වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




බර්ටිට නිවසක්

බර්ටිට නිවසක්

රටක් දිනූ රාජ්‍යනායකයාත් රටක් හිනැස්සූ ප්‍රවීණ කලාකරුවාත් අතර සුහද හමුවක් ඉකුත් මාර්තු මස 27 වැනිදා තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි. එම හමුවට පාදක වූයේ ජනවාරි මස 23 වැනිදා ජාතික කලා පුවත්පත වූ සරසවිය පුවත්පතට බර්ටි ගුණතිලකයන් කරතිබූ ප්‍රකාශයක් “නිරිඳුනි අසනු මැන බර්ටිගේ ඉල්ලීම” මැයෙන් පලවී තිබීමයි. එම ලිපිය දුටු අතිගරු ජනාධිපතිතුමන් බර්ටි ගුණතිලකයන් තම නිවසට කැඳවනු ලැබීය.

විනෝද සමයෙන් රටක් හිනැස්සූ ජ්‍යෙෂ්ඨ කලාකරුවකු වූ බර්ටි ගුණතිලකයන් එදා ජනාධිපතිතුමන් සමඟ සුහද පිළිසදරක යෙදෙන අතරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සැලකර සිටියේ තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ප්‍රතිකාර පිණිස සති දෙකකට වරක් කොළඹ පැමිණීමට සිදුවන බවත් රත්නපුරයේ ඇමටියගොඩ සිට එසේ පැමිණීම අපහසු කටයුත්තක් බව ද එසේ පැමිණෙන අවස්ථාවන්හිදී නවාතැන් ගැනීමට හෝ නැවතී සිට ප්‍රතිකාර ගැනීමට ස්ථානයක් නොමැති වීම බරපතල ගැටලුවක් බව බර්ටි ජනාධිපතිතුමන් සමඟ පවසා සිටිනු ලැබීය.

මෙම වයෝවෘද්ධ කලාකරුවාගේ සානුකම්පිතඉල්ලීම සලකා බැලූ ජනාධිපතිතුමන් බර්ටි ගුණතිලකයන්ගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹින් නිවසක් ලබා දීමට පොරොන්දු විය. එම පොරොන්දුව මල්ඵල ගන්වමින් නිවාස සංවර්ධන අධිකාරියට අයත් දෙමටගොඩ ආරාමය පෙදෙසේ දෙවන අදියර මහල් නිවාස සංකීර්ණයේ E 35 /17/01/01 දරණ නිවස ප්‍රදානය කරනු ලැබීය.

ඉකුත් 22 වැනිදා ඉංජිනේරු සේවා නිවාස හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් අමාත්‍යාංශ පරිශ්‍රයේදී බර්ටි ගුණතිලකයන්ට නිවසේ යතුරු පරිත්‍යාග කෙරිනි. එම අවස්ථාවට බර්ටිගේ පුත් භාරත දියණියන් වන ජීවානි, කුමුදිණී ඇතුළු පවුලේ සාමාජිකයන් සහභාගී වූහ.

අමාත්‍ය විමල් වීරවංශ බර්ටිට හිමි නිවසේ යතුර බාර දෙමින්

බර්ටි ගුණතිලක කෘතිය අමාත්‍යවරයාට පිළිගන්වමින්