වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




රංජිත් ‘දෙබරයකට’ ගල් ගසයි Fifty Shades of Grey ‘ප්‍රේම සැඳෑවෝ’ නමින්

රංජිත් ‘දෙබරයකට’ ගල් ගසයි Fifty Shades of Grey ‘ප්‍රේම සැඳෑවෝ’ නමින්

රංජිත් කුරුප්පු අපේ සිනමාවට අමුත්තෙක් නොවේ. ඔහු තැනූ එකම චිත්‍රපටය මහත් ආන්දෝලනාත්මක එකකි. එය ‘පවන රළු විය’ චිත්‍රපටයයි. ‘සරසවිය’ සම්මාන රාශියක් දිනාගත් එහි තිර නාටක රචනය වෙනුවෙන් හොඳම තිර නාටක රචනයට හිමි සරසවිය සම්මානය දිනා ගැනීමට රංජිත් සමත් විය. එහෙත් පසුකාලීනව ඔහුව ඔබට හමුවන්නේ පරිවර්තකයෙකු ලෙසිනි. ‘කාන්තාරයේ කුසුම, ‘කාන්තාරයේ දරුවෝ’, ‘ මරණය අභියස’ වැනි විශිෂ්ට ගණයේ කෘති රාශියක් ඔහු සිංහලට පරිවර්තනය කළේය.

රංජිත්ගේ නවතම පරිවර්තනය සිදු කර ඇත්තේ ලොව පුරා මහත් ආන්දෝලනාත්මක කෘතියක් වන Fifty Shades of grey කෘතිය ඇසුරෙනි. ඒ ‘ප්‍රේම සැඳෑවෝ’ නමිනි. 2011 වසරේදී බ්‍රිතාන්‍ය නවකතාකරු ඊ. එල්. ජේම්ස් ඇනස්ටාසියා ස්ටීල් නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යාව හා කෝටිපති ව්‍යාපාරිකයෙක් වූ ක්‍රිස්ටින් ගේ අතර ඇතිවන අතිශය ඊ.එල්. ශෘංගාරාත්මක ප්‍රේම කතාව මෙලෙස ‘ප්‍රේම සැඳෑවෝ’ නමින් සිංහලට පරිවර්තනය වී ඇත.

ජේම්ස්ගේ මේ කෘතියෙහි දෙවැනි සහ තෙවැනි කොටස් ද පසුව ඉංග්‍රීසි බසින් එළි දැක්වුණු අතර එය පිළිවෙළින් ‘ෆිප්ටි ෂේඩ්ස් අ ඩාර්කර්’ සහ ‘ෆිප්ටි ෂේඩ්ස් ෂීඩ්’ ද විය. ලෝ පුරා පිටපත් මිලියන සියයකට වඩා අලෙවි වූ මේ කෘති භාෂා පනස් දෙකකට පරිවර්තනය වී ඇත. ‘ෆිප්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ’ කෘතිය ඇසුරෙන් ‘සෑම් ටේලර් ජොන්සන්’ අධ්‍යක්ෂණය කරනු ලබන චිත්‍රපටය ලබන වසරේ පෙබරවාරියේදී තිරගත වීමට නියමිතය. පේ‍්‍රම සැඳෑවෝ සුරස ප්‍රකාශනයකි.