වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ආදර අමාරුවට නම් මගේ ගාව බෙහෙත් නැහැ

ආදර අමාරුවට නම් මගේ ගාව බෙහෙත් නැහැ

වෛද්‍ය ප්‍රදීප් රංගන සුපිරි තරුව ගැන අලුත් තොරතුරු

ඉස්සර හිටියා රුවන් ශ්‍රීලාල් දල්පදාතු කියලා ළමා ගායකයෙක්. අර පුංචි වෙළෙන්දා සිංදුව කියපු කෙනා. පහුකාලීනව රුවන් වැඩිදුර අධ්‍යාපනය හදාරලා වෛද්‍යවරයකු වුණා. අද වන විට ඔහු වෛද්‍ය වෘත්තියේ යෙදෙන ගමන් සිංදු කියනවා. ඊට පස්සේ ඒ වගේම දොස්තර පුතෙක් අපට හමු වෙනවා. ඔහු තමයි ප්‍රදීප් රංගන. ප්‍රදීප්ව අප හඳුනා ගන්නේ සිරස සුපර් ස්ටාර් තරගයක් හරහා ගායකයකු විදිහට. දෙවනුවයි ඔහු වෛද්‍ය වෘත්තිය හදාරනවා කියලා දැනගන්නට ලැබෙන්නේ. වර්තමානයේදී ප්‍රදීප්, වෛද්‍ය ප්‍රදීප් රංගන ලෙස හැඳින්නුවාට වරදක් නැහැ. මොකද අද ඔහු වෛද්‍යවරයකු වශයෙන් සේවය කරනවා කියලා ප්‍රතිඥා දීලා අහවරයි. කෙසේ හෝ සුලු කලකට සංගීතය අමතක කළත් ප්‍රදීප් නැවතත් සංගීත කටයුතු ආරම්භ කරලලු. පෙම් සිහිනේ තමයි වෛද්‍ය ප්‍රදීප් රංගනගේ අලුත්ම ගීතය. දිගු කාලෙක විරාමයක් එහෙම අරගෙන ප්‍රදීප් ගැයූ මේ ගීතයට අපූරු ප්‍රතිචාර ලැබෙන බව ප්‍රදීප් කියනවා. එතැනින්ම ඔහු මෙසේ කතාව ඇරැඹුවා.

මට ගීතයට හොඳම කමෙන්ට් එක ලැබුණේ ඉගෙන ගන්නා දරුවෙකුගෙන්. එයා යූ ටියුබ් හරහා ගීය දැකලා ලියලා තිබුණා පෙම් සිහිනේ හිට් වුණේ නැතිනම් පාසල් යන්නේ නැහැ කියලා. මං ඒක දැකලා ටිකක් බය වුණා. මොකද සිංදුවක් නිසා ළමයෙක් පාසල් නොයනවා කියන්නේ මටත් පව් සිදු වන වැඩක්නෙ. වෙලාවට සිංදුව හිට් වුණේ.

අවුරුදු පහකට හයකට පසුවයි ඔබ අලුත් ගීතයක් රසික රසිකාවන්ට තිළිණ කරන්නේ?

පුංචි විරාමයක් ගත්තා. පුංචි කිව්වට පුංචිමත් නැහැ. මං ඒ කාලේ කැප කළේ මගේ වෛද්‍ය වෘත්තියේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන්.

ඔබ දැන් සේවය කරන්නේ?

බලන්ගොඩ මාරතැන්න කියන සුන්දර ගම්මානයේ ප්‍රාදේශිය රෝහලේ.

සුන්දර වුණාට දුෂ්කරකම් විඳින අවස්ථාත් ඇති?

එය මහ ලොකු රෝහලක් නෙවෙයි. නමුත් ඒ වගේ පෙදෙසක දුප්පත් අහිංසක මිනිස්සුන්ට සේවය කරන්නේ මං හරිම ආසාවෙන්.

ඔබ සුපිරි තරුවක්. සුපිරි තරුවක් තමන්ගේ ගමේ රෝහලේ වෛද්‍ය වෘත්තියේ යෙදෙනවා කියලා දැනගත්තට පස්සේ මොන වගේ ප්‍රතිචාර ද ආවේ?

ඇත්තම කිව්වොත් ඒක අමුතුම අත්ැදකීමක්. මං මෙහෙ ඉන්නවා කියලා දැනගත්තම ඇතැම් අය එන්න පටන් ගත්තනෙ බොරු ලෙඩ හදාගෙගන. විශේෂයෙන්ම ගැහැනු ළමයි. හෙම්බරිස්සාව හැදුණත් මාව හොයාගෙන එනවා.

ඉතින් ඒ වෙලාවට මොකද කරන්නේ?

මට තේරෙනවනෙ මේ ඇවිත් ඉන්නේ බෙහෙත් ගන්නද මාව බලන්න ද කියලා. ටක් ගාලා බෙහෙතක් කාරිය දීලා එයාලව පිටත් කරනවා.

එතකොට ඔබ ගෙදර සිට ඉස්පිරිතාලෙට හැමදාම යන එනවද?

නැහැ. මං ඉස්පිරිතාලේ තියෙන නේවාසිකාගාරේ ඉන්නේ.

ඔබට ඒක ප්‍රශ්නයක් නෙවෙයිද?

කොහෙත්ම නැහැ. මං ඉස්පිරිතාලේ ඉන්න කොට වෛද්‍යවරයකු පමණයි. ගායකයකු නෙවෙයි.

ඔබට පුළුවන්නේ ඔය සියල්ලම අතහැරලා දාලා කොළඹ ඇවිත් වෛද්‍ය වෘත්තියේ නියැලෙන්න?

කොළඹ එන්න ඕනෑ. නමුත් අද හෙට නෙවෙයි. මගේ ආසාවක් තිබුණා වෛද්‍යවරයකු වුණායින් පසුව මේ වගේ පුංචි ගමකට සේවය ලබා දෙන්න. ඒකයි මේ කරන්නේ.

බෙහෙත් ගන්න එන අය ඔබේ අලුත්ම ගීතය ගැන කතා කරන්නේ නැතිද?

මොකද නැත්තේ. විස්තර අහනවා. මාත් ඉතින් බොහොම සංයමයෙන් උත්තර දෙනවා.

එහි ගායකයා වගේම පද රචනය සහ සංගීතය ඔබේ?

ඔව්. මෙය සංගීතයට ළැදි තරුණයකුට තමා ආදරය කරන ගැහැනු ළමයාගෙන් සිදුවන රැවටීමක් ගැන කියවෙන්නක්.

ඔබේ අත්දැකීමක්ද?

කොහෙත්ම නැහැ. මේ වගේ අත්දැකිම් විඳලා මානසික ආතතියට පත් වූ පිරිමි ළමුන් මා දැකලා තියෙනවා. ඒවා ඇසුරෙන් මෙය ලිව්වේ.

ආදර අමාරුව සැදුණු ගැහැනු ළමුන් කී දෙනෙක් ඔබව හමුවන්නට එනවද?

සෑහෙන්න එනවා. ආදර අමාරුවට නම් මගේ ගාව දැන් නම් බෙහෙත් නැහැ. තිබුණ බෙහෙත් ටික එක් කෙනෙකුට දුන්නා.

ඒ කාටද?

මගේ පෙම්වතියට.

ඇය ගැන විස්තර කියන්න පුළුවන්ද?

දැන්මම පෙම්වතියගේ තොරතුරු කියන්න අපහසුයි. ලබන වසරේ අපේ විවාහය සිදුවෙනවා කියලා විතරක් කියන්නම්.

ඇය ඔබගේ රසිකාවියක්ද?

නැහැ. ඇය මට හමු වන්නේ මං ගායනයටත් එන්න පෙර. මං ගායකයකු වුණාට පස්සේ ඒ ගීත රස විඳලා ගුණදොස් කියනවා.

තීක්ෂණ අනුරාධ ඇතුළු නව පරපුරේ ගායකයන් කිහිප දෙනෙකු ටෙලි නාට්‍යයන් සඳහා සම්බන්ධ වුණා. ඔබටත් ඒ ආරාධනය ලැබෙන්නට ඇති?

ආරාධනා නම් එමටයි ටෙලි නාට්‍ය රංගනයට. මට තියෙන වැඩ කර ගන්නත් වෙලාවක් නැති එකේ ටෙලි නාට්‍යවලට යන්නේ කොහොමද? නමුත් වෙළෙඳ දැන්වීම් කිහිපයකට රංගනයෙන් දායක වුණා.

පෙම් සිහිනෙන් පසුව ආයෙත් ප්‍රදීප් රංගන කාලෙකට අතුරුදන් වේවිද?

අනේ ඒ ගැන නම් කියන්නම ඕනෑ. ආයෙත් මං අර වගේ දිගු කාලයක් ගන්නේ නැහැ රසිකයන් වෙනුවෙන් අලුත් ගීතයක් ගයන්න. මං දන්නවා මගේ අලුත් ගීතයක් එනතුරු බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා කියලා. ඒ හින්ද හැකි ඉක්මනින් නව නිර්මාණ එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රසංග වේදිකාවට මේ දිනවල දායක වෙනවාද ?

ඔව්. මගේ වැඩ පාඩු කර ගන්නේ නැතිව ප්‍රසංග වේදිකාව සඳහා ඇති ආරාධනා බාර ගන්නවා. එතනට මිනිස්සු එන්නේ අපිව සජීවීව දැකගන්නට. ඉතින් හැකි පරිදි ප්‍රසංගවලට සහභාගී වන්නේ ඒකයි.