වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




මොරටුවට පුන් සඳ පායා එයි

මොරටුවට පුන් සඳ පායා එයි

දැනට ජීවත්ව සිටින සහ අප අතරින් සමුගත් මොරටුව ප්‍රදේශයෙන් බිහි වූ කලාකරුවන් වෙනුවෙන් ස්ටාර් ඔෆ් මොරටුව නමින් උපහාර ප්‍රසංගයක් මෙම මස 28 වැනිදා එනම් එන ඉරුදින සවස මොරටුව බෞද්ධ මන්දිරයේදී පැවැත්වේ. මෙහිදී ‘පුන්සඳ පායා මොරටුව දිලෙන්නා’ ගීතය නව මුහුණුවරකින් එළි දැක්වීම විශේෂත්වයකි.

එය මොරටුවේ කලාකරුවන් හැත්තෑවකට අධික පිරිසකගේ නාමයන් ඇතුළත් කොට යළි නිර්මාණය කොට තිබේ. ජිප්සීස් නායක සුනිල් පෙරේරා, සමන් ද සිල්වා සහ සෝමසිරි ප්‍රනාන්දු මේ සඳහා ගායනයෙන් එක් වී තිබේ. පුන්සඳ පායා ගීතය රචනා කළ ජෙරී ද මැල්ගේ ඥාතියකු වන තිලක් ද මැල් විසින් ද එම ගීතය එදින ගයනු ඇත.

එදා අඟුලානේ සිට කොළඹ දක්වා දිවෙන කන්තෝරු දුම්රියේ ගමන් ගත් ජෙරී ඇතුළු පිරිස තම කාන්සිය මකා ගැනීම සඳහා රචනා කළ පුන්සඳ පායා ගීතය වරින් වර විවිධ ගායකයන් අතරින් නවීකරණය විය. මෙදින එම ඉතිහාස කතා ද දිග හැරීමට නියමිතය.

මොරටු පුරවරයෙන් බිහි වූ පණ්ඩිත අමරදේවයන්, ක්‍රිස්ටෝපර් පෝල්, සුනිල් පෙරේරා, නිහාල් නෙල්සන්, ධනපාල උඩවත්ත, සමන් ද සිල්වා, සී. එල්. ෆොන්සේකා, පෝල් ප්‍රනානදු, අසංක ප්‍රියමන්ත, දමයන්ති ජයසූරිය ස්ටාර් ඔෆ් මොරටුව ප්‍රසංගය රස ගැන්වීමට නියමිතය.

එමෙන්ම මෙරටුවෙන් බිහි වූ නළු නිළියන් වන රෝයි ද සිල්වා, ටෙනිසන් කුරේ, ජගත් චමිල, සුනිල් ශ්‍රී, නිල්මිණි තෙන්නකෝන්, ශ්‍රීනාත් මද්දුමගේ, කුමාර තිරිමාදුර, රජිත හිරාන් (පිංපොං) ඩිනක්ෂි ප්‍රියසාද්, ඒ. ටී. ආරියරත්න (සර්වෝදය නිර්මාතෘ) ගිවන්ත අර්ථසාද් සමඟ මොරටුවේ උපන් ක්‍රිකට් ක්‍රීඩකයන් වන දුලිප් මෙන්ඩිස්, රොමේෂ් කලුවිතාරණ, අශෝක ද සිල්වා, අජන්ත මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න මෙම ප්‍රසංගය රස ගැන්වීමට එකතු වනු ඇත.