වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




‘කේ සෙරා’ චිත්‍රපටයට පාදක වන යුග යුග බැඳි ගීතයක්

‘කේ සෙරා’ චිත්‍රපටයට පාදක වන යුග යුග බැඳි ගීතයක්

මේ දිනවල තිරගත වන අලුත්ම සිංහල චිත්‍රපටයේ නම සිංහල නමක් නොවේ. ඒ පරාක්‍රම ජයසිංහ අධ්‍යක්ෂණය කළ කේ සෙරා චිත්‍රපටයයි. කේ සෙරා යනු ස්පාඤ්ඤ වචනයකි. එහෙත් එය ලොව පුරා ජනප්‍රිය වන්නේ යුග යුග ගණනක් හද බැඳි ගීතයක් ලෙසිනි. සිංහල චිත්‍රපටයක නමට යොදා ගැනුණු කේ සෙරා ගීතය ගැන සොයා බලමු.

මම කවුරු වාගේ වෙයි ද කියල ඇහුව අම්මගෙන් . . .

අහගන්න ඕනි ඒකට හරි උත්තරේ ඇගෙන් . . .

මේ ගීතය මිහිරි හඬින් ඔබ කුඩා කළ රස වින්දා මතක ඇති. පුංචි ගැහැණු ළමයෙකු තම මවගෙන් ද පසුව ඇය තම පෙම්වතාගෙන් ද අසන ප්‍රශ්න ජීවිතයේ තවත් සමයකදී තමාට පිළිතුරු සපයන්න වන අපූරුව සඳහන් වන මෙහි මුල් ගීතය ජනප්‍රිය ඉංග්‍රීසි ගීතයක්. එය අද යළි සිහිපත් වුණේ පරාක්‍රම ජයසිංහ අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය කේ සෙරා නිසා. මේ සුන්දර ගීතය ද නම් වුණේ Que Sera Sera (කේ සෙරා සෙරා) නමින්. ලොකු කුඩා කාගේත් ආදරයට පාත්‍ර වූ මේ ගීය ලොව පුරා අතිශය ජනප්‍රිය වූවක්.

මං පුංචි කාලෙදි අම්මාගෙන් ඇහුවා අනාගතයේදී මම කවුරුන් වේවිද? මම ලස්සන වේවිද? මම පොහොසත් වේවි ද? කියා . . . ඇය මට කීවේ ‘මොකක් හරි වෙන දේ වෙයි. අනාගතය අපිට දකින්න බැහැ. මොකක් හරි වෙන්න තියෙනව නම් වෙයි.’

මම තරුණ වියේදී මගේ පෙම්වතාගෙන් ඇහුවා අනාගතයේදී අපට කුමක් වේවිද? හැමදාම දේදුණු පායාවීද? කියා . . . ඔහු මට කීවේ ‘මොකක් හරි වෙන දේ වෙයි. අනාගතය අපට දකින්න බැහැ. මොකක් හරි වෙන්න තියෙන දේ වෙයි.’

ගේ පුංචි පුතා දැන් මගෙන් අහනවා ඔහු අනාගතයේදී කවුරුන් වේවි ද, කඩවසම් වේවි ද? පොහොසත් වේවි ද? කියා . . . මමත් ඔහුට කියන්නේ ‘මොකක් හරි වෙන්න තියෙන දේ වෙයි. අනාගතය අපට දකින්න බැහැ. මොකක් හරි වෙන්න තියන දේ වෙයි.’

ඩොරිස් ඩේ

Que Sera Sera නම් වූ මේ අපූරු ගීතය මුලින්ම අසන්නට ලැබුණේ 1956 වසරේදියි. ඒ ඇල්ෆ්‍රඩ් හිච්කොක් අධ්‍යක්ෂණය කළ The Man Knew Too Much  චිත්‍රපටයෙන්. එහි ඩොරිස් ඩේ සමඟින් ජේම්ස් ස්ටුවට් රංගනයෙන් දායක වුණා. එහිදී Que Sera Sera ගීතයට හඬ වගේම රංගන දායකත්වය ලබා දුන්නේ අමෙරිකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක මෙන්ම ගායන ශිල්පිනියක ද වන ඩොරිස් ඩේ විසින්මයි. ඊට පසුව ද 1960 වසරේදී Please Don’t Eat The Daisies සහ 1966 වසරේදී The Glass Bottom Boatචිත්‍රපටවලට ද මෙම ගීතය ඇතුළත් වුණා.

ලොව පුරා ජනාදරයට පාත්‍ර වූ මෙම ගීතය ජනප්‍රිය ගීත දර්ශකවල ඉහළින්ම රැඳී සිටි අතරම ඩොරිස් ඩේ ප්‍රසංගවල තේමා ගීතය බවට ද පත් විය. 1956 වසරේදී ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීතයට හිමි සම්මානය ද දිනා ගත්තේය. කේ සෙරා සෙරා ගීතය ඉංග්‍රීසි භාෂාවට අමතරව, පෝලන්තය, ඉන්දියාව, ජපානය, ප්‍රංශය ආදී රටවල් රැසක භාෂා රැසකට පරිවර්තනය වී ගැයෙන ගීතයක් බවට පත්ව ඇත.

රාජ්කුමාර් සන්තෝෂි අධ්‍යක්ෂණය කළ පුකාර් චිත්‍රපටයේ Kay Sera Sera ගීතයට රංගන දායකත්වය ලබා දෙන්නේ මධුරි ඩික්සිත් සමඟ ප්‍රභූදේවා. මජ්රෝ ජාවද් පරිවර්තනය කළ එහි සංගීත නිර්මාණය කළේ ඒ. ආර්. රහ්මාන් විසින්. ශන්කර් මහාදේවන් සමඟ කවිතා ක්‍රිෂ්ණමූර්ති එය ගායනා කළා. දමිළ ගීතය ඇතුළත් වන්නේ En Swasa Kaatre චිත්‍රපටයේයි. Kadhal Nayagara නම් වූ එය ගායනා කරන්නේ ඒ. එම්. රාජා සමඟින් ජික්කි.

කේ සෙරා සෙරා මුල් ගීතය The Man Who Knew Too Much වෙනුවෙන් රචනා කළේ රේ එවන්ස් විසිනි. එහි සංගීතය ජේ ලිවින්ග්ස්ටන්ගේ. මෙය ඉංග්‍රීසි ගීතයක් වුව ද එහි ඇත්තේ ස්පාඤ්ඤ භාෂාවයි. Que Sera Sera යන ස්පාඤ්ඤ වැකියේ තේරුම මොකක් හරි සිදු වෙන්න තියෙන දේ සිදු වේවි (Whatever Will be will be) යන්නයි. පාපන්දු ක්‍රීඩාව තුළ ද මෙම ගීතය අතිශය ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත්ව ඇති ගීතයක් බවට පත් වී ඇත.

ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ පාපන්දු තරගාවලියකදී එක් තරගයක් අවසානයේ ඊළඟ තරගය ආරම්භයට පෙර මෙය වාදනය කිරීමට එයට හේතුවයි. එහිදී Que Sera Sera Whatever Will be, will be we’re Going to Wembley, Que Sera Sera යන්න එහිදී ඔවුහු ගයති.

අද වන විට මෙරට තිරගත වන ජනප්‍රිය සිංහල චිත්‍රපටයකට ද එය නම බවට පත්ව ඇත. එහි අධ්‍යක්ෂ පරක්‍රම ජයසිංහ කියා සිටින්නේ චිත්‍රපටයේ කතා තේමාවට එය බෙහෙවින් සමීප වූ බවයි.