වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




පි‍්‍රයානන්දගෙන් මහඟු සත්කාරයක්

පි‍්‍රයානන්දගෙන් මහඟු සත්කාරයක්

නවසීලන්තයේ පදිංචිව සිටින ජනපි‍්‍රය ගීත රචකයකු සහ නිවේදකයකු වන පි‍්‍රයානන්ද විජේසුන්දරයන් පසුගිය දා හදිසියේ ලංකාවට පැමිණියේය. ඒ මහඟු වූ සත්කාරයක් උදෙසාය.

රූපවාහිනී වැඩසටහන් කැමරා ශිල්පියකු සහ සංස්කරණ ශිල්පියකු ලෙස වසර කිහිපයකට ප්‍රථම තම මවුරටින් සමුගෙන නවසීලන්තය බලා ස්ථිර පදිංචියට ගිය පි‍්‍රයානන්ද, තම පවුලේ අය සහ තවත් කිහිප දෙනකු සමඟ එක්වී ‘පස්මල් පෙති’ නමින් මියැසි ප්‍රසංගයක් සංවිධානය කර, එහි ප්‍රථම ප්‍රසංගය පසුගිය වසරේ ඉතා සාර්ථකව ඉදිරිපත් කරනු ලැබිණි. තම මවුබිමේ අසරණ දරුවන් වෙනුවෙන් යමක් කිරීමේ චේතනාව පෙරදැරිවඇරඹි මෙම කටයුත්තේ මූලික පරමාර්ථය ඉෂ්ට සිද්ධ කරගනිමින් කිඳෙල්පිටිය ‘ජගද්දලා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ’ සිටින අනාථ දරුවන් උදෙසා එම ප්‍රසංගයෙන් ලැබුණු මුදලින් කොටසක් පරිත්‍යාග කිරීමට ඔහුට හැකිවිණි. දෙවැනි වරටද එම ‘පසමල් පෙති’ ප්‍රසංගය පවත්වා එයින් ලැබුණු මුදල් ද එම අසරණ දරුවන් උදෙසාම පරිත්‍යාග කිරීමට පි‍්‍රයානන්දයන් තීරණය කළේය.

ඒ අනුව පසුගිය 23 වැනි දා කිඳෙල්පිටිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාමයේ (ජගද්දලා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ) දී විහාරාධිපති පූජ්‍ය කිඳෙල්පිටියේ ආරිය මෛත්‍රී ස්වාමීන් වහන්සේ වෙත මෙම මුදල් පරිත්‍යාගය සිදුකෙරුණේ, පි‍්‍රයානන්ද ගේ ආරාධනය අනුව, කැමැත්තෙන්ම එහි පැමිණි ජගත් සිනමාව ජයගත් ජගත් චමිල කලා කරුවා ගේ සුරතිනි.

මේ මාහැඟි සත්කාරය වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්‍ෂ සුනිල් අරුණ වීරසිරි, සහ තිරකතා රචක ලාල් පාගොඩආරච්චි කලාකරුවන් ද විශේෂ සහයෝගයක් දැක්වූ අතර මේ අවස්ථාවට සහභාගී වූ සුනිල් අරුණ වීරසිරි, පූජ්‍ය කිඳෙල්පිටියේ ආරිය මෛත්‍රී ස්වාමීන් වහන්සේ, ජගත් චමිල සහ පි‍්‍රයානන්ද විජේසුන්දරයන් ඡායාරූපයේ වෙති.