වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




රොෂාන්ගේ මල්ලි කියලා බැබළෙන්න මම අකමැතියි

රොෂාන්ගේ මල්ලි කියලා බැබළෙන්න මම අකමැතියි

මෙන්න Angels

අද බෑන්ඩ් ලෑන්ඩ් තුළින් ඔබ හමුවට එන්නේ කටුනේරිය ඒන්ජල්ස් සංගීත කණ්ඩායම. වසර දහයකටත් එහා ඉතිහාසයක් ඇති ඒන්ජල්ස් ලා මේවන විට ප්‍රසංග වේදිකාවේ පෙරළිකාර සංගීත කණ්ඩායමක් යැයි පැවසීම වැරැද්දක් නෙවෙයි.

ඒන්ජල්ස් සංගීත කණ්ඩායමට නායකත්වය දෙන්නේ දිනේෂ් අමිල. එපමණක් නොව ඔහු කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයාද වනවා.

ඒන්ජල්ස් ආරම්භ කරද්දී ඔවුනට පුහුණුවන්නට තැනක් තිබිලා නැහැ. තේ කොළ පෙට්ටියක්, ලී පෑඩ් එකක්, අඩි එකහමාරක් විතර පොඩි ඕගන් එකකුත් තියාගෙන පටන්ගත්තු එහි පුහුණුවීම් මධ්‍යස්ථානය ලෙස තබාගෙන තියෙන්නේ කටුනේරියේ ඇත්හැරදාපු පාළු ගෙවල් සහ කුකුළු කොටුයි.

ඒ අතීතය ගැන අමිල කතා කළේ පුදුම සතුටකින්.

එදා එහෙම ප්‍රැක්ටිස් කරපු අපි අද ඉන්න තැන ගැන ගොඩක් තෘප්තිමත් වෙනවා. ඒ අතීතය ගැන මතක් වෙද්දී ඇස්වලට කඳුළුත් එනවා.

අපේ බෑන්ඩ් එකේ ඉසුරු සම්පත් ගෙනාපු නම් ගොඩෙන් ඒන්ජල්ස් කියන නම අපි තෝරගෙන බෑන්ඩ් එකට දැම්මා.

මේ අතරවාරයේ ඒන්ජල්ස්ලා පවත්වන්නට හිතාගෙන හිටිය පළමු ප්‍රසංගයේ සිදුවූ අපූරු සිදුවීමක් අමිල මතක්කළා.

ඒක සංවිධානය කළේ කටුනේරිය ඉහළගම තරුණ කැල විසිනුයි. අපි නිදිමරාගෙන ෂෝ එකට ප්‍රැක්ටිස් කළා. බලාපොරොත්තු රැසක් තියාගෙන හිටියේ ඒක ගැන. ඔන්න ෂෝ එක පටන් ගන්න හැදුවා විතරයි අපේ ගමේ ෆාදර් ඇක්සිඩන්ට් වෙලා සවර්ගස්ථ වුණා කියලා ආරංචි වුණා. දැන් අපිට දුක් දෙකයි. එකක් ෂෝ එක ගහන්න බැරි වුණ එක. අනික ෆාදර්ගේ අහිමි වීම.

කොහොමහරි ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ආපු ඔවුන් අයි. ටී. එන්. රන්තරු, හිරු සිංදු කාමරේ, සිරස ස්ටේජ් ෂෝ, රෝඩ් ෂෝ, රිදම් නයිට් වැනි වැඩසටහන් වලින් ප්‍රේක්‍ෂකයන් අතරට ගිය ඒන්ජල්ස් අදවන විට විදෙස් සංචාරවලින්ද අඩුවක් නැහැ. එමෙන්ම නතර නොවන (නන්ස්ටොප්) ගී එකතු කිහිපයක් ද ගීතිකා සංයුක්ත තැටියක් ද ඔවුන් නිකුත් කළා.

ලසන්ත, නිරෝෂ්, ෂන්, සසීන්, යුගන්, අමිල, චරිත්, අකිල, ඉසුරු ඒන්ජල්ස්ලගේ සමාජිකයන් අතර ඉන්නවා. ඒ අතර ලසන්ත ගැනනම් වචනයක් කතා කළ යුතුමයි. ඒ ඔහුට හඬවල් දහසයකින් ගායනා කරන්න පුළුවන් හින්දා. ඇන්ටන් ජෝන්ස්, දීපාල් සිල්වා, ජොලිසීයා වැනි ගායකයන්ගේ ගීත ඒ ශෛලියෙන්ම කියන්න ලසන්ත සමත්. ඔහු සැබැවින්ම කණ්ඩායමට ආලෝකයක් බව අමිල කියනවා.

මේ වෙලාවේ දිනේෂ් අමිල ගැනත් ඔහු නොකී තොරතුරක් කියන්නට ඕනේ. ඒ ඔහු රොෂාන් ප්‍රනාන්දුගෙ ඥාති සොහොයුරෙක් වීම.

රොෂාන් අයියගෙ තාත්තයි මගේ තාත්තයි අයියයි මල්ලියි. ඒත් මං රොෂාන්ගේ මල්ලී කියලා බැබළෙන්න හරිම අකමැතියි. ඒක නිසා මං ප්‍රනාන්දු කියන වාසගමත් පාවිච්චි කරන්නේ නැහැ. රොෂාන් ප්‍රනාන්දුලා ඉන්නේ එක්කෙනයි. ඒ වගේම දිනේෂ් අමිලලත් ඉන්නේ එක්කෙනයි.

ඒන්ජල්ස් ලා අලුතින් බේස් ගිටාර් එකක් ගෙනත්. එමඟින් තවත් ප්‍රේක්‍ෂකයන්ව පිනවන්නත් ඔවුන් සූදානමින්. ඒ වගේම මේ විසේකාර කොල්ලො ටික ‘නුඹේ මතක සුවඳ’ නමින් සංයුක්ත තැටියක් එළිදැක්වීමට ද නියමිතයි. ඒ වෙනුවෙන් නිර්මාණය වූ ආදරේ මං ඔබටමයි, හඬන සිත, සමුගෙන යන්න වැනි ගීත ද මාධ්‍යයට නිකුත් කරලා. ළඟදීම ඔවුන් ගයපු ‘දුම්මල වරම අරන් යකුනේ නැගිටපියව් යන දේශාභිමානී ගීතය විශේෂිත වූ දෘශ්‍ය ප්‍රයෝග භාවිත කරමින් නිර්මාණය වූ වීඩියෝව සමඟින් රසවිඳිය හැකියි.

සංගීතයේ නවමු මංමාවත් ඔස්සේ ස්වකීය ගමන්මග විවරකර ගනිමින් අලුත් දෑ සොයා යන කටුනේරිය ඒන්ජල්ස් සංගීත කණ්ඩායමට ‘සරසවිය’ අපේ ද සුබපැතුම් මෙලෙස එක්කරමු.