වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




තුසිත්ගෙන් සඳරේණු හිනැහුනදා

තුසිත්ගෙන් සඳරේණු හිනැහුනදා

තුසිත් අල්විස් නව පරපුරේ ගායන ශිල්පියකි. එමෙන්ම ඔහු රංගනයෙන් ද ඉදිරිය දකින්නට අපේක්ෂාවෙන් පසු වෙයි. පසුගියදා තුසිත් තම දෙවැනි ගීතය වූ සඳරේණු හිනැහුනදා මාධ්‍යයට නිකුත් කරන ලදී.

මෙය මගේ දෙවැනි ගීතයයි. එහි පද රචනය මගේ. සංගීත නිර්මාණයණ කළේ විකුම් ශ්‍රී සහ තුෂාර. මේක ඇත්තටම ආදරේ පිළිබඳ කියවුණ ගීතයක්. විරහව මේකේ නැහැ. මට හිතුණා යන රැල්ලට නොගිහින් සදාකාලිකවම පවතින ගීතයක් කරන්න.

ඒ අදහස ඇතුවයි මෙහි පද රචනය කළේ. මචං ක්‍රියේෂන් සඳරේණු ගීතයෝ වීඩියෝව කළා. මේ දිනවල නාලිකා කිහිපයකින්ම එය දැකගත හැකියි. එමෙන්ම යූ ටියුබ් හරහා ද සංගීත ලෝලීන්ට ගීතය රස විඳින්න පුළුවන්. මගේ පළමු ගීතය වුණේ කඳුළක පාවි. එම ගීතයෙත් පද රචනය මගේ. මහින්ද බණ්ඩාර මහත්මයා ඊට සංගීත සංයෝජනය කරලා දුන්නා.

සංගීත කටයුතු කරන අතරතුර මං රංගනයේද යෙදෙනවා. මේ වන විට මා මහේන්ද්‍ර පෙරේරා සහ සුගත් සමරකෝන් යන මහත්වරුන් යටතේ රංගනය හදාරනවා. ඔවුන්ගේ අනුදැනුම යටතේ නිර්මාණ කිහිපයකටම එකතු වුණා. ඇහැළේපොළ කුමාරිහාමි ඒ අතරින් විශේෂයි. ඒ වගේම මේ දිනවල ෆේස් බුක් නාට්‍යයේ ද රංගනයේ යෙදෙනවා.

මේ සියලු කලා කටයුතු කළත් මං වෘත්තියෙන් ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක්. නමුත් සංගීතයෙන් සහ රංගනයෙන් හොඳ දුරක් යන්න ඕනෑ. එහෙම හිතාගෙනයි කලා කටයුතුවල යෙදෙන්නේ. මගෙත් එක්ක යාළුවො කිහිප දෙනෙක් එකතු වෙලා මියුසික් වීඩියෝ ප්‍රඩක්ෂන් එකක් පටන් ගත්තා. එමඟින් අලුත් පිරිසට අත දෙන්නත් හිතාගෙන ඉන්නවා. තව නොබෝ දිනකින් මගේ තෙවැනි ගීතයත් රසික රසිකාවන්ට රස විඳිය හැකියි. එය ඔය ඇස් දෙක මගේම වෙලා යනුවෙන් නම් කොට තිබෙනවා.

මේ තුසිත්ගේ දුරකතන අංකයයි. 0776382897.