වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




කෙලෙසද කිවමැන සිපගත් දෑතට මංගල මල් කළඹක් දෙන්නේ

කෙලෙසද කිවමැන සිපගත් දෑතට මංගල මල් කළඹක් දෙන්නේ

කමල් චිත්‍රසේන ආයෙමත් ඇවිත්

කෙලෙසද කිවමැන සිපගත් දෑතට මංගල මල් කළඹක් දෙන්නේ
එදා මගේ පෙම්වතියේ අද ඔබ
මනමාලිය වී මගේම මිතුරාගේ
කෙලෙසද මම මල් කළඹ අරන් එන්නේ.....

අනූව දශකයේ මැද භාගයේ දී ඔහු මෙසේ ගැයුවේය. ප්‍රේක්‍ෂක ආදරය නොමඳව දිනාගත් මේ ගීතය එකල අතිශය ජනපි‍්‍රය ගීතයක් වූ බව ඔබට අමුතුවෙන් සිහිපත් කරන්නට වුවමනා වෙන්නේ නැහැ. එසේම ඔහු මෙලෙසද ඔබ ඇමතුවා මතක ඇති.

ඔබ සිත ළඟ මා
බවුන් වඩන සඳ
ඔබ නැත අද මා අසල රැඳී.....

ඔහු කමල් චිත්‍රසේන. එදා ඔහු මෙලෙස ඔබ අමතන විට ගුවන් හමුදා නිලධාරියෙක්. ගුවන් හමුදා උපදේශකයකු ලෙස සේවය කරමින් සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඊගල් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයකු බවට පත්ව ඒ ඔස්සේ සංගීත ලොවේ දිගු ගමනක් ගිය ශිල්පියෙක්. මෙලෙස කාලයක් අතිශය ජනපි‍්‍රය ගායන ශිල්පියකු ලෙස කිරුළ දරාසිටි ඔහු ටික කාලයක් පසු වූයේ ක්ෂේත්‍රයෙන් මඳක් ඈත්වෙලා. නමුත් ප්‍රසංග වේදිකාවේ අඩුව පුරවාලමින් දැන් කමල් යළිත් ක්ෂේත්‍රයට පවිසිලා. ඔබ වෙනුවෙන් යළිත් ගීතයෙන් ආමන්ත්‍රණය කරන්න සූදානම්. පසුගිය කාලයේ ඇයි ඔහු දුරස් වුණේ? මොකක්ද සිදු වුණේ. අපි අහල බලමු කමල්ගෙන්ම.

බොහොම කාලයකට පසුව තමයි මේ හමුවෙන්නේ?

ඔව්, ඇත්තටම. ටික කාලයක් ක්ෂේත්‍රයෙන් දුරස්වෙලා සිටින්න සිදු වුණානේ.

ඇත්තටම කමල් මොකද වුණේ?

ගුවන් හමුදාවේ සේවය කරන අවධියේ දි තමයි මම ගායකයෙක් විදියට ක්ෂේත්‍රයට පිවිසුණේ. ‘කෙලෙසද කිවමැන’ ගීතය සමඟ ලැබුණු ජනපි‍්‍රයත්වය නිසා මට ප්‍රසංග වේදිකාවට විශාල ඉල්ලුමක් තිබුණා. ඒ සමඟින් මම ගුවන් හමුදා සේවයෙන් ඉවත් වෙලා පූර්ණකාලීනව කලා කටයුතුවල නිරත වුණා. ඒ අතරතුර කාලයේදී මගේ බිරිඳ ශිරාණි රණසිංහ අසනීප වෙලා අපි අතරින් සදහටම සමුගත්තා. මගේ අම්මයි, තාත්තත් මේ කාලයේම නැති වුණා. මේ නිසා තමයි මට කලා ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා සිටින්න හේතු වුණේ. මට පුංචි දියණියක් ඉන්නවා. අයේෂා කුෂාණි චිත්‍රසේන. ඇයට දැන් වයස අවුරුදු අටක්. ඇයවත් බලාගෙන ඉන්න ගමන්ම මම යළිත් මගේ කලා කටයුතු ආරම්භ කරලා තියෙන්නේ.

කාලයක් දුරස් වෙලා යළිත් පැමිණිවිට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ඒ කාලේ ‘කෙලෙසද කිවමැන’ ගීතය නිසා මට යන්න බැරි තරමටම සංදර්ශන ලැබුණා. දුර ඈත පළාත්වලින් පවා මාව කැඳවාගෙන යන්න කට්ටිය ආවා. එදා මගේ ගීතවලට ලැබුණු ඒ ප්‍රතිචාර අදටත් එලෙසමයි. ඉතාම ඉහළයි. ඒ වගේම රූපවාහිනී නාළිකා, ගුවන් විදුලි නාළිකා රැසක වැඩසටහන් වලටත් ආරාධනා ලැබුණා. ටික කලකට වේදිකාවෙන් දුරස් වුණත් ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය නම් ටිකක්වත් වෙනස් වෙලා නැහැ.

‘ඔබෙ සිත ළඟ මා’, ‘කෙලෙසද කිව මැන’ වගේ ගීත ඉහළ ජනපි‍්‍රයත්වයක් ලද ගීත. මේ ගීත නව තාලයෙන් රිගිං ටෝන් සඳහා එකතු කරන්න අදහසක් නැද්ද?

මගේ පැරැණි ගීත නව සංගීතයෙන් යුතුව යළිත් නිර්මාණය කළා. ඒ ගීත මගේ නවතම ගීත එකතුව ‘කෙලෙසද කිව මැන සිපගත් දෑතට මංගල මල් කළඹක් දෙන්නේ - ජනපි‍්‍රය ගී 18’ ගී තැටියේ අඩංගුයි. ඒ වගේම රිගිං ටෝන් සඳහා එක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

අලුත්ම ගීත එකතුවේ අලුත්ම ගීතත් ඇති?

‘මගෙ පෙම්වතියට’, ‘සමුගත් මොහොතේ’, ‘මල් පිපෙන පැයේ’ යන නවතම ගීත තුනක් එහි ඇතුළත් වෙනවා. මල් පිපෙන පැයේ, මෝදිරම්ලා, සිතේ තිබෙන, උතුර දකුණ වැනි ගීත ඇතුළු තවත් ගීත එහි ඇතුළත්. නව තාලයෙන් මේ ගීත සියල්ලම ආදරණීය රසික ඔබට දැන් අහන්න පුළුවන්.

ගත වූ කාලය තුළදී ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

කාලයකට පසුව යළිත් ප්‍රසංග වේදිකාවට නැංඟාම ලද ප්‍රතිචාරවලින් මම තවත් ධෛර්යවත් වුණා. ඇත්තටම සංගීත ක්ෂේත්‍රයේ මේ දක්වා දුරක් එන්න අවස්ථාව ලැබුණේ මගේ ගුරු පියාණන් වූ සනත් නන්දසිරි මහතා නිසා. ඒ වගේම මල්කාන්ති නන්දසිරි, පි‍්‍රයානන්ද විජේසුන්දර, විජේරත්න රණතුංග, මනෝජ් පීරිස්, මර්වින් බෙන්ස්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රොහාන් ගුණතිලක, ගුවන් හමුදාපති එයාර්මාර්ෂල් හර්ෂ අබේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු උපකාර කළ හැමෝටම මේ අවස්ථාවේදී මම මගේ ගෞවරව පූර්වක ස්තුතිය පිරිනමනවා.

ඉදිරි නිර්මාණ ගැනත් සටහනක් තබමු?

ඉදිරියේ දී ශාස්ත්‍රීය ගීත ඇතුළත් ගී තැටියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අලුත්ම ගීත දැන් නිර්මාණය කරගෙන යනවා. ඒ තුළින් අලංකාර ගීත එකතුවක් ආදරණීය රසික ඔබට ළඟදීම තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා.

කමල්ගේ ආගමනයට 0772012310 දුරකථන අංකයෙන් ඔබට සුබ පතන්න පුළුවන්.