වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දියානු සිනමා කතාව 37

ඉන්දියානු සිනමා කතාව 37

ඉන්දියාවේ සිටිසන් කේන්

දෙවන ලෝක මහා සංග්‍රාමයේ නිමාවත් සමග ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදනය බලා සිටීයදී මෙන් වැඩි වන්නට විය.යුද්ධයේ අවසන් වසර වන 1945 වසරේ දී චිත්‍රපට 99 ක් නිපද වූ ඉන්දියාව 1946 වසර වන විට වාර්ෂික චිත්‍රපට නිෂ්පාදනය 200 දක්වා ඉහළ දැම්මේය .1950 වසර වන විට එය දෙසිය පනහ පැන්නේය.ඒ වන විට චිත්‍රපට නිෂ්පාදනය අතින් ඉන්දියාව දෙවැනි වූයේ අමෙරිකාවට පමණී.ඒ වන විට මුළු මහත් ඉන්දියාව පුරා සිනමාව අරා තිබුණ චිත්‍රාගාර අධිරාජ්‍යය වෙනුවට ස්වාධීන නිෂ්පාදකවරුන් ඉදිරියට පැමිණෙමින් සිටියහ.කොටින්ම ඉන්දියානු සිනමාවේ චිත්‍රාගාර යුගය සිය ස්වර්ණමය යුගය හමාර කොට තිබිණ.

එනම් චිත්‍රාගාර සතු නළු නිළියන් ද එහි මාසික වැටුප් ලබන සිනමාකරුවන් ද වෙනුවට අලුත් සිනමා කරුවන් පිරිසක් ඉදිරියට ඇදුණහ.එයට වඩාත්ම හේතු වූයේ මුල් ලිපි හරහා ම විසින් හෙලිදරව් කරන ලද රන්ජිත්,බොම්බේ ටෝකීස්,ප්‍රභාත්,නිව් තියටර්ස් වැනි චිත්‍රාගාර වල ඇති වූ අභ්‍යන්තරඅර්බුදයන්ය.

රංජිත් අධිපති චන්දුලාල් ෂා සූදුවට ඇබ්බැහි වූ අතර දේවිකා රානි සමග බොම්බේ ටෝකීස් සෙසු පිරිස වෙන්ව ගියහ.ප්‍රභාත් චිත්‍රාගාරයේ සිටි වඩාත්ම නිර්මාණශීලි මිනිසුන් අතර දාම්ලේ මිය ගියේය.ශාන්තාරාම් තමන්ගේම අලුත් සමාගමක් ගොඩ නගා ගත්තේය.

1947 වසරේ තැනුණ චිත්‍රපට සඳහා එක් වන අලුත් නිෂ්පාදකවරුන්ගේ සංඛ්‍යාව 157 ක් වූ අතර එය වසරේ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංඛ්‍යාවෙන් සියයට හැත්තෑවකි.

බොහෝ තරුණයන් චිත්‍රපට නිෂ්පදනයට අත තබනුයේ හිතුවක්කාරකමත් සමගය.ඔවුන් අත යහමින් මුදල් නොතිබිණ.විවිධ ආකාරයේ කළු සල්ලි සිනමා කර්මාන්තයට එක් වීමට මේ ක්‍රමය පසුව හේතු විය.අද එය ඉන්දියානු සිනමාවට වසංගතයක්ව ඇත්තේ ඇතැම් ආයෝජකයන් චිත්‍රපට කර්මාන්තයට යොදන මුදල් විවිධ අයථා මාර්ගයන්ගෙන් උපයන මුදල්වීම හේතුවෙනි.

1948 වසරේ තිරයට පැමිණි සිය මුල්ම නිෂ්පාදනය පිළිබඳ ප්‍රවීණ සිනමා නළු සහ සිනමාවේදී රාජ් කපූර් පසුව සිහිපත් කළේ මෙපරිද්දෙනි.

‘මා ආග් චිත්‍රපටය නිපදවූයේ මුදල් අතැතිව නොවේ.එහි මුහුරත් උළෙලට පැමිණි මගේ මව විස්සෝප වූයේ ප්‍රමාණවත් මුදලකින් තොරව අරඹන මගේ මුල්ම නිෂ්පාදනය පිළිබදවය.ඒ වන විට චිත්‍රපට නිෂ්පාදනය සම්බන්ධව නම් දරා තිබුණේ චිත්‍රාගාර ආශ්‍රිත ආයෝජකයන්ය.එහෙත් මට වඩා වසර දහ අටකට වැඩිමහල් වූ මගේ පියා (ප්‍රිත්විරාජ් කපූර්) අම්මා අස්වැසුවාය.

ඔබ බලා සිටින්න.මේ කොලුවා චිත්‍රපට හදාවි.

එයාට විශ්වාසයක් සහ අවබෝධයක් තියෙනවා.ඔහු අම්මාට පැවසුවේය.එදා සිනමාව සම්බන්ධ තාත්තාගේ මේ වචන යටින් තිබුණේ මේ ව්‍යාපාරයට අත ගැසිය යුතු නම් ඔහු සියල්ල විශ්වාස කළ යුතු බවයි“

කෙසේ වෙතත් චිත්‍රපට නිෂ්පාදනයට අත තැබූ හැමටම වාසනාව ළං වූයේ නැත.සමහරු චිත්‍රපට අතරමග නිමා නොකොට අත හැර දැමූහ.සමහර චිත්‍රපට මුදල් උපයන්නට සමත් වූයේ නැත.1947 වසරේ දී ඉන්දියාව තුනට කැඩුණේ ලේ ගංගා මතිනි.එයින් ලාහෝර සිනමාව ද බෙංගාලි සිනමාවේ හරි අඩක් ද ඉන්දියාවට අහිමිව ගියේය.එහෙත් එහි නියැළුණ බහුතරයක් සිනමාකරුවන් බොම්බායට පැමිණියහ.ඉන්දියානු සිනමාව බොම්බාය මදුරාසිය සහ කල්කටාව කේන්ද්‍ර කොට වැඩි දියුණු වූයේය.

කෙසේ වෙතත් 1948 වසරේ තැනුණ සියලු චිත්‍රපට වලට වඩා බොහෝ විචාරකයන් අගය කරන ලද්දේ උදේ ශංකර් නිර්මාණය කරන ලද කල්පනා චිත්‍රපටය පිළිබදවය. කල්පනා නිෂ්පාදනය කරන ලද්දේ එස්.එස්.වාසන් විසිනි.වාසන් මදුරාසියේ සුප්‍රකට ජෙමිනි චිත්‍රාගාරයේ නිර්මාතෘවරයා විය.ඔහු විසින් නිර්මාණය කරන ලද දැවැන්ත චිත්‍රපටයක් වන චන්ද්‍ර ලේඛා චිත්‍රපටයේ නැටුම් නිර්මාණය කරන ලදදේ උදේ ශංකර් විසිනි.

එහි එන දැවැන්ත නර්තන විලාසය උදේ විසින් නිර්මාණය කරන ලදදේ කිසිදු මුදලක් අය නොකොටය.ඒ වෙනුවට ඔහු වාසන් වෙතින් ලද තිළිණය නම් කල්පනා චිත්‍රපටය නිපදවීමට ජෙමිනි සමාගම එක්වීමය.ඉන්දියානු නූතන නර්තන ප්‍රබෝධයේ නිර්මාතෘ ලෙස සැලකෙන උදේ ඉන්දියානු සම්ප්‍රදායික නර්තනය බටහිර රංග රීතීන් සමග මුසු කර අලුත් ආරක් ගොඩ නැංවූයේය. මහා සංගීතවේදී පන්ඩිත් රවි ශංකර් උදේ ගේ බාල සොහොයුරා විය.

මණික් සන්ද්‍රසාගර නිර්මාණය කරන ලද සීතා දේවී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සීතා ලෙස රඟපෑ මම්තා ශංකර් උදේ ගේ දියණිය වූවාය.

උදේ ගේ කල්පනා චිත්‍රපටය සමකාලින ඉන්දියානු සිනමා විචාරකයන් විසින් හඳුන්වනු ලබනුයේ ඉන්දියානු සිටිසන් කේන් හැටියටය.චිත්‍රපටය පසුබිම් කරනුයේ නර්තන ශිල්පියකු විසින් ඉන්දියානු සම්ප්‍රදායික නර්තන ආයතනයක අවශ්‍යතාව පිළිබද චිත්‍රපට නිෂ්පාදකවරයෙකුට ලියන ලිපියකිනි. මේ චිත්‍රපටය එක් අතකින් උදේ ගේ ස්වයං චරිතාපදානයක් ලෙස ද සැලකෙයි.

චිත්‍රපටයේ ආලොක කරණය පසුතල නිර්මාණය සහ විලාසය බෙහෙවින් සිත් ගන්නා සුළු වුව ද සම්ප්‍රදායික වට්ටෝරුවට ඇබ්බැහි වන ඉන්දියානු සිනමා ප්‍රෙක්ෂකයන් චිත්‍රපටය මුළුමනින්ම ප්‍රතික්ෂප කළහ.චිත්‍රපටය යම් තරමක් හෝ හොඳීන් ප්‍රදර්ශනය කෙරුණේ කල්කටාව සහ බටහිර බෙංගාලයේය.

උදේ කල්පනා චිත්‍රපටයේ තිර රචනය අධ්‍යක්ෂණය පමණක් නොව ප්‍රධාන චරිතය ද රඟපෑවේය. එහි ප්‍රධාන නිළිය ද උදේ ගේ භාර්යාව වු සුප්‍රකට නර්තන ශිල්පීනී අමලා ශංකර්ය.එහෙත් චිත්‍රපටය තනද්දී උදේ සිනමාකරණය පිළිබඳ හසරක්වත් දැන සිටියේ නැත.එහෙත් වැඩි වියදම් වලින් තොරව තනන ලද පසුතල ආලෝකය සහ අඳුර කැටි කර ගත් සිනමාකරණයට විශිෂ්ට චමත්කාරයක් එක් කළේය.

චිත්‍රපටය මුළුමනින්ම ඉන්දියානු නර්තන ශාඛ්‍යතාව විදහා දැක්වීමක් විය.මේ වන විට කලා කෘතියක් ලෙස ඉන්දියානු සිනමා සංරක්ෂණාගාරයේ ආරක්ෂා කොට ඇති කල්පනා පසුගිය වසරේ ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේ දී නැරඹීමට එයට සහභාගී වූ මට අවස්ථාව ලැබිණ.කල්පනා සම්ප්‍රදායික වාණිජ ලක්ෂණ බැහැර කරන ලද චිත්‍රපටයක් බැව් මගේ හැඟීමයි.එහෙත් මේ නර්තන විලාසයන් එයට වඩා ප්‍රෙක්ෂකයන් රඳවා ගෙන චිත්‍රපට නිර්මාණයට භාවිත කිරීමට ශාන්තාරාම් ජනක් ජනක් පායල් බාජේ සහ නව්රාංග් වැනි චිත්‍රපට තුළින් පසු කලක සමත් වූ වග මගේ විශ්වාසයයි.කෙසේ වෙතත් කල්පනා චිත්‍රපටයෙන් පසු උදේ යළි චිත්‍රපට නිර්මාණයට දායකවූයේ නැත.