වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




‘සිනමා සක්විති’ ගාමිණී ෆොන්සේකා දසවැනි ගුණසමරුව නිමිත්තෙන් පිදෙන සරසවිය උත්තමාචාරය

‘සිනමා සක්විති’ ගාමිණී ෆොන්සේකා දසවැනි ගුණසමරුව නිමිත්තෙන් පිදෙන සරසවිය උත්තමාචාරය

තවත් ගාමිණී ෆොන්සේකා කෙනෙක් කවදා උපදීද?
සදාකාලයටම ගාමිණී ෆොන්සේකා කෙනෙක් නැවත බිහිවේද?

- ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

දස වසරකට පසු 27 වැනිදා යළි ගාමිණී මුණ ගැසෙමු

ගාමිණී ෆොන්සේකාගේ පන්හිඳෙන් බිහි වූ කවි, ගී පද සංකල්පනාවන් හා ඔහු ඇඳි සිතුවම් ඇතුළත් ග්‍රන්ථයක් ‘ගාමිණී ගී මිණි’ නමින් එළඹෙන 27 වන සෙනසුරාදා සවස 6.30 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී එළි දැක්වේ.

එම සැඳෑවේදී ආචාර්ය පණ්ඩිත් අමරදේව, විශාරද නන්දා මාලිනී, ආචාර්ය වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක වැනි ප්‍රවීණ ගායක, ගායිකාවන් විසින් ගාමිණී විරචිත එකී ගී ගායනා කරනු ලබති. සංගීතය මෙහෙයවනු ලබන්නේ ජයන්ත රත්නායක විසිනි.

ධර්මජිත් පුනර්ජීව විසින් රචිත යථාර්ථවාදී මහා සිනමා ආඛ්‍යාන ප්‍රභාස්වර කළ නළුවරයාගේ ‘ප්‍රාග්ධනය’ කෘතිය ද එදින එළි දැක්වීම විශේෂත්වයකි.

‘සිනමා සක්විති’ චිත්‍රපට නාමාවලිය රැගත් සමරු ඵලකය නිරාවරණය 30 දා

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රඟපෑ චිත්‍රපට නාමාවලිය සහ ඔහු ලද සම්මාන පිළිබඳ විස්තර ඇතුළත් සමරු ඵලකයක් මෙම 30 වැනිදා සවස 5.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල පිහිටි ගාමිණී ෆොන්සේකා පිළිරුව අභියස දී විවෘත කෙරේ.

කලා ලංකා පදනමේ සභාපති මහජන කටයුතු සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා සුරතින් මෙම සමරු ඵලකය නිරාවරණය වන අතර එම උත්සව සභාවේ වැඩ කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන්නේ එහි ලේකම් නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්ධන විසිනි.

කලාකරුවන්, විද්වතුන් හා ගාමිණී ෆොන්සේකා සහෘදයන් මෙන්ම පවුල් සමීපතමයන් මෙම අවස්ථාවට සහභාගි වන අතර ඒ සඳහා සැමට විවෘත ආරාධනාවක් කෙරේ.

ගාමිණී ෆොන්සේකා මාවත 30 වැනිදා විවෘත කෙරේ

දෙහිවල හිල් වීදිය, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මාවත යනුවෙන් මෙම 30 වැනිදා උදේ 10.00 ට නම් කෙරේ. එම නාම පුවරුව විවෘත කරනු ලබන්නේ දෙහිවල – ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ සුරතිනි.