්තුතයක් සිනමාවට නැගීමත් කියන්නේ කාරණා දෙකක්?

මේ දෙක දෙකක්. ඉන්දියාවේ ගාන්ධි ගැන නිර්මාණය වුණු චිත්‍රපට මා නැරැඹුවා. ඒ මොනදේ නැරැඹුවත්, ඒ ඔස්සේ බොහෝ දේ අපට ගන්නට තිබුණත්, අප සීමාවන තැනක් තියෙනවා. ඒ ආර්ථිකය කියන සාධකයයි. ඒ නිසා මීට අපට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයක්ද තිබුණා. ඒ අනුව යම් සාර්ථකත්වයක් කරා යන්න හැකි වුණු බව සිතමින් මා සෑහීමකට පත් වෙනවා.

ඒ කියන්නේ ඔබ අනගාරික ධර්මපාලතුමාගේ චරිතය සිනමාරූපීව ඉදිරිපත් කරලා තියෙන බවක් සිතනවාද?

නෑ. මේ නිර්මාණය මා සිනමාරූපීව ඉදිරිපත් කළා කියන්නේ නැහැ. ඒ නිසයි එයට මා ගවේෂණාත්මක කියන වචනය යෙදුවේ. ගවේෂණාත්මකව චිත්‍රපටය ඉදිරිපත් කිරීමේදී සිනමාව ධර්මපාලතුමාට ගෞරවයක් කිරීම සඳහා උපයෝගී කර ගැනීමක් තමයි මා කළේ. එහෙම නැතිව සිනමාවේ ආඛ්‍යානය මීට අදාළ කර ගැනීමට මා උත්සාහ කළේ නැහැ.

ගාන්ධි පිළිබඳ නිර්මාණය වුණු චිත්‍රපට නැරඹූ බව ඔබ පැවසුවා. ඒත් ඒ නිර්මාණ ඉදිරිපත් කළ නිර්මාණකරුවන් එය සිනමාවට නගා ඇත්තේ සිනමාරූපී බව ඉස්මතු වන අයුරෙන්. ඒත් ඔබගේ නිර්මාණයේ එවැනි තත්ත්වයක් දකින්නට නැහැ?

ඒ විදියේ නිර්මාණාත්මක නිර්මාණයක් කරන්න තරම් මුදලක් අපට ලැබුණේ නැහැ. ඇත්තටම මේක මුලින්ම නිර්මාණය වුණේ පාසල්වල ළමයින්ට නොමිලයේ පෙන්වන්න වාර්තා චිත්‍රපටයක් සකස් කිරීමක් ලෙසයි. ඊට පස්සේ ඒ තත්ත්වය වෙනස් කරලා, ගවේෂණාත්මක පැත්තට අවධානය යොමු කරලා, නැවත රූපගත කිරීම් කරල තමයි දිගු චිත්‍රපටයක් නිර්මාණය වෙන්නේ.

ඔබ මේ නිර්මාණය සිනමාරූපීව ඉදිරිපත් කරන්න උත්සාහ නොගත්තේ ඇයි?

මට එහෙම උවමනාවක් තිබුණේ නැහැ. මට තව කෙනෙක් වෙන්න ඕනත් නැහැ. තව කෙනෙක් කියන දේවල් මට අහන්න උමනාවක් නැහැ. ඒ වගේම මේ මගේ මතයයි ඉදිරිපත් කරන්නේ. ඒකට මට නිදහස තිබෙන්න ඕනෑ.

ගවේෂණය කරලා අනගාරික ධර්මපාලතුමා ගැන මොනවද ඔබ සොයා ගත්තේ?

ධර්මපාලතුමාගේ මුළු ජීවිත කථාවම මට අවබෝධ කරගන්න සිද්ධ වුණා. එතනදී මූලිකම කරුණු සැඟවිලා තිබුණේ මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයේ. ඒ කියන්නේ ධර්මපාලතුමා ජීවත්ව සිටි නිවෙස වුණු වික්ටර් හවුස් කියන කෞතුකාගාරයේ. එහි තිබුණු එතුමා අතෙන් ලියූ පොත්පත්, පින්තූර වගේ දේවල් ඒ ගවේෂණයට උදව් වුණා. ඉන්දියාවේ ධර්මපාලතුමා සිටි ස්ථානවලට ගොස් ඒවා පිළිබඳ කරුණු රැස්කර ගත්තා. ඊට පසුවයි චිත්‍රපටය නිර්මාණය කළේ.

මේ චිත්‍රපටය පාසල් ළමයින්ට නැරැඹීමට සුදුසු චිත්‍රපටයක් කියලා ඔබ සිතනවාද?

ඔව්. මේ චිත්‍රපටය ජනාධිපතිතුමා හා අධ්‍යාපන ඇමැතිතුමා, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මණ්ඩලය, සියලුම ප්‍රධාන හාමුදුරුවරු නරඹලා ලිඛිත අවසරයක් ලබාදීලයි තියෙන්නේ,

යම් කෙනෙක් මේ චිත්‍රපටය නරඹලා අනගාරික ධර්මපාලතුමාගේ චරිතය විනාශ කරලා නේද කියලා ඔබට චෝදනා කළොත්?

ඒ ඊර්ෂ්‍යාවට කියන කතා. මේ ක්ෂේත්‍රයේ ඉන්න හුඟදෙනෙක් තව කෙනෙක් දියුණු වෙනවාට කැමැති නැහැ. බොහොම ඊර්ෂ්‍යාවක් හිතේ තියාගෙන ඉන්න පිරිසක් තමයි දකින්න ලැබෙන්නේ. ඒක මට නවත්වන්න බැහැ. ඔවුන් පෘතග්ජන මිනිස්සුනේ. ඒ වගේ දේවල් නම් මම ඒ තරම්ම ගණන් ගන්නේ නැහැ. මගේ සිතට දැනෙන දේ මම කරනවා. ඒකට එක එක්කෙනාට චෝදනා කරන්න අයිතියක් නැහැ. ඒකෙන් වෙන්නේ ඒ අයගේ නූගත් කම මතුවන එකයි.

ඒ කියන්නේ ඔබගේ නිර්මාණවලට කිසිම කෙනෙකුට චෝදනා කරන්න අයිතියක් නැහැ. එහෙමද?

චෝදනා කරන්න පුළුවන්. ඒත් ද්වේශ සහගතව නම් ඒක කරන්නේ සදාචාර සම්පන්න නෑ කියලා මම කියනවා.

අනගාරික ධර්මපාලතුමා කියන ශ්‍රේෂ්ඨ චරිතය පහළ මට්ටමකට වැටෙන්නේ නැතිව ඔබගේ චිත්‍රපටය මගින් ඊට වඩා ආලෝකයක් ලැබෙනවා කියලා ඔබ සිතනවාද?

චිත්‍රපටය බැලුව ගුරුවරු, විදුහල්පතිවරු, දරුවෝ සිනමාශාලාවලින් එන්නේ අඬාගෙන. ඒතරමටම එතුමා ගැන වේදනාවක් මේ නරඹපු අයට ඇති වෙනවා. දැනට ධර්මපාලතුමා දෙවැනි වෙන්නේ ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාට පමණයි. ඒ තරමටම සේවයක් එතුමා රට, ජාතිය, ආගම වෙනුවෙන් කරලා තියෙනවා. අද අපි දෙන්නා මේ විදියට කතා කරන්නෙත් එතුමාට පින්සිදු වෙන්නයි. නැතිනම් අදටත් ශ්‍රී ලාංකිකයෝ කියන්නේ වහල් ජාතියක්. එතුමා ඒ යුගය වෙනස් කළා. නිර්භීත ශ්‍රී ලංකිකයන් රැසක් බවට අප පත් කළා. ඒකයි ධර්මපාලතුමා ආවේගයෙන් කතා කළ කෙනෙක් කියලා කියන්නේ. මගේ චිත්‍රපටයේත් මේ ආවේගය තිබුණා කියලා ඇතැම් පිරිස දොස් කිව්වා.

ධර්මපාලතුමා ඒ කාලයේ ජනතාව ඇමතුවා කියන වචන ඔබ චිත්‍රපටයේදී ඒ ආකාරයෙන්ම යෙදුවා කියලද ඔය කියන්නේ?

යොදා ගත්තා තමයි. නමුත් ඒවා මට කපා හරින්න සිදු වුණා. ඒ මේ චිත්‍රපටය පාසල් දරුවන් නරඹන චිත්‍රපටයක් වීම නිසයි. ධර්මපාලතුමා කියන්නේ අභීත වීරයෙක්. සිංහල සිනමාවේ මෙතෙක් චණ්ඩි ගැන චිත්‍රපට බිහි වුණා. ඒ ලොකුම චණ්ඩියා තමයි ධර්මපාලතුමා කියලා කියන්නේ. ඒත් ධර්මපාලතුමා ගැන කවුරුත් කථා කළේ නැහැ. ලංකාවේ ඉතිහාසය පිළිබඳ චිත්‍රපට හැදෙනවා තමයි. නමුත් ඉතිහාසයේ වීරයෝ ගැන චිත්‍රපට හැදෙන්නේ නැහැනේ. ඒක දුර්වලකමක් . ඒත් කෙනෙක් ඒක කළාට පස්සේ අකුල් හෙළන්නයි බලාගෙන ඉන්නේ. ඒ වගේ චිත්‍රපට ඔවුන් කරන්නෙත් නැහැ. කරන කෙනෙකුට ඒක කරන්න දෙන්නෙත් නැහැ. ධර්මපාලතුමා රට හැරලා ගියෙත් මෙන්න මේ නිසයි.

අපේකම ගැන කතා කළ අනගාරික ධර්මපාලතුමාව හැඳින්වීමට ඔබ චිත්‍රපටයේ භාවිත කරලා තියෙන්නේ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ යන නාමයයි. ශ්‍රීමතාණෝ කියන්නේ සිංහල හුරුවට සුදුසු වචනයක් නොවෙයි කියලා කවුරුහරි ඔබට චෝදනා කළොත්?

එහෙම එකක් නැහැ. ඕනම කෙනෙක් එතුමාට ශ්‍රීමතාණෝ කියලයි ආමන්ත්‍රණය කරන්නේ. කොහෝදීත් ඔහුව ආමන්ත්‍රණය කරන්නේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා කියලා. එහෙම වචනයක් නැතිවුණොත් තමයි ප්‍රශ්ණය වෙන්නේ.

ශ්‍රීමත් කියන්නේ ඉංග්‍රීසියෙන් සර් කියන එකනේ?

ශ්‍රීමතාණෝ කියලා ඒ නම අපි චිත්‍රපටයට දැම්මේ කටට හුරුවෙන්න ඕන නිසා. ඒ එතුමාට තිබෙන ගෞරවයත් සමඟ ඒ නම අපි යෙදුවා. නමුත් වෙනත් සිංහල නමක් දැම්මා නම් අපේ අදහස වෙනස් වෙන්න තිබුණා. මේ නම යොදමු කියලා තීරණය කළේ කිරම විමලජෝති හිමියන්.

ධර්මපාලතුමාගේ චරිතය රඟපාන්න ඔබ තෝරා ගන්නේ පාලිත සිල්වා කියන රංගන ශිල්පියා. ඔහුවම මේ චරිතයට තෝ්රා ගන්න විශේෂත්වයක් තිබුණාද?

ඔහුව තෝරා ගත්තේ කිරම විමලජෝති හාමුදුරුවෝ.

ඒ කියන්නේ ඔබ නොවෙයි?

නෑ. මම නෙවෙයි.

ඇයි උන්වහන්සේ චිත්‍රපටයේ චරිත තේරුවේ?

උන්වහන්සේ තමයි මේ නිර්මාණය කළ යුතුයි කියලා අදහස දැම්මේ. ඒ නිසා උන්වහන්සේටත්, අතිගරු ජනාධිපතිතුමා ඇතුළු මැතිඇමැතිවරුන්ට, මහානායක හාමුදුරුවරුන්ට හිස නමායි නිතරම මා මේ කටයුතු කළේ. මගේ හිතුමනාපෙට කිසිම දෙයක් කරන්න ගියේ නැහැ. ඒ නිසයි මේ කේ මම වැඩිය වැඩ දැම්මේ නැත්තේ.

ඒ කියන්නේ ඔබගේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට යම් බලපෑමක් එල්ල වුණා?

බලපෑමක් එල්ල වුණාට ඒක සුභවාදී කියලා මම සිතනවා. මහාචාර්යවරු, ජනාධිපතිතුමා ඇතුළු මහා නායකහිමිවරු මේකට අකැමැති වුණා නම් මේ චිත්‍රපටය පෙන්වන්න වෙන්නේ නැහැනේ. ඒ නිසා ඔවුන්ගේ ආශිර්වාදය අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. ඒක රැකගෙන යා යුතුමයි කියන එකයි මගේ මතය වුණේ.

මෙතෙක් ඔබ කළේ ඓතිහාසික චිත්‍රපටයි. නිර්මාණාත්මක යමක් කිරීමෙන් ඉදිරියට පැමිණෙන්න අදහසක් තියෙනවාද?

මට නම් ඔය කියන නිර්මාණ ඔළුවට එන්නේ නැහැ. මම ඉගෙන ගත්ත දේ එක්ක නිර්මාණ කිරීමයි බලාපොරොත්තුව වන්නේ. මගේ අදහස වුණේ යම් දිනෙක බෞද්ධ සිනමා සංස්කෘතියක් ඇති කිරීමයි.

මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සුනිල් ටී කියන නිෂ්පාදකවරයා?

ඔහු ගැනත් සඳහන් නොකළොත් ඒක අඩුවක්. ඒ මේ නිර්මාණය නිසා ඔහුට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිදුවුණා. කොහොම නමුත් අන්‍යාගමිකයෙකු වශයෙන් ඒ කිසිම දෙයක් ගැන සිතන්නේ නැතිව මේ චිත්‍රපටයේ බර කරට අරගෙන කටයුතු කිරීම පිළිබඳව මම එතුමාට ස්තූතිවන්ත වෙනවා.