වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




මේ සම්මානය දිනුවේ මුළු ලංකාවේම රසිකයෝ

මේ සම්මානය දිනුවේ මුළු ලංකාවේම රසිකයෝ

අන්තර් ජාතික සම්මානයෙන් පිදුම් ලත් මොහාන් ජී. රංගනාත් සමඟ කතාබහක්
රාත්‍රී 7.27 ට ජාතික රූපවාහිනියේ හිරු දරුවෝ සෑම ඉරිදාම 8.30 ට

මොහාන් ජී. රංගනාත් ලාංකේය කලාව හදාරන පිරිසට සමීපතම චරිතයකැයි කීම අතිශෝක්තියක් නොවේ.

අභාවප්‍රාප්ත කලාසූරි ජී. රංගනාතයන්ගේ සහ කලා භූෂණ කමල නයනා රංගනාත් ගුරු මෑණියන්ගේ පුතු ලෙස උපන් මොහාන් කුඩා කළ සිටම කලාවට සමීප නෑදෑකම් දැක් වූයේය.

තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ මොහාන් කලක් ආනන්ද විද්‍යාලයේ ස්්වෙච්ඡා නර්තන ගුරුවරයා ලෙස තවත් පරපුරකට කලාව තිළිණ කිරීමට උර දුන්නේය.

චරිත තුනක්, රන් මිරිවැඩි, සිව්මංසල හා මහමෙර පාමුල ටෙලි නාට්‍යයන්හි සහාය අධ්‍යක්ෂකවරයා ලෙස හමු වූ මොහාන් අවනඩුව, සමාධි, තිළිණය, සිරි දෙව් දුව හා ටින් පැටව් ඒකාංගික නාට්‍යයන්හි අධ්‍යක්ෂවරයා ලෙස තම ප්‍රතිභාව ප්‍රකට කළේය.

මේ අතරින් ටින් පැටව් ලෝක නාට්‍ය වංශ කතාවේ නව පරිච්ඡේදයක් පෙරලීමට සමත් වනු ඇතැයි ඔහු එදා නොසිතන්නට ඇත.

 පසුගියදා කොරියාවේ සෝල් නුවර පැවැත් වූ සෝල් අන්තර් ජාතික නාට්‍ය උළෙලේදී ‘ටිින් පැටව්’ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබුවේ තවත් සුවිශේෂී සම්මානයකට නිර්දේශ වෙමිනි.

ඒ ටින් පැටව් හි රංගන දායකත්වය ලබා දුන් අසඳි දෙවිතිළිණි රංගනාත් දියණිය ලොව හොඳම නිළියන් අතරට නිර්දේශ වීමෙනි.

සබැවින්ම මේ ජාත්‍යන්තර සම්මානය අපට, රටට ගෞරවයකි. මේ ළමා නිළිය අපට සම්පතකි. වාසනාවකි.

සෝල් අන්තර් ජාතික නාට්‍ය සම්මාන උළෙලේ විශේෂ සම්මානයෙන් පිදුම් ලත් මොහාන් ජී. රංගනාත් සහ හොඳම නිළිය ලෙස නිර්දේශ වූ අසඳි දෙවිතිලිණි රංගනාත් සමග සරසවිය කළ විශේෂ කතාබහකි මේ.

* ප්‍රධාන මාතෘකාව සෝල් අන්තර් ජාතික නාට්‍ය උළෙල?

ඇත්තටම ඒ මොහොත පිළිබඳ දැනෙන විට හැඟෙන්නේ විශාල සන්තෝෂයක්. මා හිතනවා මෙය අපේ නාට්‍ය ක්ෂේත්‍රය ලද සුවිශේෂ ජයග්‍රහණයක් කියලා. මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 50 ක නාට්‍ය තෝරාගෙන තිබුණා.

ඒ තෝරා ගැනීම්වල විශේෂත්වයක් වුණේ ඒ නාට්‍ය ඒකාංගික ප්‍රාසාංගික කියල වර්ග කරල තිබුණේ නැහැ.

ඇතැම් රටවල තේරි පත් වූ නාට්‍ය ප්‍රාසාංගික නාට්‍ය, තවත් ඒවා රූපවාහිනි මාලා නාට්‍ය. මේ විනාඩි 26 නාට්‍යයත් ඒ අතරට තේරිලා තිබුණා. ඉතිං ඒ විනාඩි 26 නාට්‍යයට තමයි සම්මානය ලැබුණේ. ඉතිං ඒක ලොකු ජයග්‍රහණයක් කියලා මම සිතනවා. ඒ වගේම එතැන සිටි හැමෝමත් මේ නාට්‍යයට සම්මානය ලැබීම ගැන විශේෂයෙන්ම කතාබහට ලක් කළා.

ඒ වගේම අසඳි දියණිය හොඳම නිළිය ලෙස නිර්දේශය වී තිබුණා. මෙම සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස ඔවුන් නම් කොට තිබුණේ පොදු කාණ්ඩයක්. ළමා නිළිය ලෙස ඔවුන් සම්මාන කාණ්ඩ ගත කොට තිබුණේ නැහැ. අසඳි හොඳම නිළිය ලෙස නිර්දේශ වුණේ ලෝකයේ හොඳම නිළියන් අතරේ කරට කර හැපෙමින්.

ඉතිං මං හිතන්නේ මේ සම්මානය අපට නොලැබුණත් මේක ජයග්‍රහණයක්. ලෝකයේ අවධානය අපට දිනා ගැනීමට ලැබුණු අනගි අවස්ථාවක්.

* ඇයි ටින් පැටව්ට මේ සම්මානය ලැබෙන්නේ?

ඔවුන් ඒ පිළිබඳ හේතු පාඨයන් සකසල තිබුණා. ප්‍රධාන කාරණාව තමයි මා කතා කළ මාතෘකාව ලෝකයටම පොදු වීම. දෙවැන්න තමයි මේ දරුවන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කොට තිබූ රටාව.

* ටින් පැටව් ඇරඹුණේ කොහොමද?

2013 වසරේ අවුරුදු නාට්‍ය කිරීමේ වගකීම පැවරුණේ මට. ඉතිං මං හිතුවා හැමදාම අපි දකින අවුරුදු නාට්‍යවලට වඩා වෙනසක් කරන්න ඕනෑ කියලා. මෙහෙම කල්පනා කරන කොට තමයි රංග බණ්ඩාරනායක කිව්වේ ඔහු ළඟ පිටපතක් තිබෙන බව. මෙම පිටපත ලියලා තිබුණේ දිනුක රංගන පෙරේරා කියලා තරුණයෙක්.

මේ පිපතේ සර්වකාලීන මාතෘකාවක් කතාබහට ලක් වෙලා තිබුණා. මං මේ තරුණයාට කතා කළා. ඔහු ඉදිරියට යා හැකි ගුණ සපිරි තරුණයෙක්. අපි මේ පිටපත කිහිප වරක්ම වෙනස් කළා.

විසි කරන ලද බියර් කෑන් එක්ක ජීවිතේ ගත කරන දරුවෙක් ගැන තමා මේ කතාවේ කියවෙන්නේ. ඉතිං අපි මේ පිටපත හදල නිම කළා. මේ ඒකාංගික ටෙලි නාට්‍ය ඉතා අවම මුදලකට නිමා කළ යුතුයි කියලා ජාතික රූපවාහිනිය තීරණය කරලා තිබුණේ. ඒ අනුව 165000 ත මුදලකට මෙහි වැඩ කටයුතු නිම කරන්නට තමයි නිර්දේශ වෙලා තිබුණේ.

මේ නිර්මාණයට සහාය අධ්‍යක්ෂණයෙන් එකතු වුණා අරවින්ද චන්ද්‍ර පද්මකුමාර කියලා තරුණයෙක්. ඔහු ටිකක් රැඩිකල් කෙනෙක්. හැමදාම මේ පිටපත ගැන මාත් එක්ක හැප්පුණා. තර්ක කළා.

මේ අතරේ ප්‍රධාන රංගන ශිල්පී සුමින්ද සිරිසේනයන්ගේ පුත් නන්දිත සිරිසේනත් මේ වැඩේට කැමරා අධ්‍යක්ෂණයෙන් සහ සංස්කරණයෙක් දායක වෙන්නට එකතු වුණා. නන්දිත නොමිලේම කැමරා ගෙනත් රූගත කළා. මේ අතරෙදි විදේශ රටක වෙසෙන අප මිත්‍ර නදන පියල් රත්නායක මේ කටයුත්තට 5ච් මාර්ක් කැමරාවක් අපට පරිත්‍යාග කළා.

හැමෝගෙම දායකත්වයෙන් නාට්‍යයේ කටයුතු ඇරැඹුණා. මේ නාට්‍යයේ ජාත්‍යන්තර ගුණය රඳා පවත්වා ගැනීමට අප වෙහෙසුණා. ඇත්තටම අවසානයේ ඉතා අලංකාර ගුණාත්මක නිර්මාණයක් බිහි කිරිමට අපට හැකි වුණා.

* ‘නිදහස් අධ්‍යාපනය සුරකිිමු’ කියලා පෝස්ටරයක් ඔබේ නාට්‍යයේ විකාශය වුණා. මේ පෝස්ටරයට බලධාරීන්ගෙන් ප්‍රශ්න ඇති වුණේ නැද්ද?

නැහැ. මං හිතනවා බුද්ධිමත් බලධාරීන් සිටින තාක් කල් ප්‍රශ්න ඇති වන්නේ නැහැ. ඒ පෝස්ටරය නාට්‍යයේ කතා සංදර්භය ඉල්ලා සිටියා. ඒ ඉල්ලීම තමයි අපි ඉටු කළේ. මං හිතනවා මේ සම්මානයට ඒ රූප රාමුවත් බලපෑවා.

* ටින් දරුවෝ තවත් සම්මාන උළෙලක ඇගයුමට ලක් වෙනවා?

ඔව්. Prix Jeunesse Internasanl Munch රටවල් 100 ක නිර්මාණ අතරින් අවසන් රටවල් 16 අතරට එන්නට අප සමත් වුණා. මේ තෙරී පත් වුණු සියලුම රටවල් අධි සංවර්ධිත රටවල්.

* ඔබගේ දියණිය තමයි අසඳි. අප කොරියාවට යමු?

මෙම උළෙල සඳහා නිර්දේශ වී ඇති බැව් අපට දැනගන්නට ලැබුණා. දියණිය සහ මම තමයි සම්මානයට නිර්දේශ වෙලා තිබුණේ.

ඉතිං මං මේ කටයුතු අතරේ කොරියානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කළා මට සහ දියණියට මෙන්ම දර්ශනයේ බාරකාරිත්වය දරන්න අම්මාටත් මෙම උළෙලට සහභාගි වීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට. ඔවුන් ඊට සාවධානව කන් දුන්නා. ඒ අනුව පෙර වාසනාවට මට, දියණියට මෙන්ම මගේ බිරියටත් මේ ගමනට යන්න වාසනාව උදා වුණා.

මා සම්මානය ලබා ගනිද්දීම සංවිධායක මණ්ඩලය අසඳිත් වේදිකාවට නැග්ගෙව්වා. ඔවුන් කිව්වේ ඔබත් මේ සම්මානයට සෘජුව දායකයි කියලයි. හොඳම නිළියට නිර්දේශ වූවාට අසඳිට ඒ සම්මානය ලැබුණේ නැහැ. නමුත් ඒ සම්මානය ලබා ගත් නිළිය සම්මානය අතැතිව කෙළින්ම පැමිණියේ අසඳි ළඟටයි. ‘මේ සම්මානයේ හිමිකාරිණිය චූටි දුවේ ඔයා’ කියල ඇය අසඳි ළඟ සම්මානය තබා සිප වැළඳ ගත්තා

ඉන් පසුව සම්මාන උළෙලේ සිටි හැමෝම අසඳිට සුභාශිංසනය ගෙන ආවා. මට ඇති වුණේ කියා ගන්න බැරි සතුටක්.

එක් අතකින් මම අසඳිගේ තාත්තා, අනෙක් අතින් අධ්‍යක්ෂවරයා. අනෙක් අතින් මං ලාංකිකයෙක්.

* සම්මානයෙන් පසුව කොහොමද ලංකාවට පැමිණි මොහොතේ දැනුණ සතුට?

ඇත්තටම නොයෙක් අයුරින් පිළිගැනීමේ උත්සව සංවිධානය කොට තිබුණා. අපේ සම්මානයට ගෞරවයක් ලැබුණා කියලා හිතනවා.

* මේ සම්මානයත් සමඟම හිරු දරුවෝ විකාශය වීමට නියමිතයි.

ඔව්. හිරු දරුවෝ 28 වන ඉරිදා සිට රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා. එය වෙනස්ම මාතෘකාවක් සහ දරුවන්ගේ ජීවිත ගැන කතාවක්. කොටස් 42 පුරා නාට්‍ය විකාශය වීමට නියමිතයි. මෙහි පිටපත නාමල් ප්‍රසන්නගේ, නිෂ්පාදනය නදන පියල් රත්නායක, සංගීතය ඊෂාන් රංගනාත් සහ රුක්ෂාන් සුබසිංහ.

* මේ සම්මානය අතට ගත් මොහොතේ මොනවද දැනුණේ?

ඇත්තටම සතුටක් දැනුණා. මං කලා පරපුරක පුරුකක්. අපි කවදාවත් සල්ලි, සම්මාන බලාගෙන වැඩ කළේ නැහැ.

ලාංකිකයකු වීම ගැන මට දැනුණේ සතුටක්. ඒ වගේම කොරියාව තුළ සංචාරය කිරීමට අපට වරම් ලැබුණා. ලංකාවත් දැන් ඉතාමත් සංවර්ධිතයි. කොරියාව වගේම මගේ රටත් දැන් සංවර්ධනය වෙලා නේද කියලා මට ඒ මොහොතේ ආඩම්බරකමක් හදවතට දැනුණා. මේ රටේ ඉපදීම හා කලාවට සම්මාදම් වීම සතුටක්.