වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




හිත ගිය තැන

හිත ගිය තැන

‘මා ඉපදී ඇත්තේ ඔබ වෙනුවෙන්මයි. ඔබ ඉපදී ඇත්තේ මා වෙනුවෙන්මයි.’ මෙසේ පවසන්නේ විසිහත් හැවිරිදි යෞවනයෙකි. ඒ තවත් යෞවනියකට නම් නොවෙයි. තිස්හත් හැවිරිදි දික්කසාද වූ ගැහැනියකටයි. මේ යෞවනයා ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පියකු පමණක් නොවෙයි ඉන්දියාවේ කඩවසම් යෞවනයා තේරීමේ රියැලිටි තරගයේ පළමුවැනියාය.

ඔහු පළමුවනියා වී යෞවනියන්ගේ සිහින කුමරා වූයේ තරගකරුවන් විසිනව දෙනකු පරදවමිනි. විජේ සිං, මල්ලිකාට කෙතරම් උමතු වී සිටියත් ඔහුගේ පවුලේ අය නම් පවසන්නේ ජීවිතයේ මෙතරම් වැදගත් තීරණයක් ගැනීමට ඔහු තවමත් කුඩා වැඩි බවයි. තිරයේ ජීවිතය සැබෑ ජීවිතය නොවන බව ඔහුගේ වැඩිමල් සොයුරියගේ අදහසයි. එහෙත් ඒ කිසිවක් නොවිමසා ඔහු නොවැම්බර් 8 වැනි දින ඇය හා විවාහ වූහ.

මල්ලිකා මේ දිනවල ලොස් ඇන්ජලීස්වල රූගත කිරීම්වල නිරත වී සිටින්නීය. ඇය පැමිණි පසු දෙදෙනාම හිමාචල් පෙදෙසට ගොස් නිවාඩුවක් ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටිති. ‘මල්ලිකා හිමාචල් පෙදෙසට හරිම කැමැතියි. මූම්බායිවල කරන්නේ මොනවාද? හිමාචල් ගිහින් ඔයාගේම ව්‍යාපාරයක් පටන් ගන්න. ඇය මට පැවසුවා. ඇය සතුටින් තැබීම මගේ එකම අරමුණයි’ විජේ මාධ්‍යයට පැවසුවේය. මල්ලිකා සමඟ හිමාචල් පෙදෙසෙහි පුංචි කූඩුවක් තනන්නට විජේ සිහින මවන්නේය.

විජේගේ විශ්‍රාමික පියා සෞඛ්‍ය අධ්‍යක්ෂවරයෙකි. ඔහුට ලන්ඩනයේ ආපන ශාලාවක් ද තිබේ.

මල්ලිකාගේ පළමු සැමියා කැප්ටන් කරන් සිං ගිල්ය. 1997 දී විවාහ වූ මල්ලිකා 1998 දී ඔහුගෙන් දික්කසාද වූවාය.

ඇය බොලිවුඩ් සිනමාපටවල පමණක් නොව හොලිවුඩ් සිනමාපටවල ද දැන් රඟන්නීය. හිස් (2010), පොලිටික්ස් ඔෆ් ලව් (2011) හොලිවුඩ් සිනමාපටවල ඇය රැඟුවාය.

2013 වසරේදී ඇය රැඟූ එකදු බොලිවුඩ් සිනමාපටයක්වත් තිරගත වූයේ නැත. තේස්, කිස්මත් ලව් රියිසා දිල්ලි 2012 වසරේදී තිරගත වූ ඇය රැඟූ සිනමාපට දෙකයි. ජැකී චෑන් හා රැඟූ ‘ද මිත්’ මල්ලිකාගේ පළමු අන්තර්ජාතික සිනමාපටයයි. රීමා ලම්බා මල්ලිකාගේ උපන් නමයි. අධිරාජිනිය යන තේරුම රැගත් මල්ලිකා යන නමත්, මවට විවාහයට පෙර තිබූ ෂෙරාවත් වාසගමත් එක්කර මල්ලිකා ෂෙරාවත් ලෙසින් ඇය තිරයට පෑයුවාය. මල්ලිකාට නිළියකවීමේදී මවගෙන් විශාල සහයෝගයක් ලැබී තිබේ.